අංක එකේ විශිෂ්ටත්වයේ නායකත්වය අපේ චමරි

අප්‍රේල් 29, 2024

 

ක්‍රිකට් අවිනිශ්චිත ක්‍රීඩාවකි. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාව කෙතරම් අවිනිශ්චිත වුවත් දක්ෂතාව තුළින් ජයග්‍රහණය හඹා යා හැකි හැකියාවක් තිබේ. මෙයට කදිම සාක්ෂිය බවට පත් වන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ හැකියාවයි. මේ වනවිට කාන්තා ක්‍රිකට් පිටියට වසන්තය උදා වී තිබේ. උදා වූ ක්‍රීඩා වසන්තයේ අංකුර ක්‍රීඩිකාවන්ගේ දස්කම් විස්කම් ගැන දසතින්ම ඇසෙයි. එසේම අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නම ලෝකයේම බබළවන්නට ද හැකි වී තිබේ. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුගේ හැකියාවයි. ක්‍රීඩා ඉතිහාස පො‍ෙත් අලුත් පිටුවක් සනිටුහන් කරන චමරි අතපත්තු අපේ ශ්‍රී ලාංකේය නාමය රන් අකුරින් සටහන් කළ මලල ක්‍රීඩිකාවන් වන සුසන්තිකා ජයසිංහ, දමන්ති දර්ශා මෙන් තම හැකියාව විකසිත කරන්නේ මුළු ලෝකයේම අවධානය දිනා ගනිමිනි.

 

ගෙවුණු සතිය හරිම වාසනාවන්තය. චමරි අතපත්තු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වසන්තය රැගෙන ආ සතිය බවට පත් වුයේ ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කරමිනි. ඒ සත්කාරක දකුණු අප්‍රිකානු පිල හා ශ්‍රී ලංකාව අතර පැවැති 3 වැනි එක්දින තරගයයි. මෙරට කාන්තා ක්‍රිකට් කණ්ඩායම, කාන්තා එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ඉහළම ලකුණු පුවරුව හඹායෑමේ උරුමකම් කියමින් දැක් වූ දස්කම් අතර චමරිගේ හැකියාව කෙතරම්දැයි මුළු ලොවම දැන ගත්තේ එම තරගයෙනි.

 

එම තරගයේදී තරගයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා පිලට හැකි විය. ශ්‍රී ලංකා පිලේ ආරාධනය අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසියේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි. එහිදී දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩිකා ලූවර් වොල්වඩ් පන්දු 147කින් ලකුණු 184ක් ලබාගනිමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරද්දී බොහෝ දෙනා සිතුවේ ඒ සුපිරි ඉනිමත් සමඟම අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණය සනිටුහන් කරන බවයි. පන්දුවාර 50 අවසානයේදී දකුණු අප්‍රිකානු පිල ලකුණු 301ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරද්දී එම ලකුණු සංඛ්‍යාව හඹා යෑම පහසු කටයුත්තක් නොවන බව බොහෝ ක්‍රීඩා විචාරකයන්ගේ මතය විය. මේ තරගයේ ජයග්‍රහණය දකුණු අප්‍රිකාවට හිමිවන බවට ද ඔවුන් අනාවැකි පළ කරන ලදි.

 

අවසානයේ සියල්ල වෙනස් වුයේ ඇස් ඇදහිය නොහැකි ලෙසිනි. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවක් උදාකරගත් ශ්‍රී ලංකා පිල එම තරගයේ ජයග්‍රහණයට හිමිකම් කියුවේ වාර්තා පොතට ද එක් වෙමිනි. ඒ ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජයග්‍රහණය කිරීමයි. මෙලෙසින් මේ ජයග්‍රහණයට හිමිකම් කියද්දී එහි වැඩිම වගකීමක් කරට ගනිමින් නායිකාව ලෙස තම වගකීම මැනවින් ඉටුකළේ පන්දු 139ට ලකුණු 195ක් ලබා ගනිමිනි. මෙලෙසින් ලකුණු ලැබූ තෙවන ක්‍රීඩිකාව ලෙස ද ඇය වාර්තාවක් තැබුවේ එම ඵෙතිහාසික ජයත් සමඟිනි.

 

චමරි මෙතරම් දුරක් පැමිණියේ විශාල කැපකිරීමක් හා අපමණ බාධා රාශියක් මැදය. ගොකරැල්ල ගමෙන් ක්‍රීඩා පිටියට ප්‍රවිශ්ට වූ චමරි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව බවට පත් වන්නේ 2015 වසරේදීය. එතැන් පටන් මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ චමරි වයස අවුරුදු 34ක ක්‍රීඩිකාවකි. චමරිගේ නායකත්වය යටතේ මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණ රැසක් අත්පත්කර ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දක්ෂතම කණ්ඩායමක් බවට පත් වී තිබේ.

 

මෙම තරගයෙන් පසු දකුණු අප්‍රිකාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් චමරි කියා සිටියේ ඉතා ඉක්මනින් ඇය ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් විශ්‍රාම ගන්නා බවයි. නමුත් අැය ඒ පිළිබඳ නිශ්චිත දිනයක් සඳහන් නොකළ අතර ඉදිරියේදී ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාමාලාවෙන් පසු ඇය පවසන ආකාරයට එළැඹෙන ලෝ්ක කුසලාන තරගයට සහභාගී වීම අවිනිශ්චිතව පවති. අැයගේ සිහිනය වන්නේ අපේ කණ්ඩායම ලෝක කුසලාන තරගයේ ක්‍රීඩා කිරීම දැකීම බව පවසන චමරි අපේ කාන්තා ක්‍රිකට් පිටියට කළ මෙහෙවර අති විශිෂ්ටය.

 

ඇයව මුළු ලෝකයම හරියටම හඳුනා ගන්නේ පසුගිය නොවැම්බර් මාසයේදීය. සිඩ්නි තන්ඩර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ඇය තරග 9ක් තුළ ලකුණු 374ක් ලබා ගත්තේ ප්‍රසිද්ධ සිඩ්නි ක්‍රීඩාංගණයේ ආසන කලාප කොටසක් ඇයගේ නමට වෙන් කරමිනි. ‘චමරි බේ‘ නම් වූ එම කොටස චමරිගේ හැකියාව වෙනුවෙන් කළ උපහාරයකි.

 

එසේම 2017 කාන්තා ලෝක කුසලානයේදී ද චමරි ඔස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 178ක් රැස් කළාය. පසුගිය සතිය වන තෙක් කාන්තා එක්දින ජාත්‍යන්්තර තරගයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවක් ලබාගත් ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වාර්තා වී තිබුණේ ද එයයි. තවද පසුගිය වසරේදී ICC කාන්තා එක්දින ක්‍රීඩාවට හිමි සම්මානය ද ඇය ලබාගත්තාය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීමට අනුවද එක්දින තරග පිතිකාරිණියන් අතුරින් අපේ චමරි ප්‍රථම ස්ථානයට පත්ව සිටින්නීය. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී ප්‍රථම ස්ථානයට පැමිණි ප්‍රථම අවස්ථාව ද මෙය වීම සුවිශේෂත්වයකි.

 

මෙයට සති දෙකකට පෙර දකුණු අප්‍රිකාවේ පැවැති ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා කාන්තා එක්දින තරගාවලියේ දී නොදැවී ලකුණු 195ක් රැස් කරමින් ලෝක වාර්තා කිහිපයක් ද පිහිටුවමින් දැක් වු දස්කම් මත ඇයට පිතිකාරිණියන් අතුරින් ලොව ප්‍රථම ස්ථානයට ශ්‍රේණිගත වීමට අවස්ථාව උදාවී ඇත.

එම අගනා ඉනිමත් සමඟ චමරි අතපත්තු ලකුණු 773ක් ලබා කාන්තා එක්දින ශ්‍රේණිගත කිරිම අනුව ප්‍රථම ස්ථානයට පත් විය.

 

කෙතරම් ජයග්‍රහණ හිමිකරගෙන තිබුණත් ඇයට බොහෝ බාධකවලට මුහුණ දීමට සිදු වූ වාර බොහෝය. ‘චමරි බේ‘ ලෙසින් නම් කළ තරගය සඳහා ද ඇය තෝරාගෙන තිබුණේ අතිරේක ක්‍රීඩිකාවක් ලෙසිනි. මේ කුමන බාධක පැමිණියත් චමරි යනු ජයග්‍රහණය හඹා යන ක්‍රීඩිකාවකි. ඇයගේ ජයග්‍රහණවලට හරස් වූ බාධක බොහෝය. නමුත් ඇය ඒ සියල්ලට දිරියෙන් මුහුණු දුන් ක්‍රීඩිකාවකි. ඇය කාන්තා ක්‍රිකට් පොතේ නොමැකෙන සලකුණු තැබූ ක්‍රීඩිකාවකි. ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් ඉදිරියේදී සමු ගත්ත ද ඇය ලබාගත් ජයග්‍රහණ හා වාර්තා තව බොහෝ කාලයක් නොමැති රන් අකුරින් සනිටුහන් වනු ඇත.