කිරි දත් ගැන දත යුතු දේ

මාර්තු 20, 2023

 

යටි ඇන්දේ යාන්තම් මෝදු වුණ පුංචි දත් දෙකයි, උඩු ඇන්දේ දත් දෙකයි එක්ක පුංචි පැටියා හිනා වෙද්දි හරිම ලස්සනයි. හරිම හුරතල්. අම්මිගෙයි තාත්තිගෙයි ආදරේ දෝරේ ගලනවා. ගෙදරම සිරියාවයි.

 

කිරිදත් හැලෙනවා නේ කියා පළමුව පුංචි පැටියාගේ කටේ මෝදු වුණ දත් ගැන නොසලකා හරින්න බැහැ. මේ දත් පිළිබඳව අලුත් අම්මල වගේම අනෙකුත් අම්මලාවත් දැනුවත් කිරීම වැදගත් වේවි.

 

උපදින විටම කිරි දත් මෝදු වෙනවාද?

 

උපදින විටම කටේ දත් තියෙන පුංචි පැටව් ඉන්නවා. මේවා බොහෝ දුරට දත් නොව කුසේ ඉද්දිම තැන්පත් වුණු කැල්සියම් කුඩු. මේවා දත් වගේ බැලූ බැල්මට පේන්නෙ.

මේ අතරේ සමහර දරුවන් උපදින විටම කිරි දතක් හෝ දෙකක් මෝදු වී තිබෙනු දැකිය හැකියි. එය සාමාන්‍ය තත්ත්වයකි. උපදින විට කිරි දත් සියල්ලම මුඛයේ පවතී. නමුත් විදුරුමසට යටින් පිහිටා ඇති නිසා මේ දත් පිටතට නොපෙනෙයි.

 

කිරි දත් මෝදු වන්නේ බබාට වයස කීයේදීද?

කිරි දත් මෝදු වෙන්න මාස හතරක් පමණ ගත වෙනවා. බොහොමයක් බබාලාට කිරි දත් මතු වෙලා කාලයට පුංචි පුංචි අපහසුකම් දැනෙන්න පටන් ගන්නවා.

 

දත් එද්දි මතුවන ලක්ෂණ මොනවද?

* විදුරුමස ඉදිමීම

* නිදාගැනීමේ අපහසුව

* නුරුස්සන බව

* ආහාරපාන අප්පිරිය කිරීම

* හසුවන සෑම දෙයක් ම

සැපයීමට උත්සාහ කිරීම

 

කිරි දත් එන කාලෙට බඩ බුරුලට යනවද? මෙලෙස බඩ බුරුලට යෑමට හේතුව වන්නේ කිරි දත් එන කාලයේ දරුවන් බොහෝ දේ කටේ දැමීමටත් විකීමටත් කැමැත්තක් දැක්වයි. මෙලෙස කටේ දමන දේවල්වල ඇති විෂබීජ ශරීරගත වීමට ඉඩ ඇති නිසා බඩ බුරුලට යාමට පුළුවනි.

 

දත් මෝදු වීමේදී ඇතිවන වේදනාවට පිළියම් මොනවද?

* පිරිසුදු කපු පුළුන් කැබැල්ලකින් හෝ පිරිසුදු ඇඟිල්ලකින් විදුරු මස සම්බාහනය කිරීම.

* ශීත කළ කුඩා රෙදි පොට්ටනියක් හෝ තම්බාගත් කැරට් වැනි දේ ශිතකර සැපීමට දීම.

* දත් එන විට සැපීමට ඇති සෙල්ලම් බඩු පිරිසුදුව ශීත කර ලබා දීම.

 

දත් ඒම ප්‍රමාද වන්නේ ඇයි?

මාස 10 - 12 පමණ ගත වන විටත් කිරි දත් මෝදු වුණේ නැත්නම් වෛද්‍ය උපදෙස් පැතීම සුදුසු වේවි. ඊට සාමාන්‍ය හේතු මෙන්ම ප්‍රතිකාර අවශ්‍ය හේතු ද බලපෑමට පුළුවනි. සමේ කොණ්ඩයේ බරපතළ ගැටලු නොවේ නම් සුළු කාලයක් දත් ඒම ප්‍රමාද වීම ගැන බිය නොවන්න. පරම්පරාවේ ජාන අනුව( මව/ පියා පාර්ශ්වයේ දත් ඒම පමා වී තිබුණේ නම්) අඩු බර/ අඩු පෝෂණය

(උදාහරණ විටමින් A ඌන වීම, මවුකිරි නිසි ලෙස මුල් කාලයේ නොලැබීම), වෙනත් ආබාධ තත්ත්ව හේතු විය හැකියි.

 

කිරි දත්වල වටිනාකම

* නිවැරැදි වචන උච්චාරණයට

* ප්‍රසන්න පෙනුමට

* හොඳින් ආහාර හැපීමට (එමඟින් නිසි පෝෂණය හා වර්ධනය ලැබේ.)

* ස්ථීර දත්වලට මඟ පෙන්වයි.

*ස්ථීර දත් හා ඒ ආශ්‍රිත පටකවල නීරෝගි වර්ධනයට

* කිරි දත් අවුරුදු 11 ,12 පමණ වන තුරු මුඛයේ පවතින නිසා ඒවා නීරෝගිව තබා ගැනීම වැදගත් වේ.

 

කිරි දත් ගලවන්නට සිදුවීම

ස්ථීර දත් මතු වීමට පෙර කිරි දත් ගලවන්නට සිදුවුවහොත් එම හිඩැස පිරවීමට දෙපස ඇති කිරි දත් එතැනට තල්ලු වීමෙන් ස්ථීර දතට අවශ්‍ය ඉඩ අහුරයි. මෙය පසු කලෙකදී දත් අපිළිවෙළට පිහිටීමට හෝ පොකුරු ගැසීමට හේතුවක් විය හැකියි. කිරි දත් කිහිපයක් මෙලෙස ගැලවීම මෙම ප්‍රශ්නය වඩාත් උග්‍ර කරවයි.

කිරි දත් සම්බන්ධ තවත් ගැටලු සඳහා පිළියම් ලබන සතියේ