මනාලියට ආදරණීය පෙනුමක් දෙන අයි මේක් අප් එකේ වටිනාකම

උපදෙස් ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී හැරිස් විජේසිංහ
මාර්තු 28, 2022

 

තරුණියකගේ සිතේ තමා මනාලියක් වන දිනය ගැන ඇත්තේ සොඳුරු සිතුවිලි සමුදායකි. ඇතැම් තරුණියන් ඉටි රූපයක් ලෙස තම රුව දිස්වනවාට කැමැත්තක් දැක්වුවද තවත් කොටසක් කැමැත්තක් දක්වන්නේ තමාගේ ස්වභාවික රුව ඔප් නංවා ස්වභාවික සුන්දරත්වයකින් යුතු මනාලියක් වීමටයි.

රූපලාවණ්‍ය ක්ෂේත්‍රෙය් පියෙකු ලෙස සැලකෙන හැරිස් විජේසිංහයන්ගෙන් මනාලියක් හැඩගන්වන ආකාරය අප ඔබට ඉදිරිපත් කරන්නේ ඔහු මනාලියකගේ චාම් බව රැකෙන අයුරින් හැඩ ගැන්වීම් කරන නිසාවෙනි. තම ස්වභාවික සුන්දරත්වය රැකගෙන චාම් බවින් යුතු මනාලියක් වීමට සිහින මවන ඔබට මේ ලිපි පෙළ අත්වැලක් වේවි.

මනාලියකගේ මේක්අප් එකේ වැදගත්ම අංගයක් ලෙස ඇස් හැඩ ගැන්වීම නැතිනම් අයි මේකප් එක හැඳින්විය හැකියි.

“අයි ෂැඩෝ එක ඇහැට ගැඹුරක් පෙන්වීමට කරන දෙයක්. ගොඩක් අය මේකට කළු පාට ගෑවත් එය බැලූ බැල්මට පේනවා. මේ නිසා හමට ගැළපෙන වර්ණයක් තමයි ගාන්න ඕනේ. මිදි පාට (Plum Colour) තමයි මේ මනාලියට මම ගාන්නේ. මම මේවා ගාන්නේ ඇඟිල්ලෙන්. මොකද අපි මනාලියට ආදරයක් ලබා දෙන්න ඕනේ. අපේ ඇඟිලිවලින් ඒ යහපත් හැඟීම් ඇයට දැනෙනවා.

අයි මේක් අප් එක කිරීමේ දී හරිම සැලකිල්ලෙන් වර්ණ තෝරා බේරාගෙන මනාලියට ගැළපෙන විදියට ආලේප කරන්න ඕනේ. නැතිනම් ඇස්වලින් නපුරු පෙනුමක්, මලානික පෙනුමක් වගේ පෙනෙන්න පුළුවන්. මේක් අප් එකේදි මම හැම එකකට ම වගේ බේස් එකක් ගානවා. අයි ෂැඩෝ එකටත් හමේ වර්ණයෙන් බේස් එකක් ගාලා පස්සේ සාරියට ගැළපෙන්න අයිවරි වර්ණය ගානවා. බේස් එකක් නැතිව කෙලින්ම අයිවරි වර්ණ අයි ෂැඩෝ ගෑවම ඇස් උකුසු ඇස් වගේ පේනවා. නපුරු පෙනුමක් එන්නත් පුළුවන්. ඇහිබැම (eye bro) සඳහා දුඹුරු පැහැය තෝරා ගත්තේ අපේ රෝම කළු නෙවෙයි තද දුඹුරු පැහැය නිසා.

ඇස්වල යම් වෙනසක් තියෙනවා නම් ඒ වෙනස තියෙන විදියට ම මේකප් කරන්න. මොකද ඒක හැදුවම ස්වභාවික පෙනුම නැතිවෙනවා. ගහක අත්තක් වුණත් ලස්සන ඒක නැවෙන විදිය නිසයි.

අයි ලයිනර් එකත් තද දුඹුරු පාටින් අඳිනවා. light eyes තියෙන අයට අළුපාට ආලේප කරන්න පුළුවන්. දම්පාට කාජල් එකක් උඩ ඇහි පිහාටු සඳහා පාවිච්චි කරනවා. දම් පාට අපේ හමේ පාටත් එක්ක හොඳින් ගැළපෙන පාටක්. පස්සේ ඒකට රෝස වර්ණය ආලේප කරලා ඒ දෙක තරමක් බ්ලෙන්ඩ් කරන්න. ඇහැට පහළ ඇති ඇහි පියන කොටසටත් ඇහැ දීප්තිමත් කරන පාටකින් අයි ෂැඩෝ එකත් සකසා ඒ වර්ණයෙන්ම මුහුණ වටේ තරමක් හයිලයිට් කරන්න."

ප්‍රවීණයකුගේ මේ අදහස්, අත්දැකීම් හැඩවැඩ කලාවේ නිරතවන ඔබටත් එයට පිවිසීමට අදහස් කරනා ආධුනික ඔබටත් වටිනාකමක් එක් කරාවි.

එහෙමනම් මනාලියගේ මේක් අප් එකේ ඉතිරිය සවිස්තරාත්මකව අපි මේ ප්‍රවීණයාගෙන් ලබන සතියේදීත් අසා දැනගනිමු.

 

ඡායා -නිලන්ත අනුරුද්ධ

 

නිරූපණය - මල්කි චන්දිමා