දරුවන්ගේ අතට දෙන සල්ලි දවසක වෙන්න පුළුවන් පිල්ලි

ජනවාරි 16, 2023

 

අද වන විට අපේ රටේ දරු පරම්පරාව ගැන ඇහෙන ඇතැම් කතාන්දර එතරම් සුබදායක නැහැ.ඒක අපි හැමෝම දන්නා කතාවක්. එක් මත්ද්‍රව්‍ය උවදුරට ශීඝ්‍ර ලෙසින් අපේ දරුවන් විවිධ ලෙසින් ඩැහැගනිමින් සිටින මොහොතක් තමයි මේ ගතවෙමින් පවතින්නේ. සමාජයේ විවිධ පුද්ගලයන් වංචනිකයන් වගේම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ඍජු ගොදුරක් බවට පත් වෙන දරුවන් ඉන් බේරා ගැනීම, මවුපියන් ලෙස වගේම සමාජයේ වගකිවයුතු පුරවැසියන් ලෙස අපට පැවරෙන පොදු වගකීමක් බවට දැන් පත්වෙමින් පවතිනවා.කෙටියෙන්ම කිවහොත් එකිනෙකාට දොස් නඟමින් කාලය ගත කරන සෑම තත්ත්පරයකදීම ඔබේ දරුවාත් වෙනත් කල්ලියක ග්‍රහණයට හසුවීමේ අවදානමක් දැන් ඇතිවෙමින් පවතිනවා.

 

 

 

මෙසේ පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුරින් දරුවන් බේරාගැනීමේ ප්‍රමුඛ වගකීම පැවරෙන්නේ දෙමවුපියන් වෙතටයි. පාසල් සහ සමාජ සුබසාධන කටයුතු ක්‍රියාත්මක කරනු ලබන විවිධ වැඩසටහන් මෙන්ම ආරක්ෂක අංශ මැදිහත් වෙමින් සිදු කරනු ලබන විශේෂ වැඩසටහන් පැවැත්වෙන අතරතුරදී ඔබේ දරුවා පිළිබඳ පෙරට වඩා වහකීමෙන් සහ විමසිල්ලෙන් සිටීම ඉතාමත් වැදගත්.

 

පාසල් අසල මත්ද්‍රව්‍ය සඳහා ඔබේ දරුවා පොලඹවා ගැනීමට සැදී පැහැදී සිටින කණ්ඩායම් ඔබේ දරුවන් ඒ සඳහා යොමු කරගනු ලබන්නේ ක්‍රමානුකූල ක්‍රමවේදයකට අනුවයි. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඔවුන්ගේ අවශ්‍යතාව ඉටු කරගැනීමට ඔබේ දරුවන් ඒ සඳහා යොදා ගැනීමට ද මාන බලමින් සිටින වග කිසි මොහොතකත් අමතක කළ යුතු නැහැ.

 

ඇතැම්විට ටොපියකින් චුයින්ගම් එකකින් බීම පැකට්ටුවකින් ඇරඹෙන මේ හාදකම් ඔබේ දරුවා මත්ද්‍රව්‍ය වෙත යොමු කිරීම දක්වා විහිදෙන්නට පුළුවන්. පාසල් අසල කල්ලි ගැසෙන මතට ඇබ්බැහිවූවන් ඔවුන්ගේ ඉලක්කය සපුරාගන්නට ඔබේ දරුවාත් මත්ද්‍රව්‍ය වෙත යොමු කරන්නටත් පුළුවන්.

මේ ක්‍රියාවලිය බිඳ දැමීම මූලිකව ආරම්භ කළ යුත්තේ අපේ නිවෙසින්.

 

අම්මේ මට අද රුපියල් සීයක් දෙන්න.යාළුවො එක්ක බීම බොන්න.

 

වෙනදා මෙසේ ඔබේ දරුවා පවසන විට දෙවරක් නොසිතුවද මේවන විට පවතින තත්ත්වය අනුව එය දෙවරක් නොව තෙවරක් සිතා කටයුතු කළ යුතුයි. ඔබ කිසිත් නොවිමසා එම මුදල දුන්න හොත් ඉන් පසුව දරුවා දෙවැනි දිනයේද කිසිදු චකිතයකින් තොරව මුදල් ඉල්ලා පෙරැත්ත කිරීමට පෙලඹෙයි. මෙසේ පාසලට දරුවා රැගෙන යන මුදල ඔහු හෝ ඇය විසින් නිසි කටයුතු සඳහා යොදවනවාද යන්න පිළිබඳ ඇස ගසා සිටීම ඉතා වැදගත් කටයුත්තක්.එසේම ඔබේ දරුවා කලහකාරී ලෙස පෙරැත්ත කරමින් යම් කටයුත්තක් සඳහා මුදල් ඉල්ලා සිටින්නේ නම් ඒ පිළිබඳ සැලකිලිමත්වීම දෙමවුපියන්ගේ වගකීමක්.

මීට කලකට ඉහත බාබුල්, ගංජා සහ හෙරොයින් පාසල් දරුවනට හුරු කිරීමේ ක්‍රමවේදය පිළිබඳ විමසා බැලීමේදී එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ක්‍රියාත්මක කළ සැලසුම්වලට සමාන සැලසුම් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ක්‍රියාත්මක කරන බවද ඔබ මතක තබාගත යුතුමයි.

 

ඔබේ දරුවා ඇසුරු කරන කණ්ඩායම් පිළිබඳ ඔහුට හෝ ඇයට නොදන්වා සොයා බැලීම දෙමවුපියන් වෙත පැවරෙන තවත් එක් වගකීමක්.ඇතැම් විටදී පාසල් බස් රථය, පාසල් ප්‍රවාහන රථය හෝ ඔබ පැමිණෙන තෙක් පාසල නිමාවී ඒ අසල රැඳෙන දරුවා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරක් වීමටද ඉඩ ඇති වග ඔබ සිහි තබා ගත යුතුමයි. පළමු දිනයේ දරුවා කැමතිම දෙයක් සමඟ කතා බහට එක්වන එවැනි පිරිස් ඉන් පසුව ඔබේ දරුවා ලවා මුදල් ගෙන්වා ගනිමින් ඔවුන්ගේ කටයුතු සඳහා එම මුදල් ලබා ගැනීමද කළ හැකියි.

 

ඔබේ දරුවා වෙනදාට වඩා ප්‍රචණ්ඩ නම්, අධ්‍යාපනයෙන් මිදී කල්පනා කරමින් කාලය ගත කරයි නම් වෙනදාට වඩා ඔහුට හෝ ඇයට සමීපව, ආදරයෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත්. එසේම ඔවුන් පිළිබඳ ඔබ නිතර අවධානයෙන් සිටින වග පෙන්වීම අත්‍යාවශ්‍ය කාරණාවක්.

 

"පුතා ඊයේ බෝලයක් ගන්න ඉල්ලන් ගිය සල්ලිවලින් ගත්ත බෝලෙ ගෙන්නකෝ. අපි සෙල්ලම් කරමු"

වැනි දේ පැවසීමෙන් ඔබ දරුවා නිවෙසින් රැගෙන යන මුදල් පිළිබඳ අවධානයෙන් සිටින බවට කරනු ලබන ඉඟියක්. එවැනි විටදී දරුවා බෝලය රැගෙන නොආව හොත් එම මුදලට සිදුවූ දෙය පිළිබඳ සොයා බැලීම භයානක උවදුරකින් දරුවා ගලවා ගැනීමට හේතුවක් වන බව ඔබ මතක තබාගත යුතුයි. මෙය සරල උදාහරණයක් වුවද මෙවැනි කුඩා දේ හරහා ඔබේ දරුවාට අත්විය හැකි විශාල ඛේදවාචකයකින් ගලවා ගැනීමට හැකිවන බව අප මතක තබා ගත යුතුමයි.

 

එමෙන්ම දරුවන් අසලදී මත්ද්‍රව්‍ය පිළිබඳ කතා බහ කිරීමේදී වැඩිහිටි සියලුදෙනා ඒ පිළිබඳ සැලකිලිමත්වීම ඉතා වැදගත්.

 

"අයිස් ගැහුවම කිසිම මහන්සියක් දැනෙන්නෙ නෑලුනේ. කරන වැඩේ දිගටම කරන්න පුළුවන් ලු"

 

මෙවැනි කතාවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඔවුන්ගේ ග්‍රහණයට හසුකර ගැනීමට ඔබේ දරුවාට මවන ලෝකයේ පවසන සුරංගනා කතාවලට සමාන වන්නට හැකියි. එබැවින් මත්ද්‍රව්‍ය පිළිබඳ වක්‍රව ලැබෙන තාවකාලික ප්‍රතිලාභ ගැන දරුවන් ඉදිරියේ කතා බහෙන් වැළකීමට වැඩිහිටි සියලුදෙනා වගබලාගැනීම ඉතා වැදගත්.

 

දරුවන් වෙනුවෙන් ඕනෑම දෙයක් කරනු ලබන දෙමවුපියන් ලෙස හැකිතාත් දරුවා අත මුදල් ගැවසීම අවම කිරීමට හැකි නම් එය ඉතාමත් බුද්ධිමත් ක්‍රියාවක් බව මතක තබා ගන්න. උදහරණයක් ලෙස ඔබේ දරුවා පාසල් නිමවී නිවෙසට පැමිණෙන අතරතුර බිස්කට් එකක් කෑමට නිතර මුදල් ඉල්ලා සිටින්නේ නම් උදෑසන පාසල් යන විට දරුවාට නිවෙසින්ම බිස්කට් කිහිපයක් හෝ කල් තබා ගත හැකි කෙටි ආහාරයක් ලබාදෙන්නට ඔබට පුළුවන්.එමෙන්ම දරුවා චොකලට් එකක් කෑමට මුදල් ඉල්ලා සිටින්නේ නම් නිවෙසින් බැහැරවන විට දරුවා කැමති වර්ගයේ, වර්ණයේ චොකලට් එකක්  ලබාදෙන්නට ඔබට හැකියි.එය ලබාදීමෙන් පසුවද දරුවා වෙනත් දේ කියමින් මුදල් ඉල්ලා සිටී නම් එය ප්‍රතික්ෂේප කිරීම මවුපියන්ගේ වගකීමක්.

 

මෙවැනි දේ පිළිබඳ ඔබේ නිවෙසේ සියලුදෙනා සමඟ මනා සබඳතාවක් පැවැත්වීමද ඉතාමත් වැදගත් කටයුත්තක්. උදාහරණයක් ලෙස ඇතැම් දරුවන් දිවා කාලය සීයා හෝ ආච්චි සමඟ ගත කරන අවස්ථාවන් සුලභයි. ඔබෙන් මුදල් ඉල්ලා පෙරැත්ත කර එය නොලැබෙන දරුවන් එම අවශ්‍යතාව සීයා හෝ ආච්චීට පවසමින් මුදල් ලබා ගන්නට පුළුවන්.මේ සමාජය පිළිබඳ අවබෝධයකින් තොරවීම සහ දරු මුණුබුරන්ට ඇති අසීමිත ආදරය නිසාම සීයා හෝ ආච්චි අම්මාට හෝ තාත්තාට නොදැනෙන ලෙස දරුවනට මුදල් ලබාදෙන අවස්ථාවන් ඕනෑම පවුලක සුලභව දැකිය හැකිවේ. එවැනි අවස්ථාවන්හිදී ඔබේ මව හෝ පියාට පවතින තත්ත්වය පිළිබඳ පැහැදිලි කරමින් දරුවනට කිසිම විටෙකත් මුදල් ලබා නොදෙන ලෙස දැනුම්වත් කිරීම වැදගත්.

 

එමෙන්ම ඔබත් නිසි ගණනක් මිම්මක් නොමැතිව තැන තැන මුදල් දැමීමෙන්ද දරුවා එම මුදල කිසිදු බාධාවකින් තොරව තමාගේ අවශ්‍යතාව සඳහා රැගෙන යාමට පෙලඹිය හැකියි.

 

ඔබ දන්නා නමුත් ඔබ නොසිතන මෙවැනි කරුණු ඔබේ දරුවාගේ ජීවිතය විශාල අවදානමකින් ගලවා ගන්නට මඟ සකසාවි. නිවෙසින් බැහැරව  සමාජයට පාතබන හයක් හතරක් නොදන්නා ඔබේ ජීවිතයවන් දරුවා බිල්ලට ගන්නට මාන බලා සිටින පිරිසෙන් ඔහු හෝ ඇය සූක්ෂමව ගලවා ගන්නට ඔබට හැකිවේවි.