මේ සිද්ධිය මට හිතා ගන්නවත් බැහැ

දුෂේනි මියුරංගි
මාර්තු 4, 2024

සම්මාන දෙකක් දෝතට ගත් සිංහසීවලී පළමුවරට තරුණීට කතා කරයි

 

එකම සම්මාන උළෙලකදී ජනප්‍රියම නිළිය සහ නැඟී එන නිළිය යන සම්මාන ද්විත්වයකටම හිමිකම් කියන්නට ලැබෙන්නේ නම් එය වාසනාවකි. 29 වැනි සුමති ටෙලි සම්මාන උලෙළේදී ඒ සම්මාන ද්විත්්වයම දිනාගැනීමට එක් රංගන ශිල්පිනියකට හැකිවිණ.

 

ඇය දුෂේනි මියුරංගි ද සිල්වා යි. ඕනෑම චරිතයක් ඒ අයුරින්ම රඟදක්වන්නට හැකියාව ඇති අපේ ටෙලි අඹරේ අතළොස්සක් වූ නිළියන් අතරින් කෙනෙකි ඇය.

ඇයගේ මේ හැකියාවත් වාසනා ගුණයත් මේ සම්මාන ද්විත්වයම ඇයට හිමිකර දෙන්නට මං සලසන්නට ඇත.

මේ සතුට බෙදා ගන්නට, ඇයට කියන්න ගොඩක් දේවල් ඇති. ඒ නිසාම අප ඇය සමඟ පුංචි කතාෙබහකට මුල පිරුවෙමු.

 

ඉතින් දුෂේනි කොහොම ද?

 

මම කවදත් සතුටින් ඉන්න කෙනෙක්. ඉතින් මම අදත් සතුටින් හොඳින් ඉන්නවා.

 

නැඟී එන නිළිය සහ ජනප්‍රියම නිළිය යන සම්මාන ද්විත්වයම ලබා ගැනීම පහසු දෙයක් නෙවෙයි. මෙවර සුමති ටෙලි සම්මාන උලෙළේදී ඒ වාසනාව ඔබට ලැබෙනවා. එදා ඒ සම්මාන දෙක ලැබෙද්දී මොකද හිතුණේ....

 

ලොකු සතුටක් දැනුණා. මට ඒ සිද්ධිය හිතා ගන්නවත් බැහැ. මම මේ ජයග්‍රහණය ලබා ගත්තේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය නිසයි.. ඒ ආදරය ගැන මට හිතාගන්නවත් බැරතරම්. මම එයාලට හදවතින්ම ආදරය කරනවා. ගරු කරනවා මාව මේ තැන තිබ්බට...

 

ඔබ කලා ක්ෂේත්‍රයට පිවිස වැඩි කාලයක් නැහැ. කෙටි කාලයක් තුළදී ප්‍රේක්ෂකයින් මේතරම් ඔබට ආදරය කරන්න හේතුව මොකක් ද?

 

මම මුලින්ම ජනප්‍රිය වුණේ පාර දිගේ ටෙලි නාට්‍යයේ සරණි එහෙමත් නැතිනම් බන්ටිගෙ චරිතය නිසයි. මට ඒ චරිතය නිසා පසුගිය වසරේදී රයිගම් ටෙලීස් ජනප්‍රියම චරිතය වෙන්න අවස්ථාව ලැබුණා. ඒකට සද්ධා මංගල සූරියබණ්ඩාර මහත්මයාටත්, ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහතාටත් මගේ ගෞරවය පුද කරන්න ඕනේ. නොකඩවා මේ වසරේදී ජනතා ආදරය මට ලැබිලා තියෙනවා. මම කරන හැම චරිතයකටම ප්‍රේක්ෂකයන් හරි කැමැතියි. ගොඩක්ම මට හිතෙන්නේ මම කරන දඟකාර චරිතවලටයි එයාලා කැමැති. මම ඒ චරිතවලට සද්දෙට කතා කළාට මම හරිම අහිංසක කෙනෙක්.

 

මෙවර ඔබව ජනප්‍රියම නිළිය කළේ සල්ලි පොකුරු ටෙලි නාට්‍යය....

 

සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ පිංකිගේ චරිතයටයි ඒ සම්මානය ලැබුණේ. ඒකේ චරිත දෙකක් නිරූපණය කරනවා. ඒකත් හරියට පාර දිගේ ටෙලි නාට්‍යයේ බන්ටිගෙයි සරණිගෙයි චරිත දෙක කළා වගේ. සල්ලි පොකුරු ටෙලියත් සද්ධා මංගල සූරියබණ්ඩාරයන්ගේ නිර්මාණයක්. නැඟී එන නිළිය වෙන්න ලබුණේ චාමර ජනරාජ් පීරිස් අධ්‍යක්ෂණය කළ වීදුරු මල් ටෙලිය නිසයි.

 

ඔබේ කුලුදුල් සිනමා අත්දැකීම සිංහබාහු නුදුරේදීම ප්‍රදර්ශනයට නියමිතයි. ඒ ගැන මොකද හිතන්නේ?

 

සිංහබාහු කියන්නේ මගේ කුළුදුල් සිනමා අත්දැකීම. එය ළඟදීම තිරගත වේවී. පසුගියදා මාධ්‍ය දර්ශනය තිබුණු අවස්ථාවේදී මට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ සිනමාපටය අපේ ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වේවී.

 

සිංහබාහු සිනමාපටයේ සිංහසීවලී වෙන්න අවස්ථාව ලැබුණේ කොහොම ද?

 

රේණුකා බාලසූරිය මහත්මිය තමයි මුලින්ම මට මේ චරිතයට ආරාධනා කළේ. ඇය පාර දිගේ රසිකාවියක් විදිහට මාව හොඳින් හඳුනාගෙන තිබුණා. සෝමරත්න දිසානායකයන් මාව දැක්ක ගමන්ම සිංහසීවලී කරගන්න කැමැති වුණා. මෙවැනි නිර්මාණයකට මාව සම්බන්ධකර ගැනීම ගැන මා ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.

 

ජැක්සන් ඇන්තනි වැනි ප්‍රවීණ රංගධරයෙක් එක්ක වැඩ කරන්න ලැබීම මොනවගේ දෙයක් ද?

 

අදටත් මට හිතාගන්න බැහැ ඔහු අප අතර නැහැ කියලා. ඔහු නැති අඩුව කාටවත් පුරවන්න හැකි වෙයි කියා මා හිතන්නේ නැහැ. සිංහබාහු සිනමාපටයේ රූගත කිරීම්වලදී තමයි ඔහු සමඟ ඇසුරුකරන්න, වැඩකරන්න අවස්ථාව ලැබුණේ. ඔහු සිනමාවේ දැවැන්තයෙක් වුණත් හරිම සාමාන්‍ය විදිහටයි කටයුතු කරන්නේ. රූගත කිරීම්වලදී මට වරදින තැන් ඔහු මට කියලා දුන්නා. ඔහු සම්බන්ධ වුණේ රූගත කිරීම් කොටස් කිහිපයකට පමණයි. ඔහු අනතුරට ලක් වුණාට පස්සේ අපි සෑහෙන කාලයක් බලන් හිටියා ඔහු නැවත එනකම්. ඒත් අද ඔහු අප අතර නැහැ. ඒක මතක් වෙන හැම වාරයක් පාසාම මට ලොකු දුකක් ඇති වෙනවා.

 

දැන් ඔබ රංගන ක්ෂේත්‍රය තුළ ලැබිය යුතු ඉහළම ජනප්‍රියත්වය සහ පිළිගැනීම ලබාගෙන තිබෙනවා. ඊළඟ බලාපොරොත්තුව හොඳම නිළිය වීම ද?

 

මම රඟපාද්දි ඒක හදවතින්මයි කරන්නේ. කවදාවත් සම්මාන බලාපොරොත්තුවෙන් රඟපාලා නැහැ. හැබැයි මගේ රංගන හැකියාව තව තවත් වැඩිදියුණුකර ගන්න මම කැමැතියි. හැමෝම මට ආදරෙයි. සම්මානවලට වඩා මට වටින්නේ ප්‍රේක්ෂකයන්ගේ ඒ ආදරයයි.

 

ඉදිරි වැඩ කටයුතුත් මතක් කරමු..

 

බාරගත්ත ටෙලිනාට්‍ය කිහිපයක්ම තියෙනවා. ඒවායේ රූගත කිරීම් මේ දවස්වල කරගෙන යනවා. සිනමා ආරාධණත් ලැබිලා තියෙන්නේ.. වෙනස්ම විදිහේ චරිතවලින් ඉදිරියේදී මාව දැකගන්න ලැබෙයි. ඒ චරිතවලටත් ප්‍රේක්ෂක ආදරය මේ විදිහටම ලැබෙයි කියලා මම හිතනවා.

 

 

ඡායාරූප

කල්ප මේනක පීරිස්

Nexus creations