යූටියුබ් චැනල් එකක් පටන් ගන්න ආසද?

මැයි 6, 2024

 

මෙන්න එහෙනම් හරිම ක්‍රමය

හිතෙන්නෙ නැද්ද යූටියුබ් චැනල් එකක් කරන්න? දැන් කාලේ හැමෝම වගේ යූටියුබ් චැනල් කරනවනේ. ඇත්තටම එතකොට තමන්ටත් යූටියුබ් චැනල් එකක් කරන්න තිබුණා නම් කියලා හිතන අය ඇති. හැබැයි ඒ සිතිවිල්ල ඇත්තටම ප්‍රායෝගිකව සාක්ෂාත් කරගන්නේ ටික දෙනෙක් තමයි. ඒ ටික දෙනාගෙනුත් සාර්ථක වෙන්න පුළුවන්, හරි පාරක, හරි අරමුණක් ඇතිව යන යූටියුබ් චැනල් එකක් කරන්නේ එහෙමත් කෙනෙක් තමයි. අන්න ඒ නිසා තමයි අපි හිතුවේ යූටියුබ් චැනල් එකක් ඵලදායී විදියට කරන්න කැමති, තමන්ගේ යූටියුබ් Vlog කෙරුවාව සාර්ථක කර ගන්න, හරියට ජනප්‍රිය කර ගන්න කැමති ආධුනිකයෙක්ට සාර්ථක වෙන්න ටිප්ස් කීපයක් ලබාදෙන්න.

 

මොනවද යූටියුබ් චැනල් එකේ තියෙන්නේ?

 

මෙන්න මේක තමයි හිතලා බලන්න ඕනෙ ප්‍රධානතම කාරණාව. අන්තර්ගතය සැලසුම් කිරීම. මේක විශේෂ වෙන හේතුව වෙන්නේ, එකක් ගොඩක් දෙනෙක් චැනල් එකක් පටන් ගන්නේ හරි අදහසක් නැතුව වීම. ඒ කියන්නේ ඔන්න චැනල් එක පටන් ගන්නවා ෂෙයාර් මාකට් ගැන කතා කරන්න. හැබැයි ටික දවසක් යනකොට ඔන්න බුදුදහම ගැනත් මේකේ කතා කරන්න ගන්නවා. ඊට පස්සේ ඔන්න ට්‍රැවල් වීඩියෝ එකක් දෙකක් එහෙමත් එනවා. කොටින්ම කිවුවොත් යූටියුබ් අච්චාරුවක් තමයි ඉතුරු වෙන්නේ.

අන්න ඒ නිසා අපි මුලින් හිතමු මොන වගේ අන්තර්ගතයක්ද අපිට ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. වැදගත්ම දේ යූටියුබ් චැනල් එකෙන් ලබාදෙන්න ඕනෙ තමන් හොඳටම දන්න, තමන්ට කරන්න පුළුවන් දෙයක්. උදාහරණයක් විදියට ගත්තොත්, මළාට කඩදාසි මලක් හදලා නැති හාදයෙක් ආට් ඇන්ඩ් ක්‍රාෆ්ට් Vlog එකක් කරලා වැඩක් නෑ. හැබැයි එයාට ක්‍රියේටිව් රයිටින් පුළුවන් නම්, ක්‍රියේටිව් රයිටින් ගැන ආධුනිකයන්ට ටිප්ස් කියලා දුන්නත් කමක් නෑ. තව කෙනෙක්ට ඉතිහාසය ගැන දැනුමක් තියෙනවා නම්, එයාට ඉතිහාසය ගැන කතා කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේ වගේ දේකදී නිකම්ම කැමරාව ඉස්සරහා ඉඳන් කතා කරන එක ප්‍රමාණවත් නැති වෙන්න පුළුවන්. ග්‍රැෆික් අනම් මනම් හදන්න සිද්ධ වෙන්න පුළුවන්. ඔය මොකුත්ම කරන්න බැරි නම්, නිකම් ඉන්න වෙලාවක කැම් එක ඔන් කරගෙන පරණ ආගිය කතන්දර කතාකරන Vlog එකක් කළත්, ආතල් නම් නැඟලා යයි!

පැහැදිලියිනේ. යූටියුබ් චැනල් එකක් කරනවා නම්, නිශ්චිත තීම් එකක් තියෙන්න ඕනෙ.

 

හරි උපකරණ තියෙනවද?

 

මේකත් අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන කාරණාවක්. ඕනෙ නම් අපිට අඩුම බජට් එකකින් යූටියුබ් වීඩියෝස් කරන්න, හොඳ කොලිටි වීඩියෝ හැකියාවක් තියෙන ෆෝන් එකකුත් ප්‍රමාණවත්.  හැබැයි ඉතින් මේක හැම තැනකදීම ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. උදාහරණයක් විදියට බයික් ට්‍රැවලින් ගැන එහෙම චැනල් එකක් පටන් ගන්නවා නම්, වඩා හොඳයි ගෝප්‍රෝ එකක් හරි ඊට සමාන ඇක්ෂන් කැම් එකක් හරි තියෙන එක. එතකොට එක තැනක ඉඳගෙන කතා කරනවා නම්, ට්‍රයිපොඩ් එකකට, හොඳ ඩිරෙක්ෂනල් මයික් එකකට එහෙම ආයෝජනය කරන එක හොඳයි.

වැදගත්ම දේ මේකයි. කොයි තරම් සුපිරි කැමරාවක් අරගෙන වීඩියෝ එකක් ෂූට් කළත් වැඩක් නෑ, හොඳ ආලෝක තත්ත්වයන් නැති, දැක්කහම එපා වෙන බැක්ග්‍රවුන්ඩ් එකක නම් ඒක කරන්නේ. අන්න ඒ නිසා තමන්ට අත්‍යවශ්‍ය උපකරණ තිබුණට පස්සේ, බැක්ග්‍රවුන්ඩ් එක, හොඳ ආලෝක තත්ත්වයන්, අනවශ්‍ය සද්ද බද්ද නැති වීම වගේ දේවල් ගැන තමයි හිතන්න ඕනෙ.

 

කම්පිටිෂන්!

 

ඔව්, දැන් කාලේ යූටියුබ් එකේ හොයාගන්න නැත්තේ මොනවද? නයි අල්ලන එකේ ඉඳලා, කැලේ පස් මඩවලින් ගෙවල් හදන එක දක්වා, පොත් කියවන එකේ ඉඳලා, පොත් හදන එක දක්වා, කෑම උයන එකේ ඉඳලා කෑම කන එක දක්වා විවිධාකාරයේ තේමාවන් යටතේ චැනල්ස් තියෙනවා. එතකොට අපිට ඇත්තටම අලුතින් ඇඩ් කරන්න දෙයක් තියෙනවද? නැති වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, අපිට ඕනෙ ඔය ඉලෙක්ට්‍රොනික් ගැජට් බැජට් රිවීව් කරන චැනල් එකක් පටන් ගන්න. හැබැයි ඔය විදියේ චැනල් තියෙනවා පඳුරකට පයින් ගැහුවම දුසිම් දහයක් විසි වෙන්න. ඒත් අපිට බැරිද වඩා ක්‍රියේටිව් වැඩක් කරන්න? ඕනෙ නම් ටෙක් දන්නෙ නැති අම්මට හරි තාත්තට හරි අලුත් ගැජට් එකක් ගැන පැහැදිලි කරලා දෙන විදියේ එකක් කරන්න පුළුවන්. ඕනෙ නම් පොඩ්ඩක් කොමඩි ලයින් එකක යන විදියට ගැජට් රිවීව් කරන චැනල් එකක් කරන්න පුළුවන්. ඕනෙ නම් ක්ලැසික් ගැජට් බැජට් රිවීව් කරන්න පුළුවන්.

කොහොම හරි, වෙනස් විදිහට, ක්‍රියේටිව් විදිහට හිතන්න පතන්න පුළුවන් නම්, තරගකාරීත්වය අවුලක් වෙන්නෙ නෑ!

 

හැම තත්පරේම අවශ්‍ය නම් විතරක්

 

මෙන්න මේ කාරණාවේ තියෙන වැදගත් කමත් කියලා නිම කරන්න බෑ. දැන් අපි කියනවා නේද ෂෝට් ඇන්ඩ් ස්වීට් කියලා. අන්න ඒක අනික් හැමදේකටම වගේම යූටියුබ් එකටත් පොදුයි. සමහරු වීඩියෝස් කරනවා ඔහේ ඇදි ඇදී යන. හැබැයි යූටියුබ් වීඩියෝස් බලන කෙනෙක් දන්නවා, අපි සාමාන්‍යයෙන් මුල ඉඳන් අගටම ආතල් එකේ බලන්න පුළුවන් කියලා ෂුවර් පිට දන්න චැනල් එකක ඇර, සාමාන්‍යයෙන් අනවශ්‍ය තරම් දිගට තියෙන යූටියුබ් ක්ලිප්ස් බලන්නෙ නෑ කියලා. අන්න ඒ නිසා තමන් වීඩියෝ එකට එකතු කරන හැම තත්පරයක්ම වැදගත් වෙන්න ඕනෙ. ඒ කියන්නේ අනවශ්‍ය තත්පර එඩිට් එකේදී නිර්දය විදිහට කැපිලා යන්න ඕනෙ. එහෙම නැතිනම්, අපේ වීඩියෝස් බෝරින් වෙන එක නවත්තන්න බෑ. එතකොට අපේ චැනල් එකට උඩට නඟින්න බැරි වෙන එකත් නවත්තන්න බෑ!

 

එඩිටින් පාරකුත් අවශ්‍යයි

 

මේකත් ආධුනික යූටියුබර්ස්ලා කරන වැරැද්දක්. අපි උඩිනුත් කියපු විදියට, අපි කරන වීඩියෝ එකකට එකතු වෙන අනවශ්‍ය තත්පර ගාණක් කියන්නේ, අපිට එන්න ඉන්න සබ්ස්ක්‍රයිබර් කෙනෙක් නැතිවෙන්න තියෙන අවස්ථාවක්. අන්න ඒ නිසා වීඩියෝස් අප්ලෝඩ් කරන්න කලින් එඩිට් කිරීම අවශ්‍යයි. ඒ වගේම, තමන්ගේ යූටියුබ් වීඩියෝ එකට අමතර කොලිටියක් ලබාදීම සඳහාත් එඩිටින් කියන එක අවශ්‍යයි.

හැබැයි ඉතින් මේකට කෙළින්ම පිනකල්, ප්‍රිමියර් හොයාගෙන යන්න ඕනෙ නෑ. බොහොම සරල නොමිලේ ලබාගන්න පුළුවන්. වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර්, ඕනෙ නම් ඔන්ලයින් වීඩියෝ එඩිටින් ටූල්ස් එහෙම පාවිච්චි කළත් කමක් නෑ.

 

 

 

නෙට්වර්ක් එකක් හදාගමු

 

ගොඩක් ආධුනික යූටියුබර්ස්ලා තමන්ගේ චැනල් එකේ එක වීඩියෝ එකක් තියාගෙන කරන දේ තමයි, අනික් අයගේ වීඩියෝස්වලට ගිහින් සබ්ස්ක්‍රිප්ෂන් හිඟා කන එක. “අනේ අපිටත් සබ් දෙන්න”, “අනේ අපේ අර වීඩියෝ එකටත් ලයික් එකක් දාගෙන යන්න” කිය කියා කමෙන්ට්ස් අස්සේ කියවන්න එන යූටියුබර්ස්ලට ඒ ඇඬිල්ලට සබ්ස්ක්‍රිප්ෂන් සහ ලයික් ලැබෙයි කියලා හිතෙනවා නම් ඒක මුළාවක්. අන්න ඒ නිසා මුලින් කොලිටි අන්තර්ගතයන් ටිකක් තමන්ගේ චැනල් එකට එකතු කරලා ඉන්න. ඊට පස්සේ තමන්ගේ චැනල් එකට නෙට්වර්ක් එකක් හදාගන්න එක නිර්මාණශීලීව කරන්න ක්‍රම සහ විධි හිතලා බලන්න. 

ඒ වගේම තමන්ට කමෙන්ට් කරන්න එන අය එක්ක සම්බන්ධ වෙන එකත් ආරම්භයේදී ඉඳලම කරන්න පුළුවන් හොඳ වැඩක්. පස්සේ කාලෙක චැනල් එක අති ජනප්‍රිය වෙලා හැම කමෙන්ට් එකටම රිප්ලයි කරන්න බැරිවුණත්, පටන් ගැන්මෙදී පුළුවන් නේ.

 

සල්ලි හොයන්නත් ඕනෙ නේද?

 

යූටියුබ් චැනල් එකක් කරන්නේ එක්කෝ ආතල් එකට, එක්කෝ ජනප්‍රියත්වයට නැතිනම් සල්ලි හොයන්නනේ. ගොඩක් වෙලාවට ඔය තුනම එකට තමයි ලැබෙන්නේ. හරි, යූටියුබ් චැනල් එකක් කරලා සල්ලි හොයන්න පුළුවන් ක්‍රම සහ විධි ගණනාවක් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, සෘජුව පළ කරන අනුග්‍රාහක දැන්වීම්වලින් ගාණක් හොයන්න පුළුවන්. එක්කෝ ස්පොන්සර්ඩ් රිවීව් වගේ දේවලින් සල්ලි හොයන්නත් පුළුවන්. එහෙම නැතිනම් ඉතින් යූටියුබ් එකේ වීව්ස්වලින් සල්ලි හොයන්නත් පුළුවන්. හැබැයි ඉතින් මේ යූටියුබ් මොනොටයිසේෂන් කියන්නේ වෙනම කතා කරන්න ඕනෙ මාතෘකාවක්. ඒක වෙනම කතා කරමු.

හැබැයි මේ කියන්න ආවේ එක දෙයක්. යූටියුබ් චැනල් එකක් කියන්නේ දීර්ඝ කාලීන ආයෝජනයක්. පටන් අරගෙන සතියෙන් දෙකෙන් සල්ලි හොයන්න දඟලන්න එපා. මුලින් චැනල් එක ස්ථාවර කරගෙන ඉන්න.