සරල වැකි හා ගැඹුරු අරුත් ඇති සිපීර්

කවර නිර්මාණකරුවා තුළ කතාකරුවා මො.ල. සෙනෙවිරත්න
ජුනි 23, 2025

මො.ල. සෙනෙවිරත්න කවර නිර්මාණකරුවා තුළ සැඟව සිටින කතාකරුවා පොතක් ලියා ඇත. එය නවකතාවක් ද කෙටි කතාවක් ද තීරුලිපි එකතුවක් ද කෙටි සටහන් එකතුවක් ද නැතිනම් මේ කිසිදු ශානරයකට අයත් නොවන නව ප්‍රවේශයක්ද? මොල එය ස්ක්‍රැපිස්වාදී නව ශානරයක් ලෙස හඳුන්වයි. එනම් කැබලි කොටස් හරහා කතන්දරයක් කීම ලෙසයි. පොතක් ‘ඔන්න එකමත් එක කාලෙක ලෙස පටන් ගෙන ඉක්බිති සියල්ලෝ සතුටින් විසිර ගියහ’ ලෙස අවසන් විය යුතු නැත. මුලක්, මැදක්, අගක් තිබිය යුතු නැත.එහෙත් යමක් කියවා පුරවාගත හැකි විය යුතුය. මොල එය ජයගෙන ඇත. මා සිපීර් කියවන්නේ ඒ ප්‍රවේශයේ සිටයි. මොලගේ ලේඛන ආකෘතිය හා අන්තර්ගතය මා හඳුන්වන්නේ මට ම ආවේණික ලෙසයි. එනම් ඔහු දෙබරයකට ගල් ගසන ලෙස වචන හසුරුවයි. වාක්‍ය කෙටි ය. ගැඹුර අනන්ත ය.

කැමති නම් ඇවිස්සෙන්නත් නැතිනම් මොකුත් නොවූවා සේ ඉන්නත් පුළුවන. එහෙත් සිපීර් මා ඇවිස්සූ බැවින් මෙසේ ලිවීම සුදුසු ය.

 

සිපීර් හි හරය

 

ආරක්ෂාව, රැකවරණය සහ නිවැරදි කිරීම උදෙසා පුද්ගල කය හා මනස තාවකාලිකව අඟුල් ලා දමන තැන පෘතුග්‍රීසි බසට අනුව සිපීර් (Cipier), අපට අනුව සිපිරි ගෙය වෙද්දී බස කෙසේ වෙතත් කාර්යයි. පූර්ණ වෙනසකට ලක්ව ඇති අයුරු සිපීර් හරහා අනාවරිත තිත්ත ඇත්ත ලෙස මම හිතමි. ආයතනගත කාර්යයේ සිට පුද්ගල බද්ධවත් දඬුවම් දීම පළිගැනීමක් දක්වා වෙනස් වූ සංස්කෘතියක පුනරුත්ථාපනය පිණිස ආරම්භ වූ හිරගෙදර අපරාධකරුවන් බිහිකිරීම දක්වා පරිවර්තනය වන කැත නිරුවත් සත්‍යය විවෘත සමාජයට මුදාහැරීමක් මොල සිපීර් හරහා සිදු කරයි. කවරාකාර දඬුවමක් වුව කායික හා මානසික පීඩාවකි. දඬුවම හරහා නිර්මාණය වන්නේ බලයයි. බලවතා දඬුවම ක්‍රියාත්මක කරන්නා ය. පොලීසිය, අධිකරණය හා සිරගෙය මේ අනුව දුබලයා ඉදිරියේ බලවත් වන අතර ඒ තුළ ධර්ම චක්‍රයේ කඩතොලු බවත් නීති තුලාවේ පක්ෂග්‍රාහී දෝලනයත් පාඨකයාට වටහා දීමට සිපීර් සමත් වේ. සිරගෙයින් එළියට එන සුදුවත ඇඳි මිනිහා හුදු සංකේතාමක ප්‍රකාශනයක් පමණි. සුදු මිනිසෙකු තැනීම කළු මිනිසුන්ට කළ හැකිද? පුනරුත්ථාපනය විය යුත්තේ වැරදි කරන මිනිස් ශරීර ද? වැරදි කිරීමට පොලඹවන සමාජ සංස්ථාවද? (පිටු.75) මොල මෙම ප්‍රශ්නයෙන් අපේ මොළවලට දමා ගසන්නේ අපව නිරුත්තර කරවමිනි.

 

පිටු 128ක කතා කැබලි 20

 

එක් එක් කතා කැබලිවල විවිධ අන්දමේ ජීවන පුවත් හා සන්දර්භයන් අන්තර්ගතය.උදාහරණ ලෙස සංක්‍රාන්ති ලිංගිකයෙකු හා අන්තර්ගතවෙමින් 9 කොටස ගොඩනැඟේ. 6 වැනි කොටස වල් වැදුණු නීතිය පිළිබඳ කතා කරයි. මේ ලෙස ගත්කළ ස්ත්‍රී පුරුෂබව, ජාතිය, ආගම, ධනය මේ සියලු ආකාර සමාජ බෙදීම් පිළිබඳ හා ඒ සියල්ල ඉදිරියේ නීතියේ අඳබව හා නොපනත්බව පිළිබඳ කියවීම් සිපීර් හි අන්තර්ගත ය. මේ සියලු කියවීම් දේශපාලනික වේ. බලය හමුවේ බිඳවැටෙන මනුෂ්‍යත්වය පිළිබඳ ආන්තික කියවීම් වේ. එකී කියවීම් අපිට ප්‍රීතිය නොව ජුගුප්සාව ජනනය කරයි. සමාජ සුරක්ෂිතබව පිළිබඳ අනියත බියක් ඇතිකරයි. මිනිසා කොන්දේසි විරහිත ධනාත්මක බැල්මකින් කියවිය යුතු ය යන මානවවාදී ප්‍රවේශයන් හුදු වචන බවට පමණක් පත්කරයි.

 

තවදුරටත් ශිෂ්ටත්වය පෙන්වීම සඳහා අප පිළි පැලඳුව ද කොතෙක් දුරට තිරශ්චීන ගුණාංගයන්ගෙන් සමන්විත ද යන ප්‍රශ්නයෙන් සිපීර් අපට දමා ගසයි. මට හැඟෙන පරිදි යුද්ධයෙන් මියගිය සොල්දාදුවා දෙමළ වුව, සිංහල වුව විරුවකු නොකර සොල්දාදුවෙකු බවට පත්කළ විට කිපෙන සමාජය පිළිබඳ තවදුරටත් විමතියට පත්විය යුතු නැත.

මන්ද සිපීර් අනාවරිත සත්‍යය තුළ මිනිස් හදවත් සහකම්පනයෙන් සලිත නොවේ. එහෙත් අනෙකා කම්පනයට පත්කිරීමෙන් උද්දාමයට පත්වේ.

 

සිපීර් හරහා කියවෙන සමාජ සත්‍යය

හැම හිරකරුවෙකුටම කියන්නට කතාවක් ඇත. නැත්තේ ඇසීමට කෙනෙකුයි. (පි.76) හිරකරුවන්ට පමණක් නොව හැම මිනිසෙක් සතුවම කියන්නට කතා ඇත. නමුත් අසන්නට මිනිසුන් නැත. මොල 53 පිටුව අවසානයේ මෙය මෙසේ සටහන් කර ඇත.

“රෝගී සමාජයක්. ක්‍රෑරත්වයට ඉඩ දීපු සමාජයක්. කුණු වෙච්ච සමාජයක්. නීති-රීති සදාකාලිකවම නොවෙනස්ව පැවත ආ ලෙස සලකන සමාජයක්. ඔවුන් ‘සාමාන්‍ය’ ලෙස සලකන දෙයට පිටින් ‘අසාමාන්‍ය’ ලෙස පේන හැමදෙයක්ම ඔවුන්ට අපරාධයක්, නැතිනම් ලෙඩක්.” සැබවින්ම අප ජීවත් වන්නේ ලෙඩ සමාජයක ද? මිනිස් ජීවිත පිළිබඳ කොන්දේසි දමාගත් සමාජයක් තවදුරටත් පරිවර්තනීය වෙනසක් සඳහා සූදානම් නැත. එය සංස්කෘතික වශයෙන් ලැග්මක් ලෙස කියවා ගැනීමට සිදුවේ. ලැග්ම යනු හෙට දවස උදෙසා සාධනීය ප්‍රවේශයක් නොවේ.

 

සිපීර් කියවන්න...ඒ මගේ ඉල්ලීමයි.