කඳු රැජනගේ අලුත් ම පිම්ම

අගෝස්තු 28, 2023

2016 මැයි මස 21 දා උදෑසන 5.30ට ඇය තම ජීවිතයේ සුවිශේෂ ඉලක්කයක් කරා හඹා ගිය දවසයි. එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකික සහ පළමු ශ්‍රී ලාංකික කාන්තාව යන වාර්තා දෙකම ජය තබන්නට ජයන්ති කුරුඋතුම්පලට හැකියාව ලැබිණි.

රටක පළමුව කාන්තාවක් එවරස්ට් කඳු මුදුන තරණය කළ ලොව සිව්වන රට ලෙස එදා ශ්‍රී ලංකාව පත්විණි.

එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකික කඳු නැගීමේ ශූරිය ලෙසින් ඉතිහාසයේ කිසිදා නොමැකෙන නමක් සනිටුහන් කළ ජයන්ති කුරුඋතුම්පල, මේ දිනවල තවත් අභියෝගයකට මුහුණ දීමේ සුදානමකින් සිටියි.

*ඔබේ මීළඟ අභියෝගය පිළිබඳ යමක් කිව්වොත්?

ස්විට්සර්ලන්තයේ මැටර්හෝන් (matterhorn) කඳු මුදුන තරණය කිරීම මගේ මීළඟ අභියෝගය. මීටර් 4.478 (අඩි 14.692) ක උසකින් යුතු මෙය ඇල්ප්ස් කඳු පන්තියේ පිහිටා තිබෙන්නක්. මෙය ස්විට්සර්ලන්ත සහ ඉතාලි මායිමේ තේජාන්විත නැගී සිටින කන්දක්. තරණය කිරීමට අපහසු කඳු මුදුනක් ලෙස ප්‍රකට වුවක්.

*මේ සඳහා ඔබේ සුදානම් වීම කෙසේද සිදුවන්නේ?

ලංකාවේ සුදානම් විය හැකි සීමාවේ සිට තමයි දැනට සුදානම් වන්නේ. දැනට දින 06ක පුහුණුවීම් වැඩසටහනක් සිදුවෙනවා. සතියකට දින 3ක් මාංසපේශී ලිහිල් කිීරීමේ ව්‍යායාම්වල නිරත වෙනවා. සැහැල්ලු සිරුරක් පවත්වාගෙන යෑමට හැමවිටම උත්සහ ගන්නවා. එහෙත් කෑම බීම තේරීමක් කරන්නේ නැහැ. ව්‍යායාම කෙරෙන නිසා සැහැල්ලු සිරුරක් පවත්වාගෙන යන්න පුළුවන්.මේ ව්‍යායාම විශේෂයෙන්ම ගැහැනු දරුවන්ට, යුවතියන්ට, කාන්තාවන්ට හරිම වැදගත්. නිවෙසේ වැඩපළ කරද්දී ව්‍යායාම් සඳහා වේලාවක් වෙන් කරගන්නට නොහැකි තරම්. එහෙත් නිවෙසේ සැමියා, දරුවන් සමඟ පවුලේ නිවෙසේ වැඩ හුවමාරු කරගන්නේ නම්, අම්මටත් ව්‍යායාම සඳහා ඉබේම වෙලාවක් සැකසේවි.

 

*කඳු තරණය සඳහා අපේ රටේ කාන්තා පාර්ශ්වයේ සහභාගිත්වය කොහොමද?

හරිම අඩුයි. හයිිකිං යන අය නම් ඉන්නවා. මේ සඳහා නිවෙසෙන් ලැබෙන අනුබලය, පිටුවහල අඩුයි. මෙයත් එක් හේතුවක්. මේ ස්වභාව ධර්මයත් සමඟ ගත කරන විනෝදාංශයක්. ඉන් උගත හැකි දෑ බොහෝයි.

*අයිස් කඳු තරණය සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම කො‍හොමද?

එවරස්ට් කන්ද ඇතුළුව හිමාලයේ කඳු තරණය කිරීමෙන් ඒ අත්දැකීම උපරිමයෙන් ම ලැබුවා. ඉන්දියාවේ frozon water falls තිබෙනවා. මම කොහොම හරි සල්ලි හොයාගෙන ඒ තැන්වලට යනවා. ඒවාහි පුහුණුවීම් කඳවුරුවලට සහභාගි වෙනවා. අයිස් කඳු තරණය කිරීමේ අත්දැකීම විඳින්න ඒ රටවලට යන්නම වෙනවා. ඒ සඳහා තරමක මුල්‍ය පිරිවැයක් දරන්නට සිදුවෙනවා. මම මේ ක්‍රීඩාවට පුදුමාකාර කැමැත්තක් දක්වන්නේ. ඒ නිසා මුදල් ඉතිරි කරගෙන කො‍හොම හරි ඒ ඉලක්ක ජයගන්නවා.

*මැටැර්හෝන් කන්ද තරණය කිරිමේ වැඩකටයුතු සැලසුම් කරලා තිබෙන්නේ කොහොමද?

මේ සඳහා අනුග්‍රහකයින්, හවුල්කරුවන් සිටිනවා. SAGT ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙසත් Wurth Lanka රිදී අනුග්‍රාහකයා ලෙසත් කටයුතු කරනවා. Hemas Mobility සංචාරක සහකරු ලෙසත් කටයුතු කරනවා.

ස්විට්සර්ලන්තයේ දී මැටර්හෝන් කන්ද තරණය කරන්නට යන දිනට දින 03කට පෙර මම කඳු තරණය කිරීමේ මඟ පෙන්වන්නියක හමුවෙනවා. එයත් එක්ක පුහුණු වීමේ කඳු 02ක් නගිනවා. ඊට පසුවයි මැටර්හෝන් නගින්නේ. මෙය බෑවුම් සහිත පාෂාණමය කඳු වැටියක්. එය තරණය කිරීමට සියලු ආකාරයේ කඳු නැගීමේ දැනුම, කුසලතා අවශ්‍යයයි. අවශ්‍ය මෙවලම් භාවිත කරන්නට ප්‍රායෝගික දැනුම තිබිය යුතුයි.

*මෙතෙක් ඔබ තරණය කළ කඳු පිළිබඳ මතකය අවදි කළොත්?

සාමාන්‍ය කඳු මුදුන්, පාෂාණ කඳු හා අයිස් කඳු නැගීම ආදී වශයෙන් කඳු නැගීමේ වෙනත් කුසලතා ඇති කරගන්න මම මාවම පොලඹවා ගන්නවා.

ස්පාඤ්ඤයේ ‘පිරිනීස්‘, ආජන්ටිනාවේ ‘ඇන්ඩිස්‘, නේපාල හා ඉන්දියාවේ හිමාල කඳුවැටිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජර්මනිය, දකුණු අප්‍රිකාව, එක්සත් රාජධානිය, වේල්සය, තායිලන්තය සහ අපේ රට ඇතුළුව රටවල් 10කට වැඩි ගණනක උස වගේම දුෂ්කර කඳු මුදුන් මම තරණය කොට තිබෙනවා.

*කඳු තරණය සම්බන්ධයෙන් ඔබේ හැදැරීම් කෙසේ ද සිදුවන්නේ?

ඉන්දියාවේ හිමාලයානු කඳු නැගීමේ ආයතනය විසින් පවත්වනු ලබන කඳු නැඟීමේ දින 26ක පුහුණු වැඩසටහන් 02ක් මම සාර්ථකව නිමා කළා. එහිදී පාෂාණ සහ අයිස් කඳු තරණය කිරීම, ග්ලැසියරවල අනතුරුව පත්වුවන් ගලවා ගැනීමේ මෙහෙයුම්, උස් කඳු මුදුන්වල සිදුකෙරෙන ප්‍රථමාධාර, කඳු තරණය සැලසුම් කිරීම ආදි කුසලතා හැදැරුවා.

මම අමෙරිකා එක්සත් ජනපදයේ වෘත්තීය කඳු නැගීමේ මාර්ගෝපදේශක සංගමයේ සහතිකලත් පාෂාණ කඳු තරණය කිරීමේ උපදේශිකාවක්.

හොරණ ප්‍රදේශයේ පිහිටි පාෂාණ කඳු තරණය කිරීමේ climb lanka දේශිය සමාගමේ කඳු නැඟීමේ ක්‍රීඩිකාවන් සඳහා වැඩමුුළු කිහිපයක්ම පවත්වන්න ලැබුණා.

*කඳු නැගීමේ ශූරියකට අමතරව ඔබ ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නියක්?

‘ස්ත්‍රී පුරුෂ වෙනස හේතුවෙන් ඔබ කිසිදා පසුබට නොවිය යුතුයි. මේ අධිෂ්ඨාන මතය කාන්තාවක් ශක්තිමත් කරන්නක්, ‘ගැහැනු ළමයෙක් වගේ දුවන්න එපා.‘, ගැහැනු ළමයෙක් වගේ සෙල්ලම් කරන්න එපා.... ආදී වශයෙන් නින්දා සහගත කතා සමාජයෙන් ඇසෙනවා. ගැහැනු ළමුන් මෙන් ක්‍රීඩා කිරීම ලැජ්ජාවට කාරණයක් බව හඟවන සමාජ මතවාදයන්ට මම හැමදාමත් අභියෝග කරනවා.

*අපේ රටේ ප්‍රාථමික පංතිවල සිංහල පෙළපොතට ඔබ පිළිබඳත් යම් විස්තරයක් එකතු කොට තිබෙනවා?

ඔව්. ඒ පිළිබඳ මට හරිම සතුටුයි. මේ හැමදෙයක්ම මගේ මහන්සියේ, කැපවීමේ ප්‍රතිඵල හැදීගෙන එන වයසේ පසුවන පුංචි දරු දැරියන්ට යම් ආදර්ශයක් ගෙන දුන්නා නම් මා කළ කැපකීරීමේ ප්‍රතිඵල ලැබෙන බවයි පසක් වන්නේ.

2016 දී එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමත් සමඟින් ඇයට සම්මාන සහ ඇගයිම් බො‍හෝ සේ ලැබිණ. 2017 දී BBC නාළිකාව විසින් නම් කළ ලොව ප්‍රබෝධවත්ම සහ බලවත්ම ස්ත්‍රීන් 100 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් වීමට ඇය සමත්විණ.

මෙවර ද ඇයට ස්විට්සර්ලන්තයේ මැටර්න්හෝන් කන්ද තරණය කිරිමේ අභියෝගය ජයගන්නට ලැබේවා යැයි අපි පතමු.