සමනලියකගෙ වර්ණ දැක්මක අසිරිය

අගෝස්තු 4, 2025

නව පරපුරේ මේ නිළි කැල අතරින් වඩාත්ම සියුම් භාව ප්‍රකාශයන් සහිතව රංගකාර්යයෙහි නිරත වන්නට අවස්ථාව ලැබුණු රංගන ශිල්පිනියක ලෙස අප හඳුනා ගන්නේ සමනලී ෆොන්සේකාය.

වරක් ලෝක පූජිත මහා සිනමාවේදී බර්ග්මාන් ප්‍රකාශ කළේ සිනමාවේදී තමාට වැදගත් වන්නේ කැමරාව නොව නළුවාගේ හෝ නිළියගේ මුහුණ බවය. ඒ අනුව රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට වැදගත් වන්නේ ඔහුගේ හෝ ඇයගේ කායික ස්වභාවයන්ට වඩා මුහුණය. මෙයින් ගත්විට සමනලී ෆොන්සේකාගේ මුහුණ භාව ප්‍රකාශනයෙහි ලා උල්පතක් වැන්න.

ඇගේ විශිෂ්ටතම රංග කුසලතාවන්හි මුලින්ම නිසි පල නෙළා ගන්නේ සෙනේෂ් බණ්ඩාර දිසානායකයි. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘රළ බිඳෙන තැන’ ටෙලි නාට්‍යයෙහි සමනලී නිරූපණය කළ ෂෙහාරාගේ චරිතය සාම්ප්‍රදායික තරුණියකගේ සිතුම් පැතුම් සහ චර්යාවන්ගෙන් මුළුමනින්ම වෙනස් විය. ෂෙහාරා ප්‍රසාද් සමඟ විවාහ ගිවිසගෙන සිටින නමුත් ඔහුගේ මව අසීමිත ලෙස පුතා කොටු කරගෙන සිටින්නට දරන ආයාසය නිසා ෂෙහාරා ඉන් පීඩාවට පත්ව සිටී. ඒ නිසාම විවාහ මංගල්‍යය දිනෙන් දින කල්හරිමින් මඟ හරිමින් ඒ පිළිබඳ යෝජනාව එන සෑම විටෙකම ඇය ඉන් මඟ හැර යයි. සම්මත විවාහයක් තුළ කොටු වන්නට ඇය තුළ කැමැත්තක් හෝ වුවමනාවක් නැත. ඇගේ එම අසාමාන්‍ය ගති ස්වභාවය යටින් දිස්වන්නේ නව පරපුරේ කිසියම් පරාරෝපිත ලක්ෂණයකි. සමනලී ෆොන්සේකා රංගන ශිල්පිනිය එකී පරාරෝපිත මානසික ස්වභාවය ඉතා මැනවින් අවබෝධ කරගත් ආකාරය ඇයගේ සතර අභිනයෙන්ම දිස්වෙයි.

විශේෂයෙන්ම ඇය දෙබස් හැසිරවීමේදී සහ හැඟීම් ප්‍රකාශ කිරීමේදී ඇගේ මුහුණේ ඇදෙන ඉංගිතියන් අතිශය සියුම්ය. ප්‍රබලය. එහිදී ඇගේ දෑස, දෙතොල, දෙකොපුල, නළල, නාසය ආදී සියල්ලන්ගෙන් දිස්වන ක්ෂණික චලනයන් ඔස්සේ එම චරිතය සතු අසාමාන්‍ය පරාරෝපී ගති ලක්ෂණ මෙන්ම ඇය මුහුණ දී සිටින ඛේදනීය මානසික තත්ත්වය ප්‍රේක්ෂකයාට මැනවින් කියවන්නට හැකි වෙයි. ෂෙහාරා පිටරටක වෙසෙන සිය ලොකු අම්මා සමඟ අන්තර්ජාලය ඔස්සේ කරන කතා බහේදීත්, ප්‍රසාද් සහ ඇගේ මව සමඟ කෙරෙන කතාබහ ඉදිරියේත්’ තම මව සහ මල්ලි ඉදිරියේත් ඇගේ මුහුණේ ක්ෂණිකව වෙනස් වන එකී චලනයන් අපූරුවට දිස්වෙයි.

ෂෙහාරාගේ මව කාර්යාලයේදී හමුවන චිත්‍ර ශිල්පියකු සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන යෑම නිසා සිය පියාට මුහුණ දෙන්නට වූ මානසික ප්‍රශ්න සහ ඒ නිසා නි‍ෙවසේ එතෙක් තිබූ සතුට අතුරුදන් වී යද්දී, ඇය එයින් මව හා උරණ නොවී ඇයගේ වෙනස්වීම දෙස උදාසීනව සහ උපේක්ෂාසහගතව බලන්නට තරම් පරිණත වී සිටියාය. වරෙක මව නි‍ෙවසින් පිට අවන්හලකදී සිය දියණිය ෂෙහාරා සමඟ ඒ සම්බන්ධයෙන් කතා කරද්දී සමනලී දක්වන ප්‍රතික්‍රියාවන් ඇතැම් විටෙක එහි ප්‍රධාන නිළිය ලෙස රඟපෑ චාන්දනී සෙනෙවිරත්නට පවා අභියෝගයක් වී ඇති සැටි දැකිය හැකි විය. එහිදී ඇගේ සාත්වික අභිනයන් එකම රූප රාමුවක අනෙක් කෙළවරේ සිටින චාන්දනීගේ සාත්වික අභිනයන් අබිබවා යන්නක් විය. ඒ නිසාම ඇයට එම වසරේ හොඳම සහාය නිළි සම්මානය හිමිවන්නේ රයිගම් ටෙලි සම්මාන උලෙළේදීය.

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ "ආකාස කුසුම්", වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශ අධ්‍යක්ෂණය කළ "ප්‍රේමය නම්", සමීර නාඔටුන්න අධ්‍යක්ෂණය කළ "මෝටර් සයිකල්", මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ 'දැකල පුරුදු කෙනෙක්' ආදී චිත්‍රපට කිහිපයක සමනලීගේ රංග කාර්යයන් විමසද්දී පෙනී යන්නේ ඇය ආයාසයෙන් තොරව ඉතා සැහැල්ලුවෙන් නමුත් ඉතා වගකීමෙන් තම කාර්යයෙහි නිරත වන බවකි. ඒ නිසාම ප්‍රේක්ෂකයාට එම චරිත සමඟ අනන්‍ය වන්නට ඇති ඉඩ ප්‍රස්ථා බහුලය. ඒ අතරින් ප්‍රේමය නම් චිත්‍රපටයෙහිලා ඇයට නිරූපණය කරන්නට ලැබෙන්නේ සංකීර්ණ අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු වූ තරුණ බිරියකගේ චරිතයකි.

තම සැමියා ගොදුරු වී සිටින අසාමාන්‍ය මානසික ආබාධය නිසා ප්‍රසිද්ධ ස්ථානවලදී පවා ඇයට විඳින්නට සිදු වූ අපහසුතා ඉවසමින් ඔහු සමඟ පවතින්නට ඇය දරන තැත ඛේදනීය වුවද බිරියක ලෙස ඇය කරන කැපවීම ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට තරම් සමත් වන්නේ එම චරිතය සතු දරාගැනීමේ ශක්තිය හා උපේක්ෂාසහගත බව අතිශය සියුම් ලෙස නිරූපණය කිරීමෙහිලා සමනලී දක්වන සමත්කම මතය.

සමනලී ෆොන්සේකාගේ රංග කාර්යය නව පරපුරේ සිනමාවේදීන්ගේ නොමඳ අවධානයට ලක්වී ඇති සැටි ඉදිරියේදී තිරගත වීමට චිත්‍රපට තුළින් පැහැදිලි වෙයි. වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශ අධ්‍යක්ෂණය කළ 'මලකි දුවේ නුඹ මට' චිත්‍රපටයේ මාධ්‍යවේදිනියක කළ ලෙස ගතකරන කාර්යබහුල ජීවිතය තුළ සමාජීය වශයෙන් ඇයට විඳින්නට සිදුවන හිරිහැර මෙන්ම සැමියෙකු නොමැතිව දියණියක සමඟ තනිව ජීවිතයට මුහුණ දෙන්නට යෑමේදී සිදුවන අභියෝග ජයගන්නට දරන උත්සාහය සාර්ථක ලෙස ජයගෙන ඇති ආකාරය දැකිය හැකිය.