අලුත් අවුරුද්දේ බර අායෙමත් කරට ගනිමු ද?

අප්‍රේල් 8, 2024

අවුරුදක් ගෙවිලා අවුරුද්දක් ලබනවා කියන්නේ මිනිස්සුන්ගේ සිස්ටම් එක චේන්ජ් වෙන තැනක්. සමහරු චාරිත්‍ර කරනවා. සමහරු චාරිත්‍රවලින් ඈත් වෙලා ඉන්නවා.

සිංහල හින්දු අය අලුත් අවුරුද්ද වෙනුවෙන් දේවල් කරන කොට අනිත් ආගම්වල අයවත් මතක් නොකර බැහැ. හැබැයි කොයි ආගමේ වුණත් අපි හැමෝම අවුරුද්දත් එක්ක වෙනස් ලයිෆ් ස්ටයිල් එකකට චේන්ජ් වෙනවා. මේ අලුත් අවුරුද්දේ ඔයා වෙනස් වෙන්න ඕනේ මෙන්න මේ විදිහටයි.

 

අලුත් අවුරුද්ද ටර්නින් පොයින්ට් එකක්කර ගන්න

ජීවිතයට ඉලක්කයක් හදාගෙන ඒ ඉලක්කයට යන්න නම් මොකක් හරි ටර්නින් පොයින්ට් එකක් තියෙන්නම ඕනේ.

ඉලක්කයක් හදා ගද්දිත්, අපිට යන්න ඕනෙ ඉලක්කයන් කෙළින්ම ලොකු එකෙන් පටන් ගන්නේ නැතුව, කුඩා ඉලක්ක කිහිපයක් විදිහට කඩා ගන්න එක තමයි හොඳම දේ. උදාහරණයක් විදිහට අපිට මේ අවුරුද්දේ මොකක් හරි පාඨමාලාවක් ඉවර කරන්න ටාගට් එකක් තියෙනවා කියමු. එතකොට අපිට ඒක කරන්න අධිෂ්ඨාන ශක්තිය අවශ්‍යයි. හැබැයි අපේ ටාගට් එක වෙන්නේ අවුරුද්දේ අන්තිමට සහතිකය ගන්නවා කියන එක නම්, ඒක සම්පූර්ණකර ගන්න අපේ තියෙන අධිෂ්ඨාන ශක්තිය මදිවෙන්න පුළුවන්. ඒ නිසා, හොඳම දේ තමයි අපිට යන්න ඕනෙ විශාල ඉලක්කය, කුඩා ඉලක්ක ගණනාවකට කඩා ගන්න එක. එතකොට ළඟ ඉලක්කයකට ගිහිල්ලා ඒක සාර්ථක කරගත්තහම, අපිට ඊළඟට තියෙන ඉලක්කයට යන්න ඒක හොඳ දිරිගැන්වීමකුත් වෙනවා.

ඒ වගේම තව කාරණයක්, තමන්ට සාක්ෂාත්කර ගන්න වුවමනා ඉලක්ක ගැන බොහොම පැහැදිලි අදහසක් තියාගන්න ඕනෙ. එහෙම නැතුව ඔහේ ගමනක් යනවා කියන්නෙම අධිෂ්ඨාන ශක්තිය දුර්වල වෙනවා කියන එක. මේ අලුත් අවුරුද්ද ඔයාගේ ඉලක්කයට ටර්නින් පොයින්ට් එකක්කර ගන්න. එහෙම වුණාම තමයි අලුත් අවුරුද්දට එන කන්සෙප්ට් එක සාර්ථකව ආරම්භ කරන පුළුවන් වෙන්නේ.

 

චේන්ජ් එක චැලේන්ජ් එකක්කර ගන්න

අපි කියමු අපිට මොකක් හරි අලුත් දෙයක් කරන්න අදහසක් පහළ වෙනවා. හැබැයි අදහස ආපු ගමන් අපි එක කරන්නෙ නෑ. එක්කෝ, අනිත් හැම දෙයක්ම, හැම තත්ත්වයක්ම, හොඳ වෙනකල් බලාගෙන ඉන්නවා. එහෙම නැතිනම්, ඒක ලබන අවුරුද්දට කල් දානවා. හැබැයි ඔය දෙකෙන්ම වෙන්නේ, අපේ අලුත් අදහස කවදාවත් ක්‍රියාත්මක කරන්නේ නැති වීම තමයි. සමහර වෙලාවට ඒක අපිට කලින් වෙන කෙනෙක් ක්‍රියාත්මක කරලා සාර්ථක වෙනවා. අපිට වෙන්නේ ඒ දිහා බලාගෙන ඉන්න තමයි. ඒ නිසා කිසිම දෙයක් පටන් ගන්නට, නැකත් එනකල් බලාගෙන ඉන්න එපා. හැමදේම පරිපූර්ණ තත්ත්වයට එනකල් බලාගෙන ඉන්නත් එපා. දෙයක් හිතුණා නම් ඒ මොහොතෙම පටන් ගන්න. අලුත් අවුරුද්දත් එක්ක ලයිෆ් එක චේන්ච් වෙද්දි කරන්න ඕනේ කියලා හිතේ තියන් හිටපු දේවල් චැලේන්ජ් එකක්කර ගන්න. එතකොට තමයි මේ අවුරුද්දවත් සාර්ථකව පටන් ගන්න පුළුවන් වෙන්නේ.

 

සෞඛ්‍ය සම්පන්නභාවය කියන්නේ ආයෝජනයක්

සෞඛ්‍ය සම්පන්න වීම කියන්නේ ජීවිතයට ආයෝජනයක් කියන එක තරුණ වයසෙදි කාටවත් ඔළුවට එන්නෙ නැහැ. ඒකට හේතුව තරුණ වයසෙදි, අපේ ඔරොත්තු දීමේ ශක්තිය වැඩියි. සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීම කොයිතරම් වැදගත්ද කියන එක දැනෙන්න නම්, එක්කෝ වයස්ගත වෙන්න ඕනෙ. එහෙම නැතිනම් සෞඛ්‍යට තර්ජනයක් එල්ල වෙන්න ඕනෙ.

අන්න ඒ නිසා අපි කියනවා, තරුණ වයසේදීම තේරුම් ගන්න හොඳ සෞඛ්‍ය සම්පන්න භාවයක් කියන්නේ ජීවිතයට ආයෝජනයක් කියන එක. තමන් සෞඛ්‍ය සම්පන්න නම් වැඩි කාලයක් තමන් ආදරය කරන අයත් එක්ක ජීවිතය විඳින්න පුළුවන්. අනවශ්‍ය ප්‍රශ්න නැතුව තමන් කරන්න ඕනෙ, කරන්න ආස දේවල් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ලෙඩ දුක්වලට බෙහෙත් කරන්න යන මුදල් පවා ඉතිරිකර ගන්න පුළුවන්.

 

අලුත් දේවල් හොයන්න

ඇත්තටම ගොඩක් අයට සිහින තියෙනවා. කවදාහරි මම මෙහෙම කෙනෙක් වෙන්න ඕනෙ කියලා ආසාවෙන් හැම කෙනෙක්ම වගේ සිහින දකිනවා. හැබැයි ඒවා සිහින විතරක් වුණාට මදි. ඒ සිහින කරා යන මාර්ගයත් මෙනෙහි කරන්න ඕනෙ. ඒ සිහින කරා යන මාර්ගය තමයි අපි උඩින් කියපු සැලසුම. ආන්න එතකොට කවදාහරි තමන්ගේ ඉලක්කයන්ට ගියාට පස්සේ තමන්ගේ ජීවිතය මෙහෙමයි කියලා සිහින දකිනවා වගේම, ඒ සැලසුමට අනුව ඒ සිහිනයන්ට යන හැටි ගැනත් සිහින දකින්න. ආන්න එතකොට තමයි වැඩේ ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ. නැත්නම් ඒ සිහින හැමදාමත් සිහිනම තමයි. අලුත් දේවල් හොයන්න පටන් ගන්න. අලුත් දේවල් හොයන්න පටන් ගත්තම මෙතෙක් නොගියපු නොදැකපු පාරවල් හම්බවෙයි. ඒ පාරවල්වලින් හරි පාර තෝර ගන්න.

 

තමන්ගේ වටිනාකම හඳුනාගන්න, නිර්මාණය කරන්න

අපි ඕනෙම කෙනෙක්ගේ වටිනාකමක් තියෙනවා. සමහරවිට ඒ වටිනාකම අපිටවත් තේරෙන්නේ නැතිවෙන්න පුළුවන්. ඒත් අපිට ඒ වටිනාකම හොයාගන්න පුළුවන්. හරියට තනි කළු ගලක් ඇතුළේ හැංගිලා තියෙන පිළිමයක්, ගල් වඩුවෙක් ගල පතුරු ගහලා මතුකර ගන්නවා වගේ.  දැන් මොනවද මේ කියන වටිනාකම්? හොඳට මතක තියාගන්න. තමන්ගේ වටිනාකම කියන්නේ “මට රස්සාවක් නෑ, ඉගෙනගෙන නෑ, හැබැයි මට හොඳ හිතක් තියෙනවා” කියන එක නෙවෙයි. තමන්ගේ හොඳ ගතිගුණවල වටිනාකම අපි ඊළඟට කතා කරනවා. හැබැයි අපි අපේ වටිනාකම අපේ ඉගෙනීමෙන්, අපි සමාජයට ලබාදෙන දායකත්වයෙන්, රැකියාවෙන්, අපි කරන කියන දේවලින් තමයි හදාගන්න ඕනෙ. ඉතින් එහෙම තමන්ට තිබිය යුතු වටිනාකම් හඳුනාගෙන, ඒ වටිනාකම් තමන් ළඟ නැති නම් නිර්මාණයකර ගන්න එක, තමන්ට තමන් විදියටම ජීවත් වෙන්න අත්‍යවශ්‍ය වෙනවා.

ඔබේ ජීවිතය අවබෝධකර ගන්න, සැලසුම් කරන්න

තමන්ට තමන් විදියට ඉන්න අවශ්‍ය නම්, මුලින්ම තමන්ව, තමන්ගේ ජීවිතය අවබෝධකර ගන්න වෙනවා. තමන්ට ජීවිතේ කරන්න ඕනෙ මොනවද? තමන්ට අනාගතයේ ඉන්න ඕනෙ කොතැනද කියන කාරණා තමන්ටම හොයා බලලා අවබෝධකර ගන්න වෙනවා. අන්න එතකොට, තමන්ගේ ජීවිතේ කොයි වගේ වෙන්න ඕනෙද කියලා අනික් හැමෝම ලබාදෙන උපදෙස්වලට අනුව නටන්න අවශ්‍ය වෙන්නෙ නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, තමන් රැකියාව අත්හැරලා බිස්නස් එකක් පටන් ගන්න හිතනවා නම්, ඒක කොයි තරම් ඥානවන්ත අදහසක්ද කියන එක තමන්ගේ ප්‍රාග්ධනය, බිස්නස් කරන්න තමන්ට තියෙන හැකියාව, ව්‍යාපාර ඥානය, බිස්නස් සඳහා මේ කාලය යෝග්‍යද, තමන් තෝරගන්න බිස්නස් එක කොයි තරම් සාර්ථක කරගන්න පුළුවන්ද වගේ කරුණු කාරණා මත හොයලා බලලා තීරණය කරන්න ඕනෙ දෙයක්. ඒ කියන්නේ වෙනත් අයගේ අදහස් මත නෙවෙයි, කරුණු, සාධක, දත්ත මත තීරණය කරන්න ඕනෙ දෙයක්. එතනදී අදාළ ක්ෂේත්‍රය ගැන ඉන්න හැබෑ විශේෂඥයන්ගෙන් උපදෙස් ගන්න පුළුවන්. මේ හැම දේම අනුව අපිට පුළුවන් අපිට අවශ්‍ය ජීවිතය මොකක්ද කියන එක අවබෝධ කරගෙන, ඒ ජීවිතේ ලබාගන්න සැලසුම් කරන්න අන්න එහෙම කරලා තීරණයක් ගත්තට පස්සේ ආයෙ අනික් මිනිස්සු මොනවද ඒ ගැන කියන්නේ කියන එක අදාළ වෙන්නේ නෑ.

 

මේ අවුරුද්දේවත් තමන් තමන් වෙන්න.

අපි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි, තමන් යම් කිසි දෙයක් කරන්න තීරණයක් තනියම ගන්න බයයි. දෙයක් තනියම කරන්න බයයි. කරලා වරදිනවට බයයි. ඒ නිසා, සමාජේ අනික් අයගෙන් තමන් කරන්න යන දේට, තමන්ගේ තීරණයට අනුමැතිය ලබාගන්න උත්සාහ කරනවා. අන්තිමට දන්නෙම නැතුව තමන් ජීවත් වෙන්නේ අනික් අයට ඕනෙ විදියට වෙලා. අන්න ඒ නිසා, මුලින්ම තමන් හිතෙන හිතෙන විදියට, හැරෙන හැරෙන පැත්තට තීරණ ගන්න එක නවත්තන්න ඕනෙ. ඒ වෙනුවට හොයලා බලලා, විශ්ලේෂණය කරලා, තක්සේරු කරලා, ඥානවන්තව තීරණ ගන්න පුරුදු වෙන්න ඕනෙ. ඊළඟට, තමන් ගන්න තීරණයක ප්‍රතිඵලය මොකක් වුණත් භාරගන්න පුළුවන් විදිහේ එඩිතර කමක් ඇති කරගන්න ඕනෙ. ඊට පස්සේ, තමන් කරන කියන දේවල්වලට අනික් අයගෙන් අනුමැතිය බලාපොරොත්තු වෙන පුරුද්ද නවත්තගන්න ඕනෙ.

 

ලෝකෙත් එක්ක අප්ඩේට් වෙන්න

දැන් වෙනකොට අපි දකිනවනේ හිතාගන්න බැරි තරම් වේගයකින් ලෝකේ තාක්ෂණය දියුණු වෙනවා. හිතිලා නැද්ද, තාක්ෂණය දියුණු වෙන වේගයත් එක්ක, අපිත් ඒ තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න ඕනේ කියලා. සෝෂල් මීඩියා, ලින්ඩින්, චැට්ජීපිටි වැනි නිතර අප්ඩේට් වෙන දේවල් ගැන හොයලා බලන්න. තාක්ෂණෙත් එක්ක කරටකර යන්න බැරි වුණොත් ඔයා මේ ලෝකේ මුකුත් නොදන්න කෙනෙක් බවට පත් වේවි. හැබැයි මේ දේවල් එක්ක ඔයාට වෙලාවකට හිතෙයි අපි ඇත්ත ලෝකෙන් ශීඝ්‍රයෙන් ඈත් වෙනවා කියලා? ඒ කියන්නේ, අපිට යාළුමිත්‍ර සම්බන්ධකම් ඔන්ලයින් පවත්වන්න පුළුවන්. ඔන්ලයින්ම වැඩ කරන්න පුළුවන්. ඔන්ලයින් දේවල් ඕඩර් කරන්න පුළුවන්. අවශ්‍ය නම්, කෙනෙක්ට තමන්ගේ ගෙදරින් පිටතට යන්නෙ නැතුව අවුරුද්දක් වුණත් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ඒක ජීවත් වීමද? අපි අද ඉන්න ලෝකේ සෑහෙන්න මානසික ගැටලුවලට, මානසික සංකූලතාවලට වැඩි දෙනෙක් වැඩි වැඩියෙන් නිරාවරණය වෙනවා කියලා හිතිලා නැද්ද? අන්න ඒ නිසා, දියුණු වෙන තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන් නම් ගෙදර ඉඳන් වැඩ කරන්න. හැබැයි ඔෆිස් එකට යන්න එන්න ඉතුරු වෙන කාලය, ඇත්ත ලෝකේ මොහොතක් ගත කරන්න ප්‍රයෝජනයට ගන්න. ගෙදරින් එළියට බහින්න. ඇත්තටම ගිහින් යාළු මිත්‍රයෝ මුණගැහෙන්න. යාළුවෝ එක්ක ෆිල්ම් හෝල් එකකට ගිහින් ෆිල්ම් එකක් බලන්න. කොටින්ම කිව්වොත්, දියුණු වෙන තාක්ෂණයට අපේ ජීවිත සුවපහසු කරලා, අපේ සුවපහසු පුටුවේ හිරකරලා තියන්න ඉඩ නොදී, තමන්ගේ ජීවිතේ ඇත්ත ලෝකේ ගත කරන වගකීම තමන්ගේ අතට ගන්න.

 

ඡායාරූපය - ශාන් රූපස්සර