ජනතාවගේ රුපියලෙන් දෙකෙන් පිළිකා රෝගීන්ට සෙත සලසන නිවහන

අප්‍රේල් 11, 2022

 

අසරණ වූ පිළිකා රෝගීන් සඳහා පිහිටවීම විශාල පුණ්‍යකර්මයකි. එසේම ඔවුන්ට ප්‍රතිකාර කිරීමට හා නවාතැන් පහසුකම් හා කෑමබීම ඕනෑම කාලයක් ලබාදීමට කැපවීම මෙවැනි කාලයක අසීරු සද්ක්‍රියාවකි. මානසිකව හා ශාරීරිකව රෝගී වූ එවැනි රෝගීන් සඳහා පිහිටවන මධ්‍යස්ථානයක් ගැන අපට අසන්නට ලැබෙන්නේ අගනුවරින් බොහෝ දුරිනි. එසේම එම මධ්‍යස්ථානය සඳහා අනුග්‍රහය දක්වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව වීම ද තවත් සුවිශේෂිතය.

 

පිළිකා රෝගීන් සඳහා රැකවරණය ලබාදෙන EASCCA Hospice - Eastern cancer care Hospice ලෙසින් හඳුන්වන මේ මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ නැගෙනහිර පළාතේ එරාවුර් ප්‍රදේශයේය. බහුතරයක් මුස්ලිම් ජනතාව පදිංචිව සිටින මේ පළාතේ පිහිටි මෙයින් සේවය ලබාදෙන්නේ නැගෙනහිර පළාතේ රෝගීන්ට පමණක් නොවේ. උතුරු පළාතේ යාපනයේ ජනතාවටත් මුලතිව් වව්නියාවේ මන්නාරමේ පදිංචි ජනතාවටත් අනුරාධපුරය, පොලොන්නරුව, කුරුණෑගල පළාත්වල සිංහල ජනතාවට ද මෙයින් සේවය ලබාගන්නේ කිසිම ජාති, ආගම්, භේදයකින් තොරවය. පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ඈත දුරකතර ගෙවාගෙන කොළඹ පැමිණ ප්‍රතිකාර ගැනීමට වඩා ඒ අවට පළාත්වල ජනතාවට ලැබෙන සහනය ඉතා ඉහළය. එසේම එය අසරණ රෝගීන් මහත් මානසික සුවයකි. මේ උතුම් වූ සද්ක්‍රියාව සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ මඩකලපුව මූලික රෝහලේ පිළිකා රෝගී අංශයේ ප්‍රධානී පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ඒ. ඉක්බාල් මහතාය. ඔහු මේ මධ්‍යස්ථානය මඟින් සිදුකරන සේවය ගැනත් වටිනාකමත් අපට වඩාත් හොඳින් පැහැදිලි කළේ මෙලෙසිනි.

"මේ වගේ පිළිකා රෝගීන් රැකබලා ගන්නා මධ්‍යස්ථාන කිහිපයක්ම ලංකාවේ තියෙනවා. ඒ මධ්‍යස්ථානවලට වඩා අපේ මධ්‍යස්ථානය විශේෂයි. මේ මධ්‍යස්ථානය අසල රෝහල පිහිටා තියෙන්නේ මඩකලපුව එරාවුර් ප්‍රදේශයේ. නැගෙනහිර පළාත් පිළිකා රෝගී ගිලාන සද්කාර නිවහන ලෙසයි මෙය හඳුන්වන්නේ. මේ නිවහන අපි හැදුවේ පිළිකා රෝගීන්ගේ මානසික පීඩනය අඩුකර ඔවුන්ට පිහිටවීමේ අපේක්ෂාවෙන්. මඩකලපුව රෝහල ගත්තාම ඒ රෝහලට කොළඹ, නුවර, යාපනය, අනුරාධපුරය වගේ ප්‍රදේශවලිනුත් රෝගීන් පැමිණෙනවා. ඒ අය සමහරවිට කෙටි කාලයක් ප්‍රතිකාර ගන්නවා. නැත්නම් මාස 2 - 3ක් ප්‍රතිකාර ගැනීමෙන් සිදුවෙන අවස්ථා තිබෙනවා. ඒ රෝහලේ බාහිර රෝගී අංශය මඟින් තමයි මේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන්නේ. ඒ කියන්නේ OPD අංශය මඟින්. රෝගියකුට රේඩියෝ තෙරපී අංශයට ඇවිත් ප්‍රතිකාර ලබා ගැනීටම ගතවෙන්නේ කෙටි කාලයක් වෙන්න පුළුවන්. නමුත් ඒ ප්‍රතිකාරය සඳහා දින ගණනාවක් ගත කරන්න වෙනවා. එවැනි අවස්ථාවක දුර සිට පැමිණි රෝගියකුට දිනපතා පැමිණීම ප්‍රායෝගික ගැටලුවක්. උදාහරණයක් හැටියට නුවර රෝගියකු කරන්ට් අල්ලන්න මඩකලපුවට ආවොත් ඒ රෝගියාට අඛණ්ඩව දින ගණනක් එන්න විශාල වියදමක්, කාලයක්, ශ්‍රමයක් වැය වෙනවානේ. මේ රෝගීන්ගෙන් බහුතරයක් අසරණ දුප්පත් අයයි. ඒ අයට හෝටලයක වගේ තැනක නවාතැන් ගන්න විශාල මුදලක් වැය කරන්න අපහසුයි.

ඒ අයට තාවකාලික නවාතැන් පහසුකම්, කෑමබීම අපගේ මධ්‍යස්ථානය සම්පූර්ණ නොමිලේ ලබා දෙනවා. මේ රෝගීන්ට කෑමබීම සියල්ල සපයන්නේ මේ ප්‍රදේශයේ ජනතාව හා වෙළෙඳ ප්‍රජාව. හාල් මුදලාලිලා හාල් ටික දෙනවා. මාළු මුදලාලිලා, මස් මුදලාලිලා... හැම දෙයක්ම ඒ අය නොමිලේ පරිත්‍යාග කරනවා. ඒ විතරක් නොවෙයි මේ අවට කඩවල පුංචි කැටයක් තියෙනවා. ඒ කැටවලට එකතුවන රුපියල දෙක පවා මේ මධ්‍යස්ථානයට තමයි පරිත්‍යාග කරන්නේ. සමහර රෝගීන් සිටිනවා ඔවුන් බලා ගන්න ප්‍රතිකාර කරන්න හව්හරණක් නැති රෝගීන්. එවැනි තනිවුණු රෝගීන් අප භාරඅරගෙන නේවාසික ප්‍රතිකාර කිරීම කරනවා. ඊට අමතර ඔවුන්ට මූලික වෛද්‍ය පහසුකම් ලබා දෙනවා.

අපි මේ සේවයට අමතරව පිළිකා වලකාගැනීමේ වැඩසටහන් කිහිපයකුත් මේ මධ්‍යස්ථානයේ පවත්වනවා. ඒ සඳහා උපදේශනය ලබා දෙන වැඩසටහනට අමතරව අපි ආදර්ශයක් සපයන කාබනික ගොවිපොළක් මේ භූමියේ තිබෙනවා. මෙහි හැදෙන එළවළු, පලතුරු, කිරි, බිත්තර සෑම දෙයක්ම දෙන්නේ මෙහි ප්‍රතිකාර ගන්න රෝගීන්ට.

එයට අමතරව අපට වෑන් එකක් තියෙනවා. ඒ වෑන් එකෙන් අපි රෝගීන්ට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලට යෑමට ප්‍රවාහන පහසුකම් සැපයීමක් කරනවා. අපි දවසකට තුන් හතර පාරක් ගියත් රෝගියාට ප්‍රතිකාර සඳහා යන්න පහසුකම් අපි සපයන්නේ නොමිලේ. අපට මේ මධ්‍යස්ථානය හදන්න විදේශ ආධාර ලැබුණා. නමුත් දැන් කිසිම ආධාරයක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ වෙලාවේ මේ අවට ජනතාව දෙන රුපියල දෙකක මුදල පවා අපට මහ මෙරක් වගේ වටිනවා. මේ වැඩේට රටේම ජනතාව උදව් කළොත් ලංකාවේම සිටින ඕනෑම රෝගියකු සඳහා උදව් කරන්න පුළුවන්. අපිට දැනටත් ඕනෑම අසරණ වුණු තනිවුණු රෝගියෙක් ඉන්නවා නම් රෝහලේ වෛද්‍යවරයාගේ නිර්දේශය සහිතව පැමිණියොත් භාර ගන්න පුළුවන්.

 

තොරතුරු හා ඡායාරූප සැපයීම

නුවන් ජූඩ් ලියනගේ මහතා සහ

නෙත් FMහි අලෙවි කළමනාකාර

එල්. එල්. එම්. රම්සි මහතා