කුසලතා නැති දරුවා පෙරහරේ යන අලියෙක් වගේ

අගෝස්තු 21, 2019

විභාග සඳහා ඉතා ඉහළ සාමාර්ථ ලබා ගනිමින් සමත්වන තම දරුවා කෙරෙහි මාපියන්ට ඇත්තේ පුදුමාකාර සතුටකි. නෑ හිතමිතුරන් අතරේ දරුවාව වර්ණනා කිරීමට එය හොඳම අවස්ථාවක් කරගනියි.

මෙලෙස ඉහළින්ම විභාග සමත්වන දරුවන්ගෙන් බොහෝමයක් පිරිස් රැකියා අවස්ථා උදාකර ගනී. එහෙත් සමහර සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටිය දී විභාග සඳහා ඉහළ සාමාර්ථ ගත් අයදැයි කිව නොහැකි තරමට අසාර්ථක වෙයි. මෙවන් තත්ත්වයක් තරුණ පරපුර වෙත එල්ලවන්නේ ඇයි?

ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතියික අධ්‍යාපනය අවසන් කොට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමුවන දරුවා මේ අධ්‍යාපන ක්‍රමයට අනුගත වෙමින් අනුගමනය කරනුයේ පොතටම සීමා වූ න්‍යායාත්මක දැනුම ලබාගැනීමයි. ප්‍රායෝගික දැනුමක් කොහෙත්ම නොලබයි.

පාසල් ගුරුවරුන් දෙන සටහන අකුරක්වත් වෙනස් නොකර පොතේ ලියා ගනියි. එය කටපාඩම් කරයි. විශ්වවිද්‍යාලයේ දී ද බොහොමයක් සිසුන් බලාපොරොත්තු වන්නේ සටහන් ලබාදෙන කතිකාචාර්යවරුන් ය. තිරයේ පෙන්වා උගන්වන දේ වුව අසා සිටීම වෙනුවට කෙසේ හෝ ලියා ගැනීමට උත්සාහ කරයි. දෙවැනි, තුන්වැනි වසරවල දරුවන් පවා දේශනයක් පවත්වද්දී ඉක්මනින්ම පොත අතට ගනියි.

පාසල් අධ්‍යාපන ක්‍රමයේ සිට මෙය නිවැරැදි විය යුතුයි. දැන් ඇතැම් පාසල්වල ප්‍රායෝගික දැනුම මුල් කරගත් අධ්‍යාපන ක්‍රමය ඇරඹෙමින් පැවතීම සතුටට කරුණක්. එහෙත් තවමත් සියයට 99 ක් පමණ පාසල්වල ඇත්තේ න්‍යායාත්මක දැනුමට පමණක් මුල්තැන දෙන අධ්‍යාපන ක්‍රමයකි.

ගුරුවරයා හෝ දේශකයා කියන දේ අවධාරණයෙන් යුතුව අසා සිටියි නම් එතැනින් එහාට නිර්මාණශීලීව යමක් සිතන්නට උත්සාහ කරයි. ප්‍රාථමික පන්තිවල සිට ප්‍රායෝගික යමක් සිතන්නට අත්හදා බලන්නට දරුවාට අවස්ථාව උදාකරදිය හැකි පරිදි අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතු වේ.

පුංචි සන්ධියේ පටන් ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් අනුගමනය නොකරන දරුවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කොට රැකියා අවස්ථා උදාකර ගන්නට යෑමේ දී බරපතළ ගැටලුවලට මුහුණ පායි. රැකියා අවස්ථා සඳහා වූ සම්මුඛ පරීක්ෂණයට සාර්ථකව මුහුණදීමට අවැසි වටපිටාව දරුවා වෙතින් ගොඩනැඟී නැත.

විශ්වවිද්‍යාලයේ විභාග ඉහළින්ම සමත් වෙමින් ක්‍රීඩා කටයුතුවල ද නිරත වෙමින් කාලය ගතකළත් කෙනකු ඉදිරිපිට අදහස් හුවා දැක්වීමට දක්වන්නේ මැළිකමකි. ලැජ්ජාශීලී බවකි.

ඉහළ පෙළේ රැකියා අවස්ථා එනම් පරිගණක ඉංජිනේරු, ව්‍යාපාර කළමනාකරු, ව්‍යාපාර විශ්ලේෂණ මේ ඕනෑම් රැකියාවකදී ගනුදෙනුකරුවන් සමඟ කතාබහ කරන්නට සිදු වේ. ඔවුනගේ අවශ්‍යතා හා ගැටලුව හඳුනා ගැනීමට සිදු වේ. ඉන්පසු කණ්ඩායමක් සමඟ කතාබස් කොට යම් යම් නිගමනවලට එළඹිය යුතු වේ. මෙවැනි අවස්ථාවන් සඳහා ඉතා ඍජුව පැකිලීමකින් තොරව ඉදිරිපත් නොවුණහොත් සම්මුඛ පරීක්ෂක කණ්ඩායම් යම් විනිශ්චයට පැමිණේ. මේ කෙනා මෙම තනතුර සඳහා අධ්‍යාපනික සුදුසුකම් අතින් ඕනෑවටත් වඩා ඉදිරියෙන් සිටියි. නමුත් නායකත්ව කුසලතා කිසිම අන්දමින් වර්ධනය වී නොමැත. මෙය ප්‍රධාන ගැටලුවකි.

සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගීවන බොහොමයක් දරුවන් ඉන් තේරී පත් නොවෙයි. මාපියන්ටත් මෙය අදහාගත නොහැකි තත්ත්වයකි. දරුවා මෙන්ම මාපියන් ද සිතනුයේ “අපිව බොරුවට ගෙන්නලා ඇඳුනුම්කම්වලට වෙනත් අයව ගන්නවා” යනුවෙනි. අපිට කතා කරලා සම්මුඛ පරීක්ෂණකවරුන් පවසනවා. දරුවන්ට තියෙන්නේ මේ මේ අඩුපාඩුකම්.

ආචාර්ය බුද්ධිමා සුබසිංහ

දකුණු ආසියාවේ ළාබාලතම ආචාර්ය උපාධිධාරිනිය (ර්‍ථඩ්ච්) වූ ඇය යොවුන් වියේ පසුවන ඔබහට ළෙන්ගතු සිතින් ආමන්ත්‍රණය කරයි

NIBM

 හි පරිගණක විද්‍යා අංශයේ අංශාධිපති

2019/08/21 තරුණි බලන්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.