Work life එක බැලන්ස් ද?

මැයි 6, 2024

කාර්යාලයක රැකියාවක නිරතවෙන, ව්‍යාපාර අධ්‍යයනයට සම්බන්ධ ක්ෂේත්‍රයක අධ්‍යාපනය ලබන හුඟදෙනෙකුට නම් මේ Work Life Balance කියන එක නුහුරු දෙයක් නෙමෙයි. නිතර ඇහෙන කනට හුරු දෙයක්. හැබැයි එහෙම නොවෙන, මොකක්ද මේ කියල හිතන අයට වුණත් අනිවාර්යෙන්ම වැදගත් වෙන සංකල්පයක් තමයි මේ Work Life Balance කියන්නෙ. කතන්දරේ කිව්වොත් මෙන්න මෙහෙමයි. Work Life Balance කියන සංකල්පයෙන් කියවෙන්නෙ කෙනකුගේ රැකියාවේදි එයා අතින් කෙරෙන්න ඕනෙ රාජකාරි වගේම රැකියාවෙන් එහාට ගියපු පෞද්ගලික ජීවිතේ ඒ පුද්ගලයා අතින් කෙරෙන්න ඕනෙ දේවල් කියන හැමදේම මඟ නොහැර සමබර කරගෙන කරන එකයි. ඒ කිව්වෙ රැකියාව නිසා පෞද්ගලික ජීවිතේ කාරණාවලටවත්, පෞද්ගලික ජීවිතේ නිසා රැකියාවටවත් ගැටලුවක්කර නොගන්න එක. සරලවම කිව්වොත් දෙකම බැලන්ස්කර ගන්න එක. එහෙම Work Life Balance එකක් ඇතුව වැඩකරපු පුද්ගලයෝ තමයි ජීවිතේ සාර්ථකකර ගන්නෙ අන්තිමේදි. 

නූතන ව්‍යාපාර ලෝකෙ නිතර කතාබහට ලක්වෙන මාතෘකාවක් මේක. හුඟක් රැකියා ස්ථානවලින්ම තමන්ගෙ සේවකයින්ව දැනුවත් කරනවා වගේම දිරිමත් කරනව, මේ Work Life Balance එක පවත්වාගන්න. හැබැයි රැකියාවෙයි, පෞද්ගලික ජීවිතෙයි දහසකුත් එකක් රාජකාරිත් එක්ක මේක කියන තරම්ම ලේසි වැඩක් නම් නෙමෙයි. ඒ නිසයි අපි අද Work Life Balance එක පවත්වාගන්න කරන්න පුළුවන් දේවල් ටිකක් කතා කරන්නෙ.

හිත එකඟකර ගන්න

 

ඔෆිස් එකේ වැඩයි, ගෙදර වැඩයි පටලවාගෙන, ඔක්කොම ඔළුවෙ පුරවාගෙන එකක්වත් හරියට කරගන්න බැරි වෙන්නෙ ඒ වෙලාවට අවශ්‍ය තැන හිත තියාගන්නෙ නැති වුණාහමයි. ඒ කියන්නෙ හිතේ ඒකාග්‍රතාවය නැතිකම. ඔෆිස් එකේ වැඩ කරද්දි හිත තියෙන්න ඕනෙ ඔෆිස් එකේ. ගෙදර අමතක වුණ වැඩ කන්දක් ඔළුවෙ තියාගෙන, ඒව කරන හැටි හිතින් ප්ලෑන් කරන ගමන් නම් ඔෆිස් එකේ වැඩ කරන්න අමාරුයි. එහෙම වැඩ පටලව ගන්නෙත් නැතුව, අමතක කරගන්නෙත් නැතුව කරන්න පාවිච්චි කරන්න පුළුවන් උපක්‍රමයක් වෙන To Do List එකක් හදාගන්න. කොයි විදිහකින් හරි හිත එකතැනක තියාගෙන ඒ වෙලාවට කරන වැඩේ කළෝතින් පටලැවිලි වෙන්නෙ අඩුවෙන්. 

වැඩ ගොඩගැහුණු, ටිකක් පීඩනය වැඩි කාලසීමාවක් නම් හිත එක තැනක තියාගන්න යෝගා හෝ භාවනා ක්‍රම, මනස සන්සුන් කරන සංගීත ඛණ්ඩ වගේ දේවලුත් පාවිච්චි කරන්න පුළුවන්. 

 

 මහන්සි වෙලා මදි, Smart වෙන්න

 

මහන්සි වෙලා වැඩ කළාටම ජීවිතේ බැලන්ස්කර ගන්න අමාරුයි. ටිකක් විතර smart වෙන්නත් ඕනෙ. අපි හුඟක් මහන්සි වෙලා, කාලය අරන් කරන වැඩක් ටිකක් smart විදිහට හිතුවොත් ඊට වඩා අඩු කාලයකින්, අඩු මහන්සියකින්කර ගන්න පුළුවන් වෙන අවස්ථා තියෙන්න පුළුවන්. නව තාක්ෂණික දැනුම, අනිත් අය ලවා වැඩකරවා ගැනීමේ හැකියාව, කරන පුංචි වැඩේ වුණත් ලොකුවට පෙන්නල කැපීපේන්න තියෙන හැකියාව, තමන්වම මාර්කට්කර ගන්න පුළුවන්කම වගේ දේවලුත් මේකට ඇතුළත්.  

 

 අවශ්‍ය තැනදී බැහැ කියන්න පුරුදු වෙන්න

 

හිත හොඳ ගෑනි හැමදාම බඩින් කියනවනෙ. ඒ වගේ තමා ජීවිතේ හැමදේම. හිත හොඳකමට හැමෝටම, හැමදේටම උදව් කරන්න ගියහම තමන්ට කෙළවෙනකන්ම දන්නෙ නැහැ. ඒ නිසා පුළුවන් අවස්ථාවකදී කාට, කොයි විදිහේ උදව්වක් කළත් බැරි වෙලාවකදි කටපුරා බැහැ කියල කියන්න පුරුදු වෙන්න. හැමෝගෙම හිත හොඳ කරන්න ගියෝතින් තමන්ගෙ වැඩ මගහැරිලා පස්සෙ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.

 

 විවේකයක් අරගන්න  

 

මහන්සියි කියල දැනෙන වෙලාවට විවේකයක් ගන්න. එහෙම නැතුව කොච්චර පිම්මේ වැඩ කරන්න හිතුවත් හිතට, ගතට මහන්සි දැනෙන වෙලාවට කරන වැඩවලින් අපි හිතන තරම් output එකක් ගන්න අමාරුයි. දවස ඇතුළත මහන්සි වෙලාවට නැඟිටලා ගිහින් කෝපි කෝප්පයක් බොන්න, සති දෙක තුනක් එක දිගට වැඩ කරලා මහන්සි නම් පොඩි නිවාඩුවක් ගන්න. හිත සතුටු වෙන දෙයක් කරන්න. ආපහු refresh වෙලා වැඩ පටන් ගත්තම කලින්ට වඩා දෙගුණයක් වේගෙන් වැඩ කරගෙන යන්න පුළුවන්. 

 

 කාලය සැලසුම් කරන්න

 

කාලය සැලසුම් නොකළොත් නම් රැකියා හෝ පෞද්ගලික ජීවිතේ කිසිම දෙයක් හරියට කර ගන්න වෙන්නෙ නම් නැහැ. විශේෂයෙන්ම අද කාලෙ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක. පොඩි පොඩි වැඩ නැතත් ඉවර කරන්න ඕනෙ ලොකු වැඩ අනිවාර්යෙන්ම කලින් සැලසුම් කරලා කරන්න අතගහන්න. එහෙම නැතුව කරන්නන් වාලේ කරෝතින් කිසිම වැඩක් අවශ්‍ය වෙලාවට ඉවරකර ගන්න බැරි වෙයි. ඒකෙන් වෙන්නෙ අනවශ්‍ය විදිහට stress වෙලා ඉස්සරහට තියෙන වැඩත් ඒ පිටටම අනාගන්න එකයි. ලොකුවට කාලසටහන් ඇඳලා, වෙලාවල් ලියල නෙමෙයි. හිතින් හරි දළ සැලසුමක් හිතාගෙන ඕනෑම වැඩක් පටන්ගන්න.

 

 තමන් ගැන බලාගන්න

 

ඔය ඔක්කොම අතරේ තමන්ගේ සෞඛ්‍යය සහ සනීපාරක්ෂාවත් අමතක කරන්න එපා කීයටවත්. ලෙඩ වුණොත් ඔය ඔක්කොම කරලා හමාරයි. ව්‍යායාම කරන්න, සෞඛ්‍යාරක්ෂිත ආහාර රටාවකට හුරුවෙන්න, අවශ්‍ය සෞඛ්‍ය පරීක්ෂණ කලට වේලාවට කරගන්න, හිතයි ශරීරයයි දෙකම සතුටු වෙන පුරුදු, භාවිතයන්වලට යොමුවෙන්න. ලස්සනට අඳින්න. විනෝදාංශවල යෙදෙන්න.  

 

 ෆෝන් එකෙන් ටිකකට ඈත්වෙන්න

 

රැකියා ජීවිතේ, පෞද්ගලික ජීවිතේ කියන කෝකෙත් වැඩ කලවම් කරන්න, කාලය කන්න හොඳ මෙවලමක් තමයි මේ දුරකථනය. විශේෂයෙන්ම smart ජංගම දුරකථන. ඕනෑම වැඩක් කර කර ඉන්න අතරෙ ෆෝන් එක අතට ගත්තම කරන්න තියෙන වැඩෙන් පැයක් දෙකක් ඔහේ ගතවෙනව තේරෙන්නෙම නැහැ. ෆෝන් පාවිච්චි නොකර, සමාජ ජාලා එක්ක සම්බන්ධ නොවී නම් බැහැ තමයි අද කාලෙ. ඒත් බරපතළ වැඩ අස්සෙ ෆෝන් එක අරගෙන කාලෙ නාස්ති කරගන්න නම් එපා. වැඩක් ඉවර වෙලා, අර කලින් කියපු විවේකයන් ගන්න වෙලාව වගේ වෙලාවක් තියාගන්න ෆෝන් එකේ දුක සැප බලන්න. වැඩ කරන අතරේ අත්‍යවශ්‍යම දුරකථන ඇමතුමක් වගේ දේකට විතරක්ම ෆෝන් එක පාවිච්චි කරන්න.