සිස්ටම් චේන්ජ් කරන්න පෙර අපි චේන්ජ් වෙමු...

සිත සැහැල්ලු වෙන්න.. එන්න නටන්න..
ඔක්තෝබර් 24, 2022

දරුවන් මල් මෙන් යැයි බොහෝ දෙනා පවසති. මල් මෙන් වූ දරුවන් රැක බලා ගැනීම, ඔවුනට දැනුම ලබා දීම ලෙහෙසි දෙයක් නොවේ. මල්වල පාට, සුවඳ හොඳින් ලැබීමට නම් එම මල් අකාලයේ මිලින නොවීමට හෝ මලානික නොවීමට නම් එයට අවැසි වතුර, පොහොර, සෙවණ, අවශ්‍ය පරිදි හිරු රැස් තිබිය යුතුය. දරුවන් ද එසේ ය.

 

අනාගතයේ සමාජයට යහපත් පුරවැසියන් දායාද කිරීමට නම් අද වෙසෙන දරුවන්ගේ සුබ සිද්ධිය ගැන අප සිතා බැලිය යුතුය. එහෙත් අද බොහොමයක් වැඩිහිටියන් දරුවන්ගේ ලෝකය දෙස බලන්නේ වැඩිහිටි ඇසකිනි. 'අපි පොඩි කාලේ නම් මෙහෙම නෑ' යැයි පවසමින් දරුවන්ගේ අඩුපාඩු පමණක් කතා කරති.

එය සත්‍යයකි. අපි කුඩා කාලයේ දී ළමා දිනය මෙතරම් උත්සවාකාරයෙන් සැමරුවේ නැත. එමෙන්ම අපට සෙල්ලම් කරන්නට, පරිසරය විඳින්නට, සුරංගනා කතා අසන්නට හැකි ළමා කාලයක් තිබිණි. එහෙත් අද දරුවන්ට ඒ සුන්දර ළමා කාලය බොහෝ ඈතය. ඔවුන් උදේ පාසලටත් ඉන් අනතුරුව ටියුෂන් පන්තියටත් එසේත් නැතිනම් වෙනත් පුහුණුවීම් සඳහා පාසලේ සිටත් නිවෙසට පැමිණෙන්නේ විඩාපත්ව ය.

අද පවතින ආර්ථික අර්බුදය පීඩාකාරී බවක් ඇති කරන්නේ අපට පමණක් නොවේ. කුඩා දරුවන්ට පවා ඒ පීඩාව හොඳින්ම දැනෙයි. අනාගතයක් ගැන සිතන්නට අපහසු වර්තමානයක සිටින දරුවන් කායිකවත් මානසිකවත් සිටින්නේ හෙම්බත්වය. එහෙව් අවදියක සිටින දරුවන්ට සතුටක් ගෙන දීම මහඟු පුණ්‍ය‍ය කර්මයකි.

ඒ නිසාම පසුගිය ළමා දිනය වෙනුවෙන් බොහෝ පාසල්වල විවිධ වූ වැඩසටහන්, ක්‍රියාකාරකම් දියත්කර තිබුණි. අනුරාධපුර පාසලක විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය පාසලේ ළමයින් සඳහා ඔවුනට හැකි උපරිමයෙන් ආහාර වේලක් සකසා දරුවන්ගේ කුස පුරවා සිත් පිරවීමට කටයුතු කර තිබිණි. තවත් පාසලක ගුරුවරියන් විසින් දරුවන් පිනවීම වෙනුවෙන් සංදර්ශනයක් සංවිධානය කර තිබිණි. තවත් පාසලක පිරිමි ගුරුවරුන් පිරිසක් කාන්තාවන් ලෙස හැඳ පැලැඳ රංගනයක යෙදී තිබිණි. දරුවන් හා ගුරුවරුන් එක්ව සංදර්ශන පැවැත් වූ පාසල් ද විය. ඒ අතරම දරුවන්ගේ දක්ෂතා කරළියට නැංවූ උත්සව ද ඇතැම් පාසල්වල සංවිධානය වී තිබිණි.

නමුත් මේ හැම ක්‍රියාකාරකමක් ම අබිබවා බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ මුහුණු පොතේ සැරිසැරූ පාසල් දරුවන් සමඟ එක්ව නර්තනයේ යෙදුණු ගුරුවරියකගේ වීඩියෝවට ය. ඇය ජවයෙන් පිරි තරුණ ගුරුවරියකි. දරුවන් සමූහයක් ද ඉතාමත් සැහැල්ලුවෙන් නටමින් සිටින අතර ගුරුවරියන් කිහිපදෙනකු ද සතුටින් නටන ආකාරයක් එම වීඩියෝවෙන් දිස් වේ.

නැටීමෙන් සිතේ ඇති බොහෝ පීඩනයන් ඉහිල් වී මනස සැහැල්ලු වන බව දන්නේ එසේ නැටූ අයකු පමණි. නර්තනයක නොයෙදුණු අයකුට එය දැනෙන්නේ හෝ එම හැඟීම පැහැදිලි කරදීම ද අපහසු ය. කෙසේ වෙතත් එදින එම පාසලේ දරුවන් නිවෙස් බලා යන්නට ඇත්තේ ඉතාමත් සැහැල්ලු මනසින් හා සතුටු සිතිනි. එක්ව නර්තනයේ යෙදීමෙන් ගුරුවරු හා දරුවන් අතර ඇති සබඳතාව ද ශක්තිමත් වේ. මන්ද වැරැද්දට දඬුවමට වඩා වැරැද්දක් වීමට පෙර දරුවන් ඉන් මුදා ගැනීමට දරුවන් හා සමීප වූ ගුරුවරුන්ට හැකියාව ලැබෙන බැවිනි. එවැනි ගුරුවරුන් සමඟ තමාට ඇති ගැටලු සාකච්ඡා කිරීමට වුවද දරුවන් දක්වන්නේ කැමැත්තකි.

මෙහි ඇත්තේ ඔවුන් නර්තනයේ යෙදුණු ගීතයේ වැරැද්දක් නම් ඒ සඳහා නැවතත් මෙවැන්නක් කිරීමේ දී මඳක් සිතා බලන ලෙස සඳහනක් කරනවා මිස ඔවුන්ව නිර්දය ලෙස විවේචනය කිරීම සුදුසු නැත.

බොලිවුඩ් සුපිරි නළු අමීර් ඛාන් අධ්‍යක්ෂණය කළ හා ඔහු විසින්ම රංගනයෙන් ඔපවත් කළ 'තාරේ සමීපර්' හින්දි චිත්‍රපටය නැරඹූ අය සිටිත් නම් ගුරුවරයකු යනු පොතේ දැනුම පමණක් දරුවන්ගේ ඔළුවට දමන පිරිසක් නොවන බව වටහා ගනු ඇත. එම චිත්‍රපටය බැලූ අවධියේ දී මා සිතුවේ මේ චිත්‍රපටය අපේ සියලු ගුරුභවතුන්ට පෙන්විය යුතු බවයි. නමුත් දැන් සිතෙන්නේ එය අපේ රටේ සිටින සෑම පුද්ගලයකුටම බැලීමට සැලැස්විය යුතු බවයි. නටා, ගයා, රඟා දරුවන්ගේ මනස අධ්‍යාපනය වෙත යොමු කරලීම ගුරුවරුන්ගේ කාර්යභාර්යේ එක් කොටසක් වැනි ය.

මඳක් සිතා බලන්න, පෙර පාසලේ දී මෙන්ම ප්‍රාථමික පන්තිවල දී පවා ගුරුවරියන් අපට ගීත, කතා ආදිය කියා දුන්නේ රංගනයෙන් නොවේද? එසේ නම් නැටුම ගුරුවරියකට අකැප වන්නේ කෙසේද?

සිස්ටම් චේන්ජ් කිරීමට සිතනා බොහෝ දෙනා පළමුවෙන් ම තමාගේ සිතිවිලි චේන්ජ් කරගන්නවා නම් අපට අනාගත දරුවන් වෙනුවෙන් දැනට වඩා යහපත් හෙට දිනක් සැකසිය හැකිය. වරදක් ඇත්නම් එය පෙන්වා දිය යුතු ආකාරයක් ද ඇත. නිර්දය විවේචනයෙන් සිදුවන්නේ යහපත් දේ ද විනාශ වී යාමයි. එමනිසා ඇස්වලින් දුටු දේ කටින් පිට නොකොට මනසින් සිතා බලා කටයුතු කිරීමට සිතට ගන්න.