දර ගින්දරෙන් කරදර පිච්චූ හලාවත ඩයස් අක්කා

අප්‍රේල් 8, 2024

 

දිරිය ගැහැනියක වීමට අවශ්‍ය නම් ඇය ජීවිතයේ සෑම දෙයකින්ම බැටකෑ යුතුය. ආදරයෙන් වල්මත් වී ජීවිතයම ආදරය කරගත් පසු ඒ ආදරය අහිමි විය යුතුය...හිමිකර ගත් ආදරය බොහෝ දුරක් රැගෙන විත් ජීවත් වීමටත් බැරි මැරෙන්නටත් බැරි අවස්ථාවක අහිමි විය යුතුය...තනිකර යා යුතුය. ලැබිය යුතු සෑම දෙයක්ම දැඩි ආයාසයකින්ම ලබා ගැනීමට සිදුවිය යුතුය..

ලෝකය හා ගැටීමේදී ලිංග භේදය අමතක කළ හැකි තරමේ ශක්තියක් තිබිය යුතුය.. ආදරය හුදෙක් වචනයක්ම පමණක් බව හදවතට දැනිය යුතු සේම තමන්ට වඩාත් ආදරය කරන පුද්ගලයා තමාම විය යුතුය යන්න වටහාගත යුතුය..අදාළ නොවන චරිත සහතික නින්දා ප්‍රශංසා පිළිබඳව තැකීමක් නොකළ යුතුය. දරු මල්ලන් සමඟ මවක් ලෙස තනිවිය යුතුය. කන්නට බත් ඇටයක් නැති තරමට කුසගිනි දැනිය යුතුය. දිනෙක...ආපසු හැරී බැලීමේදී...

දෙවියනේ කොහොමද මම එහෙම දරාගත්තේ කියා තමාගෙන්ම ඇසීමට සිදුවෙන තරමට දරාගත යුතුය..

සාර්ථක බොහෝ පිරිමින් පසුපස ගැහැනියක් සිටින බවට මතයක් පිළිගැනීමක් ඇතත්....

බහුතරයක්...සාර්ථක ගැහැනියක පිටුපස බොහෝ අවස්ථාවන්හිදී ඇත්තේ නින්දා අපහාස අත්හැර දැමීම්ය... මේ සියලුම දුක් ගැහැට විඳ කාන්තාවක් ජීවිතයේ පැමිණිය හැකි උසස්ම තැනකට පැමිණියේ නම් ඇය යකඩ ගැහැනියක් විය යුතු නොවේද? මේ කියන්න යන්නේ එවන් යකඩ ගැහැනියක් ගැනය. ඇය ඥානවතී ඩයස්. හලාවත දර වෙළෙඳාම් යන ඩයස් අක්කා කිව්වම ඇයව නොදන්න කෙනෙක් නැති තරම් ය. මේ ඇගේ කතාව...

 

කොහොමද ඩයස් අක්කා..?

 

දරුවො දෙන්නත් එක්ක සතුටින් ඉන්නවා. කොච්චර ප්‍රශ්න තිබුණත් මම කඳුළු සල සල දුකින් ඉන්නේ නැහැ. මේ අපිට ලැබිච්ච ජීවිතේ. අපි සතුටින් ඉන්න ඕනේ.

 

පිරිමින්ට විතරක් කරන්න පුළුවන් කියලා බොහෝ අය සම්මතය කරගෙන තිබෙන රැකියාවකයි ඔබ යෙදිලා ඉන්නේ. ඔබ ව්‍යාපාරික කාන්තාවක්. මොකක්ද ඔබේ ව්‍යාපාරය?

මගේ ප්‍රධානම ව්‍යාපාරය දර ව්‍යාපාරය. ඉවත ලන දර තමයි මගේ ව්‍යාපාරයට යොදා ගන්නේ. ඒවා මැෂිමෙන් කපලා වතුවලින් එළියට ගෙනල්ලා අත්ට්‍රැක්ටරෙන් කඩයක් කඩයක් ගානේ ගිහින් විකුණනවා.

මගේ වැඩපොළට දර ටික ගෙනැල්ලා පොඩි කෑලිවලට කපලා ඒවා පොරවෙන් පලනවා. ඊට පස්සේ ඒ දර, කෑලි පහ බැගින් වෙන් කරලා මිටි බඳිනවා. ඊට පස්සේ ගිහින් අලෙවි කරනවා.

 

ඒ බඳින මිටි කඩවලට ප්‍රවාහනය කරන්නේ කොහොම ද?

 

මමමයි ඒ කටයුතුත් කරන්නේ. අත්ටැක්ටරෙන් මම කඩවල් ගානේ ගිහින් දර අලෙවි කරනවා. ප්ලේන් එකයි, දුම්රියයි අැරෙන්න අනිත් හැම වාහනයක්ම මට පදින්න පුළුවන්.

මිටි කීයක් වගේ සතියකට අලෙවි කරනව ද?

 

මට ඕඩර් තියෙනවා සතියකට මිටි 1000ක් වගේ. මේ සෙනසුරාදාට මිටි 1000ක් දැම්මොත් ඊළඟ සෙනසුරාදටත් මිටි 1000ක් දානවා. හැබැයි එක් එක් කඩවල්වලින් ගන්න දර මිටි ප්‍රමාණය වෙනස් එක කඩේකින් දර මිටි 100ක් ඉල්ලද්දි තව කඩේකින් 200ක් ඉල්ලනවා. ඒ එයාලට ඉන්න පාරිභෝගිකයන්ගේ ඉල්ලුම අනුවයි. ගෙදරට ඇවිල්ලා දර මිලට ගන්න පිරිසකුත් ඉන්නවා. විශේෂයෙන්ම දානේ ගෙවල් මළගෙවල් මඟුල් ගෙවල් වගේ ඒවට දර ගෙනියන්න ගොඩ දෙනෙක් එනවා. පායන කාලෙට දර කපලා මිටි බැඳලා ලෑස්ති කරලා තියෙනවා. ඒ නිසා ගංවතුර එන කාලෙකදි වුණත් ගැටලුවක් වෙන්නේ නැහැ, දර මිටි කලින්ම සූදානම් කරලා තියෙන නිසා.

 

ඔබ ජීවිතය ජයගත්තේ කොහොම ද?

 

2016 අවුරුද්දේ ඉඳලා මම සැමියාගෙන් අයින් වෙලා තනියම හිටියේ. සැමියා මාවයි දරුවයි අතහැරලා ගියේ 2016 අවුරුද්දේ. එතකොට මගේ දුවට වයස අවුරුදු 6යි. දැන් දුවට අවුරුදු 13ක් වෙනවා. දුවට අවුරුදු 3 -4 කාලයේදිත් මම සෑහෙන ප්‍රශ්නවලට මුහුණ දුන්නා. පොඩි කාලේ ඉඳන්ම මම තනියම ප්‍රශ්නවලට මුහුණ දීපු කෙනෙක්.

ණය වුණා. ඉඩමේ ඔප්පුව උකස් තිබ්බා. තිබුණ අත්ට්‍රැක්ටරෙත් එයා උකස් තියලා ගිහින් තිබුණේ.

මට අසනීපයක් තිබ්බා. ෆිට් එක හැෙදන එක.

ඉතින් අපි ව්‍යාපාරයක් කරන්න බලාගෙන ණය අරගෙන ඒක කරන්න සූදානම් වෙද්දි අසනීපත් එක්ක ව්‍යාපාරත් වැටුණා. ඒ දේවල් එහෙම වෙද්දි හැම තැනටම මාව ණයකාරයෙක් කරලා මාවයි දරුවයි දාලා එයා පැනලා ගියා. එතැනින් තමයි මම ජීවිතය පටන් ගත්තේ..

 

කෝටියක් ණය වුණා කියන්නේ මොකක් ද?

 

සැමියත් එක්ක කොප්පරා ව්‍යාපාරයක් කළා. ඒ ව්‍යාපාරය දියුණු කරගන්න අවශ්‍ය දේවල්කර ගන්න අපි ගෙදර ඔප්පුව තියලා ණයක් ගත්තා. ඒ ව්‍යාපාරය කරගෙන යද්දී මට දරුවෙක් ලැබෙන්න හිටියා.

දරුවා ලැබෙද්දීම අසනීප දරුවෙක් විදිහටයි මේ ලෝකෙට එළිය දැක්කේ. එයාගේ පැලෝපීය නාළයේ ගෙඩියක් තිබුණා. එයාව ඔපරේෂන් කරද්දි එයාට මාස දෙකහමාරයි. එයාගේ ඔපරේෂන් එකට ලක්ෂ 15ක් ගියා. බබා ලැබිලා මාස ගාණක්ම රිජ්වේ රෝහලේ හිටියේ බබත් එක්ක. ඒ දේවල් එක්ක මම හැමෝටම ණය වුණා.

ඉතින් මම දරුවා ළඟ ඉද්දී මහත්තයත්

හැම තැනටම ණය වෙලා. දරුවව චැනල් කරන ඒවටත් ලොකු වියදමක් ගියා. ඒ කාලේ හැමදෙයක්ම වියදම් වුණා මිසක් ආදායමක් ලැබුණේ නැහැ. සීට්ටු දාලා තිබ්බ ඒවලත් ප්‍රශ්න වුණා. ඒ වෙද්දි ව්‍යාපාරයට ඔප්පු තියලා ණයක් අරගෙන තිබුණේ. එහෙම වටේටම ණය වෙලා තියෙද්දි මිනිස්සු ගෙදර ඇවිල්ලත් ගහ මරා ගන්න ගත්තා.. ඔහොම සෑහෙන ප්‍රශ්න ගොඩකට මම මුහුණ දුන්නා. ණය කෝටියකටත් වැඩිය ගෙව්වා. තව ලක්ෂ 40ක් විතර ගෙවන්නත් තියෙනවා.

 

ඒ වගේම නඩු ගොඩකුත් තිබුණා නේද?

ඔව් නඩු 13ක් තිබුණා. ඒ ගොඩක් ඒවා ණය සම්බන්ධ නඩු. උසාවියෙදි එක නඩුවක් කතා කරලා බහිද්දි.. තව නඩුවකට කතා කරනවා.

 

දර ව්‍යාපාරය පටන් ගත්තේ කොහොම ද?

 

දවසක් මට ෆිට් එක හැදිලා ගොඩක් අමාරු වුණා. මම කාටවත් කරදර කරන්න කැමැති නැහැ. ඉතින් මගේ අමාරුකම් කාටවත් කිය කිය ගියේ නැහැ. මගේ දුවත් එහෙමයි. එයා පොඩි වයසේ ඉඳන් හැමදේම තනියම කරගන්නේ. ඉතින් එදා දුව තනියම ලැහැස්ති වෙලා පාසල් ගියා. මම දවස් තුනක් විතර ගේ ඇතුළට වෙලා හිටියේ අමාරු නිසා. ඉතින් කිසි කෙනෙක් ඒ ගැන දන්නේ නැහැ. මගේ ලොකු අක්කා මට නිතරම කතා කරනවා. මගේ ෆොන් එක වැඩ කරන්නේ නැතුව අක්ක කෙනෙක් එවලා තිබ්බා මට මොකද වුණේ බලන්න. මම ඉපදුණේ 1977. මම ඉපදිලා අවුරුදු 2කින් අම්මා නැති වෙනවා. ලොකු අක්කා තමයි අම්මෙක් වගේ මාව හදලා තියෙන්නේ. එයා එතකොට වැඩ කළේ මහියංගණය රෝහලේ. ඒ කාලේ වගේම එයා අදටත් මං ගැන හොයනවා බලනවා.

ෆිට් එකට බොන බෙහෙත් ටික නැති වුණාම නිතර නිතර ෆිට් එක හැඳෙනවා. අක්කා රුපියල් 4000ක් දුන්නා එවලේ බෙහෙත් ටික ගන්න. මගේ සම්පූර්න බෙහෙත් ටික ඒ කාලේ 4800ක් වෙනවා. මං සම්පූර්ණ බෙහෙත් ටික ගන්නේ නැතුව 2400ක බෙහෙත් ගත්තා. ඉතුරු ගානෙන් දර ගත්තා. එතකොට දර යාරයක් රුපියක් 800ක් වගේ වෙන්නේ.

බෙහෙත් ටිකෙන් පොඩි සුවයක් දැනුනත් අඟට ලොකු අමාරුවක් තිබුණා. ඒ වුණාට ඊට වැඩිය මගේ හිතේ ධෛර්ය වැඩියි. ඉතින් නිකන් ඉඳලත් බෑනේ. ඉතින් දර යාර භාගයක් අරගෙන පළලා සූදානම් කරගත්තා. මට මැෂින් එකක් නැහැ එතකොට.. ඉතින් පොඩියට පොරවෙන් දෙකට කපලා කුට්ටි කරලා. පොරවෙනුයි පිහියෙනුයි රවුම් කර කර.. කුට්ටි කර ගත්තා. මිටිය ලස්සනට නැති වුණාමත් මිනිස්සු ගන්නේ නැහැ.

ඒ දර යාර භාගය විකුණලා මම රුපියල් 3000කට කිට්ටු මුදලක් හොයා ගත්තා. ඇත්තටම මට ඒක ලොකු මුදලක් වෙලාවෙ හැටියට. ඒකෙන් දරුවට කෑම බීම ටිකක් ගත්තා.

 

ව්‍යාපාරය දියුණු කර ගත්තේ කොහොම ද?

 

දර ව්‍යාපාරය ඒ විදිහට පටන් ගද්දි මට ඒක තව දියුණු කරගන්න අවශ්‍ය වුණා. ඉතින් මං කීප දෙනෙක්ගෙන් ණයක් ගන්න ඇහුවා. කිසිම කෙනෙක් මට ණයකට අත්සන් කරන්නේ නැහැ. මොකද මහත්තයත් ගියා. මමත් ලෙඩ වෙලා, ඔප්පු බැංකුවලට සින්න වෙලා.. ඒ දේවල් එක්ක මෙයා කොයි වෙලාවේ හරි බඩු ටිකත් පටවගෙන ගමෙන් යයි කියලා තමයි මිනිස්සු හිතුවේ.

SLI future life කියලා සමිතියක් තියෙනවා. ලංකාවේ ගොඩක් ප්‍රදේශවල මේ ආයතනයේ ශාකා තියෙනවා. ඉතින් අපේ ගමේ සමිතියෙන් පළමු ණය විදිහට මට රුපියල් 30000ක් ණයට දුන්නා. ඒ දවස්වල ඩෙන්සෝ මැසිමක් රුපියල් 18,600ක් වුණේ. ණය ලැබුණු ගමන් මම කළේ මැෂිමක් මිළට ගන්න එක. මැෂිම අරගෙන ඇවිල්ලා වෙන කෙනෙක් දම්මලා තමයි මම මුලින්ම දර කැපුවේ. හැමදාම මැෂිම කැඩෙනවා. මට හිතුණා ඒක හරි යන්නේ නැහැ කියලා. මගේ මැෂිම මංම පුරුඳු වුණා. ඔහොම පුරුදු වෙලා හලාවත කඩවල් බොහෝ ප්‍රමාණයකට මම දර දාන්න ගත්තා.

ඊට පස්සේ ඒ ආදායමෙන් ටැක්ටරේ උකස බේරුවා රුපියල් 65,000ක් දීලා. හැබැයි ඉතින් ඒ වෙනකොට ටැක්ටරේ අව්වේ.... වැස්සේ තිබිලා... හොඳටම දිරලා තිබුණේ. ලෑලී පට්ටම් ඔක්කොම ගැලවිලා තිබුණේ. ඒ ගැලවිච්ච ඒවට ඇණ ගහලා ඉටිකොළ සවි කරලා.. තමයි දර අරගෙන ගියේ.

 

දැන් දර දාන්න ලොකු වැඩපොළකුත් තියෙනවා නේද?

 

ඔහොම යද්දී මට 60,000 කට ඒ ආයතනයෙන්ම දෙවැනි ණය මුදලක් ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මම එකපාරම 30000 ක දර ගත්තා.

ඊට පස්සේ ඒ ආදයමෙන් වාරිකත් ගෙවාගෙන යද්දි මට ඕන වුණා දර දාන්න ටිකක් ලොකු මඩුවක් ගහන්න. ඒකට මොකද කරන්නේ කියලා කල්පනා කරද්දී සමිතියෙන් ක්ෂණික ණය කියලා 10,000ක් දෙන්නා ගත්තා. මං ඒ 10,000ට සිමෙන්ති ගෙනල්ලා බිම ක්‍රොන්ක්‍රීට් දාලා... මඩුව සම්පූර්ණ පිළිවෙලකටම හදාගත්තා. මොකද වේයෝ කෑවම දර දෙන්න බෑනේ.

ඊට පස්සේ හලාවත කඩ දෙක තුණකින් අපේ ගෙදර එන්න යන්න ගත්තා. ඔයා මේක පිළිවෙලකට කරනවා.. ඒ නිසා අපේ ඕඩර්ස් ටිකත් ඔයාට දෙන්නම් කියලා... හලාවත මුදලාලී කෙනෙක් මගෙන් 30 -40 ට දර අරගෙන... එයා 50 - 60ට විකුණන්න ගත්තා. ඊට පස්සේ එයා දර දෙන තැන් බලාගෙනම මම සෘජුවම ඒ අයට දර දෙන්න ගත්තා. දවස ගානේම දර මිටි 500-750ක් වගේ ප්‍රමාණයක් මම දවස ගානෙම අරගෙන යනවා. හලාවත ඉඳිප්ප, වඩේ වගේ කඩයප්පම් හඳන අයටත් මම දර විකුණන්න ගත්තා. ඔහොම හලාවත පැත්තම අල්ලාගත්තා.

 

මේ දර හොයා ගන්නේ කොහෙන් ද?

 

රජයෙන් විනාශ කරන්න කියලා දාපු ඇකේෂියා වතු තියනවා. ඇකේෂියා ගගේ මල්වල මී මැස්සා වැහුවාම.. මලට ඇලිලා මී මැස්සා මැරෙනවා.. මී මැස්සන්ගේ වද වීම පාලනය කරගන්න තමයි මේ ඇකේෂියා ගස් විනාස කරන්නේ. එහෙම තිබ්බාම ඒ වත්තේ බදු කීයද කියලා අහලා වත්ත බද්ධට අරගෙන ගස් ටික මං කපලා.. මංම අතු ශුද්ධ කරගෙන ගෙදර අරගෙන එනවා. ඇකේෂියා, ලුණුමිදෙල්ල වගේ දර තමයි මං ලඟ තියෙන්නේ. මගේ දර ව්‍යාපාරය රජයේ ලියාපදිංචි ආයතනයක්. ඒ පර්මිට් එක දෙන්නත් වන ජීවි එකෙන් කිහිප සැරයක්ම ඇවිත් බලලා තමයි දුන්නේ. මොකද විරුද්ධ දේවල් කරනවද කියලා. පුත්තලම පරිසර අමාත්‍යංශ කාර්යාලයෙනුත් ඇවිත් බැලුවා.. සෞඛ්‍ය පරීක්ෂක තුමත් ඇවිත් බැලුවා. එයාලා ඇවිත් බලලා තමයි මේ ව්‍යාපාරය ලියාපදිංචි කලේ. කුරුණෑගල, වයඹ සහ ජෑ ඇළ ප්‍රදේශවලට යනකම්ම මට පර්මිට් තියෙනවා දර ව්‍යාපාරයට.

 

දර ව්‍යාපාරය ප්‍රධාන ව්‍යාපාරය වෙද්දි තව අතුරු ව්‍යාපාරත් කිහිපයක්ම ඔබට තියෙනවා....

 

දර ටික දාගෙන අත් ටැක්ටරේ යද්දි පොල් කටු පොල් ලෙලිත් එකතු කරන්න ගත්තා. නගරේ ගෙවල්වල අය පොල් කටු, පොල් ලෙලි කුණු ටැක්ටරයට දෙනවා. මං එයාලට කිව්වා ඒවා මට දෙන්න කියලා.. ඒවා දන්න ලොකු උර එයාලට මම ගෙනත් දුන්නා. ඉතින් දර වෙළදාමේ යද්දි පොල් කටු ටිකත් අරගෙන ආවා.

ඊට පස්සේ මම මඩුව තව තව ලොකු කර ගත්තා. මඩුවට ලකස 3ක් විතර වියදම් වුණා. කොටසින් කොටස තමයි මඩුවේ වැඩත් ඉවර කර ගත්තේ. 10 -15කට විතර වැඩ කරන්න පුළුවන් ලොකු මඩුවක් දැන් මට තියෙනවා. ප්‍රධාන ව්‍යාපාරය විදිහට දර ව්‍යාපාරය තමයි කරගෙන යන්නේ. ඊට අමතරව දැන් කොහුබත් ව්‍යාපාරයකුත් කරගෙන යනවා.

 

ඔබ තවත් අයට රැකියා අවස්ථාත් සලසා දී තිබෙනවා...

 

දර ව්‍යාපාරයට සමිතියේ සාමාජිකාවන් 4 දෙනෙක් සම්බන්ධ කරගත්තා. ඕඩර්ස් වැඩි වෙනකොට එයාලා තමයි දර ටික බදින්නේ. මං ඒවට ගෙවීම් කරනවා. අලුතෙන් පටන් ගත්ත කොහුබත් වැඩපොලේ උදව්වටත් එයාලා එනවා. සතියකට එයාලා 7000 -8000ක ප්‍රමාණයක් මේ ව්‍යාපාරයෙන් හොයා ගන්නවා.

මේ තැන ඉන්න ලොකු හයියක් වුනේ future life ආයතනය. ස්වයං රැකියා කරන අයට ව්‍යාපෘති කරන අයට එයාලා ණය දෙනවා. ණය විතරක් නෙවෙයි ඒ අදාල රැකියාව කරන්න අවශ්‍ය උපකරණ ගන්නත් උදව් කරනවා.

 

ඩයස් අක්කගේ පවුලේ විස්තර කොහොම ද?

 

මගේ උපන් ගම මයිංගනය. මගේ පවුලේ 10 දෙනෙක් ඉන්නවා. මට ඉන්නේ අක්කලා 05යි. අයියලා හතරයි. මම පවුලේ බාලයා. 2005 අවුරුද්දෙ විවාහ වෙලා තමයි හලාවත පදිංචියට ආවේ. මට අවුරුදු 2 දී අම්මා නැති වුණා කියලා තාත්තා වෙනත් විවාහයක් කර ගත්තේ නැහැ. අපි හැමෝවම බලා ගත්තා.

යුද හමුදා සෙබලියක් ලෙසත් ඔබ සේවය කළා නේද?

 

මම යුද හමුදා ආදුනික කාන්තා සෙබල බලකායේ හිටියේ. මම ආමි එකට ගියේ 1993 අවුරුද්දේ. අවුරුදු 15ක් සේවය කළා. ඔළුව ප්‍රදේශයේ වුණ ආබාධයක් නිසා මම සේවයෙන් ඉවත් වුණා.

 

දැන් ලොකු දුවක් ඉන්න මවක්

 

දැන් දුවට අවුරුදු 14යි. දැන් 9 වසරේ ඉඟෙන ගන්නවා. සැමියා අපිව දාලා යද්දී දුව එක වසරේ. නාන්කඩවර විද්‍යාර්ථ විද්‍යාලයේ දුව ඉඟෙන ගන්නේ. එයා මටත් උදව් කරනවා මේ වැඩවලට. මට මේ වැඩපොලේ වැඩකරලා මහන්සි වෙලා අවම කෑම ලෑස්ති කරලා... රෙදි ටික හෝඳලා තියනවා. සැමියා අපිව දාලා යද්දි... මට එයාවත් බලාගෙන කරන්න පුළුවන් වෙනත් රස්සාවක් තිබුණෙත් නැහැ. ගොඩක් අය කිව්වා දරුවව කාට හරි දීලා මට රට යන්න කියලා. ඒකට මට කොහොමත් හිත දුන්නේ නැහැ. මොකද මම රට රාජ්‍යවල ගිහින් එද්දි මට මගේ දරුවත් නැති වෙලා තියෙයි.

 

ඔයා තවත් දියණියකට මවක් වෙනවා මොකක්ද ඒ කතාව?

 

මගේ දුවෙක් වගේ මම තව ළමයෙක් හදා ගන්නවා. ඒ ළමයගේ අම්මා නැති වෙන්නේ ඒ ළමයට අවුරුදු 4 දී. දරුවා පෙරපාසල් ඉවරවෙලා එද්දි ඒ අම්මා දරුවව බයිසිකලයේ ඉස්සරහ කූඩයේ දාගෙන යද්දී වැලි ටිපර් එකකට වැදිලා අම්මා පාරට වැටෙනවා. දරුවව කැලේට විසි වෙනවා. අම්මාගෙ ඇග උඩින් ටිපර් එක ගිහින් අම්මා මැරෙනවා. කාලයක් යද්දි පියා දරුවව බලාගන්න වෙනත් කාන්තාවක් ගේනවා. පියා දරුවව ඒ කාන්තාවට බාර දීලා රැකියාවක පියා විදේශ ගත වෙනවා. ඒ කාන්තාව දරුවට ගහලා..පුච්ච්ලා.. වද හිංසා කරලා තිබුණා. එතැනින් ගැලවිලා ඒ ළමයා තවත් නෑදෑයෙක් වෙන කෙනෙක්ගේ ගෙදර ගිහින් තිබුණා. ඔහොම වෙද්දී මට මේ ළමයා ගැන ආරංචි වුණා. මම ඒ ළමයව බලන්න ගියා. ඒ දේවල් දැක්කම මට තේරුණා. තමන්ගේ ළමයා ඇඳ උඩ. මේ ළමයා බිම. තමන්ගේ ළමයි ඇඳලා විසි කරන ඇඳුම් තමයි මේ ළමයට දෙන්නේ. ඊට පස්සේ මං එවලෙම ඒ ළමයගේ ගෙදර අය එක්ක කතා කරලා දරුවගේ තාත්තාත් එක්කත් කතා කරලා ගෙදර අරන් අවා.

ඊට පස්සේ ඒළමයවත් මගේ දුවගේ ඉස්කෝලෙටම දැම්මා. ඒ ළමයව ගෙනාවට පස්සේ ගමේ මිනිස්සු 119 ගහලා මට විරුද්දව පැමිණිලි කලා මම ගෙදර වැඩට දෙමළ ළමයෙක් අරගෙන ඇවිල්ලා කියලා. ඊට පස්සේ හලාවත ළමා හා කාන්තා කාර්යාංශයේ oic සුබානි මහත්මිය මං ගෙදර නැති අවස්ථාව ඇවිල්ලා දුරකථන අංකය දීලා ගිහින් තිබුණා කතා කරන්න කියලා. ඊට පස්සේ මම කතා කළා. මෙහෙම ළමයෙක්ම ගෙදර තියන් ඉන්නේ කොහොමද.. ළමයව පරිවාසයට දාන්න කිව්වා.. ඊට පස්සේ මම ළමයි දෙන්නවම අරගෙන පොලිසියට ගියා. ඊට පස්සේ මෙයාව වෙනම කාමරයකට අරගෙන මෙයාගෙන් ප්‍රශ්න ඇහුවා. මෙයා ඉතින් කලින් විදපු දුක කියලා තිබුණා. එදාට පහුවදාම උසාවි දැම්මා. ඊට පස්සේ නඩුකාර හාමුදුරුවෝ මෙයාගෙන් වෙනම ප්‍රශ්න ඇහුවා. මගෙන් වෙනම ප්‍රශ්න ඇහුවා. කවුරු ලඟද ඉන්න කැමැති කියලා ඇහුම මා ළඟ ඉන්න කැමැතියි කියලයි දරුවා කියලා තිබුණේ. ඊට පස්සේ නිතී රෙගුලාසි යටතේ දරුවව මට බාර දුන්නා. ඒ දරුවා මං ළඟට අරගෙන අවුරුදු 4ක් වගේ වෙනවා. මං දරුවෝ දෙන්නටම එක විදිහටයි සලකන්නේ. එක්කෙනෙක්‍ට ඇඳුමක් ගත්තොත් අනිත් කෙනාටත් ගන්නවා.

 

සමාජ සුබසාදනය වෙනුවෙනුත් උදව් කරනවා නේද?

 

ඔව් පන්සල්වලට, පෙර පාසල්වලට, පාසල්වලට මම හරියට උදව් කරනවා. ඒ නිසා විදුහල්පතිත් විරුද්ද වුණේ නැහැ ඒ ළමයව මේ පාසලට ගන්නවට. නාන්කඩවර සමගි පෙරපාසලේ බුදු කුටියක් නැහැ. දරුවෝ පාරට ඇවිල්ලා තමයි වන්දනා කරන්නේ. පෙර පාසලේ අවුරුදු උත්සවයජට මටත් ආරාදනා ලැබුණා. මගේ අම්මා නැති වෙලා මේ සැප්තැම්බර් මාසයට අවුරුදු 43ක් වෙනවා. 30 වැනි අවුරුද්දේ මම ශිෂ්‍යත්ව ළමයින්ට පන්තිකාමරයක් හඳලා දුන්නා. 35 වෙනි එකට 85 නමකට දානයක් දුන්නා. 43 වෙනි එකට බුදු කුටිය හදලා දෙන්න ඕනෙ කියලා හිතුනා. දැන් එකේ වැඩ ගොඩක් ඉවරයි. නැකැත් බලලා පිළිම වහන්සේ තැන්පත් කරන්න විතරයි තියෙන්නේ.

 

දරුවෝ දෙන්නෙකුත් බලාගෙන.. ව්‍යාපාරයකුත් කරගෙන... තව අයට රැකියාත් දීලා... දැන් ඔයාට ඔයා ගැන මොකද හිතෙන්නේ...?

 

මට මං ගැන හරි ආඩම්බරයි. මොකද එදා දරුවව දාලා මාව දාලා අනේ මට දරුවා ජීවත් කරවන්න බෑනේ කියලා මම තව මනුස්සයෙක්ව ගත්තනම් අද මම මීට වඩා දුකට පත් වෙලා ඉන්න පුළුවන්. තනියම ඉඳලා මේ වගේ ගමනක් ආපු එක ගැන ගොඩක් ආඩම්බර වෙනවා.

 

දිරිය කාන්තාවක් විදිහට අපේ අයට දෙන්න තියෙන පණිවිඩය මොකක් ද?

 

අපේ ගමෙත් සමහර කාන්තාවෝ ඉන්නවා කිසි දෙයක් කරන්නේ නැතුව ගෙයක් ගෙයක් ගානේ කේලම් කිය කිය ඉන්න අය. මම එයලගේ මූණටම කියනවා මාව ආදර්ශයර ගනිල්ලා මාත් එක්ක වැඩ කරන්න වරෙල්ලා කියලා. ඉතින් කිසි උනන්දුවක් නැහැ. ඒක කම්මැලිකම. හලාවත කොහුබත් වැඩපොළවල් ගොඩක් තියෙනවා.. උනන්දුවක් තියෙනවනම් ගොඩ යන්න ක්‍රම කොච්චර තියෙනව ද. මේ සතියේ 5000ක ආදායමක් ලබා ගත්තොත් ඒක ඊළඟ සතියේ 6000 කරගන්න එයාලා දැනගන්න ඕනේ. දියුණු වෙනවනම් දර කෑල්ලත් ඇති

 

සැමියාගේ හැර යාම දරා ගත්තේ කොහොම ද?

 

මාව එපා නිසානේ මාවයි දරුවවයි දාලා ගියේ. ණය ගොඩකුත් ඉතුරු කරලා ගියේ. එයා මාව එපා කියලා ගියාට අදටත් එයාගේ පවුලේ අය මාත් එක්ක හොඳට කතා බහ කරලා ඉන්නවා. එයා අපිව දාලා ප්‍රශ්නවලින් පැනලා ගියාට මම කවදාවත් දරුවෝ අතහැරලා ගිහින් නැහැ.

උසාවියේ නඩු වාර වලදිත් මට ෆිට් එක හැඳිලා වැටිලා තියෙනවා. මගේ නීතිඥවරයා පවා කිව්වා දරුවව පියාගෙ පැත්තෙ අයට බාර දීලා මට මගේ ගමට යන්න කිව්වා. දරුවව දාලා මම මලත් යන්නේ නැහැ කිව්වා.

මට දරුවට කන්න බොන්න තරම් දෙයක් අරගෙන දෙන්නවත් මගේ අතේ සල්ලි තිබුණේ නැහැ. ඇත්තටම මම සමහර දවස්වලට කපටි කමට.. අපේ අල්ලපු ගෙදර මෙයාට වඩා ටිකක් වැඩිමල් ලමයි දෙන්නෙක් ඉන්නවා. ඒ ළමයින්ට එළවළු බත් අනම් මනම් හවසට හදලා කවනවා. ඒ වෙලාවට මගෙ ළමයව හීමිට එහෙට යවනවා. එයා එහෙන් එතකොට බත් කාලා එනවා. මම කුරුම්බා ගෙඩියක් බිලා බඩගින්න නිවා ගන්නවා.

එක දවසක් එලවළු බත් කාලා බත් ඇට දෙක තුනක් අතේ ගුලිකරගෙන ඇවිල්ලා අම්මේ මේ කියලා මට දික්කරා මගේ කටෙන් තිබ්බා. මට ජීවිතයේ ගොඩක්ම දුක හිතුනේ ඇඩුනේ එදා තමයි.

 

මේ හැම දේටම මුහුණ දෙන්න හිත හයිය කරගත්තේ කොහොම ද?

 

මට වුණත් ජීවිතයේ එපා වුණු තැන් තිබුණා. සමහර දවස්වලට ළමයා නිදි කරලා මට මැරෙන්න හිතුණ අවස්ථා තිබුණා. අනේ මට ළමයගේ මූණ දකිද්දි හිතුණා අපේ කරුම වලට මේ දරුවෝ පලි නෑනේ කියලා. මගේ ඔළුවේ තිබුණේ මම මේ ළමයව කොහොම හරි ජීවත් කරනවා කියන දේ විතරයි. මම කාටවත් බය නැහැ. මගේ ජිවිතේ පිරිමියෙක්ගේ වගේ තමයි. ඕන රෑක ඕන දේකට මම බය නැතුව මුහුණ දෙනවා. අවුරුදු ගාණක් දරුවත් එක්ක තනියම හිටියේ කිසි කෙනෙක් මට කරදර කරන්න ඇවිල්ලා නැහැ.

මම හරියට පින් දහම් කරනවා. දර මිටියෙන් රුපියල් දෙක තුනක් හරි අයින් කරනවා පින් වැසවලට. එදා අසරණයි කියලා කඳුළු හල හල හිටියානම් ජීවිතයම කඳුළුම තමයි. මහත්තයා ගියා කියලා මම කවදාවත් අඩලා නැහැ. දහඩිය හෙළපු මට වැරදුනේ නැහැ.

 

ඡායාරූප - එස්.කේ. තිසේරා

හලාවත සමූහ වාර්තාකරු