වර්ෂ 2025 ක්වූ July 28 වැනිදා Monday
ලාංකේය ස්ත්‍රීත්වයේ සජීවී ප්‍රතිබිම්බය වීණා

ලාංකේය සිනමාවේ සංකීර්ණ ස්ත්‍රී භූමිකා රැසක් සාර්ථකව නිරූපණය කළ රූපණවේදියන් අතර වීණා ජයකොඩිට හිමි තැන සුවිශේෂය. සැබැවින්ම රූපණවේදනියක ලෙස ඇය දශක හතක් තරම් දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කීම සුළුවෙන් තැකිය හැකි නොවේ. 1954 දී ' අහංකාර ස්ත්‍රී' චිත්‍රපටයේ මාස 09ක බිලිඳියක ලෙස ඇයගේ මව රෝහිණී ජයකොඩි සමඟ රංගනයට එක්වන වීණා ජයකොඩි, එදා මෙදාතුර චිත්‍රපට 50කට අධික සංඛ්‍යාවක චරිත නිරූපණය කොට ඇත.
අපේ සිනමාවේ මුල් යුගයේදී රංගනයට එක් වූ බොහෝ රූපණවේදීන්ට හා රූපණවේදිනියන්ට ජනප්‍රිය සිනමාවේ සැහැල්ලු චරිත අතර සැරිසරන්නට වූ අයුරින්ම වීණාට ද එම තත්ත්වයට ගොදුරු වන්නට සිදුවූවාය. ස්වංකීය රංග කුසලතා නිසි ලෙස විහිදුවාලන්නට ඇයට සිදුවන්නේ සංකීර්ණ තේමාවන් විෂය කරගත්, සංකීර්ණ චරිත රැගත් චිත්‍රපට නිර්මාණය කළ අධ්‍යක්ෂවරුන් යටතේය. ඒ අනුව ගාමිණී ෆොන්සේකා (බාදුරා මල් - සාගරයක් මැද), සුනිල් ආරියරත්න (සරුංගලේ), චන්ද්‍රරත්න මාපිටිගම (සුරබිදෙන), ප්‍රසන්න විතානගේ (සිසිල ගිනි ගනී) ඩී.බී නිහාල්සිංහ (කෙළි මඩල), වසන්ත ඔබේසේකර (මාරුතය) වැනි අධ්‍යක්ෂවරුන් යටතේ වීණාට ස්වකීය රංග කුසලතා නිසි ලෙස උරගා බලන්නට අවස්ථාව පෑදිණි.
ගාමිණී ෆොන්සේකාගේ “බාදුරා මල් චිත්‍රපටයේ වීණා රඟපාන්නේ උමා නැමැති දෙමළ ගැහැනියක ලෙසිනි. ඇය තම සැමියාගේ නොපනත්කම් ඉවසමින්, ඔහු සමඟ ජීවත් වන්නට දරන තැත ව්‍යර්ථ වන්නේ ඔහු, ඇය හැර දමා වෙනත් ගැහැනියක විවාහ කරගන්නට සූදානම් වන නිසාය. අවසානයේදී තම ගෙල බැඳි තැල්ල සැමියාගේ දෙපා පාමුල තබා ආපසු හැරෙන්නේ වැලහින්නියක සේ හඬා වැලපෙමිනි. ඒ අවස්ථාවේ උමාගේ හද කකියන වේදනාවත්, අසරණකමත් ප්‍රේක්ෂකයා තුළ සියුම් ලෙස දනවන්නට වීණා සමත් වෙයි. වීණාගේ තවත් සාර්ථකම රංගනයක් දැකිය හැකි වන්නේ සුනිල් ආරියරත්නගේ ‘සරුංගලේ’ චිත්‍රපටයෙනි. එහිදී නඩරාජා නමැති දෙමළ ජාතිකයකුගේ සිංහල පෙම්වතිය සුසිලා ලෙස වීණා කළ රංගනය විචාරක අවධානයට ලක් වූයේය.
වීණා ජයකොඩි නිරූපණය කළ චරිත අතර වන ‘සිසිල ගිනි ගනී’ චිත්‍රපටයේ කුමාරි, ‘කෙළි මඩල’ චිත්‍රපටයේ තමාරා, ‘මාරුතය’ චිත්‍රපටයේ ගීතා, දේශපාලනඥයන්ගේ බිරින්දෑවරු වූහ. එයින් කුමාරි සහ තමාරා තම ස්වාමිපුරුෂයන් විසින් කුටුම්භයට පිටින් පවත්වාගෙන ගිය අසම්මත ප්‍රේම සම්බන්ධතා හමුවේ මානසිකව විඳින්නට සිදු වූ පීඩාවන් දරා ගනිමින් ස්වාමිපුරුෂයන් සමඟ රණ්ඩුසරුවල් කරමින් ඔවුන්ගේ පෙම්වතියන්ට ඊර්ෂ්‍යා කරමින්, වෛර කරමින් දිවි ගෙවූ ගැහැනු වූහ. එයිනුත් ‘සිසිල ගිනි ගනී’ චිත්‍රපටයේ කුමාරිට තම සැමියාගේ අසම්මත ප්‍රේමය නිසා පමණක් නොව ඔහුගේ පෙම්වතිය වූ ඇනට් නිසා තම දරුවා අහිමිවීම වැනි බරපතළ ශෝකාන්තයකට පවා මුහුණදෙන්නට සිදු වූවාය.
මේ අවස්ථාවන් දෙකම ගැහැනියකට මානසිකව මුහුණදෙන්නට වන සුළුපටු කරුණු නොවේ. ඒ අවස්ථාවන් දෙකටම කුමාරි මුහුණ දුන් ආකාරය සාර්ථකව නිරූපණය කරන්නට වීණා සමත් වූයේ එබඳු ගැහැනියකගේ මනෝභාවයන් මෙන්ම චර්යාවන් ද සූක්ෂ්ම ලෙස ග්‍රහණය කරගෙන සිය වාචික, සාත්වික හා ආංගික අභිනයන් මෙහෙයවා ගන්නට හැකිවීම නිසාය. ‘කෙළිමඩල’ චිත්‍රපටයේ තමාරා තම සැමියාගේ අසම්මත ප්‍රේමය දරාගත
නොහැකි වූයෙන් ඇය ‘සිසිල ගිනි ගනී’ චිත්‍රපටයේ කුමාරිට වඩා ප්‍රචණ්ඩ වූවාය. තම සැමියා ඇගේ පෙම්වතිය වූ රංජනී සමඟ වෙනම පවුල් ජීවිතයක් ගත කිරීම සහ ඇය ගැබිනියක බව හෙළිදරව් වීමෙන් තමාරා යක්ෂාවේශ වූවාය. රංජනී සොයා ඇගේ නිෙවසට යන තමාරා ඇය වෙත එල්ල කරන වාග් ප්‍රහාරයන් සමඟ ගොජදමන කෝපය, වෛරය සහ ඊර්ෂ්‍යාව වීණාගේ දෑසින් එළියට පනින්නේ ගිනි පුළිඟු ලෙසිනි.
ඒ පුළිඟු, රංජනීගේ ආත්මයම දවා කළු කරන්නට තරම් ප්‍රබලය. එහිදී වීණාගේ කෝපයෙන් ගිනිගත් ඒ දෑසම ශෝකයෙන් බරිතව කඳුළු උල්පතක් වන ආකාරය “සාගරයක් මැද” චිත්‍රපටයේ දොස්තර මොළදණ්ඩගේ දයාබර බිරිය ලෙස කළ රංගනයේදී දැකිය හැකි විය. දොස්තර මොළදණ්ඩ සිපිරි ගෙයට යෑම නිසා තමා ඇතුළු දූ දරුවන්ට ආර්ථික වශයෙන් මුහුණ පාන්නට සිදුවූ ශෝචනීය තත්ත්වය මැද ජීවත් වූ ඇයට තිබූ එකම සහනය මසකට වරක් සැමියා බැහැදකින්නට යෑම පමණකි. දිනක් එහි යන සැමියාගේ දෑතේ කරගැට දැක මහත් සේ කම්පා වෙයි. හඬා වැටේ.
එහිදී බිරියගේ මානසික තත්ත්වය දරාගත නොහැකිව දොස්තර මොළදණ්ඩ, මින්පසු තමා හමුවන්නට නොඑන ලෙසත්, දරුවන් හොඳින් බලා කියාගන්නා ලෙසත් කරන ප්‍රකාශයෙන් ඇය කම්පා වෙයි. මහාහඬින් විලාප දෙනු වෙනුවට ඇය කඳුළු සඟවාගෙන හඬ නොනඟන්නට ඉකි බිඳිිමින් එතැනින් ඉවත් වෙන ආකාරය ප්‍රේක්ෂකයා ඇතුළතින් හඬා වට්ටන තරම් ප්‍රබලය.
වීණා ජයකොඩිගේ යථොක්ත ස්ත්‍රී නිරූපණය තුළ දකින්නට ලැබෙන්නේ පුරුෂෝත්කට සමාජය තුළ සකල පීඩාවන්ට මුහුණ දෙන ස්ත්‍රී භූමිකාවේ හරස්කඩකි. එයම ලාංකේය ස්ත්‍රිය කියවීමේ හරස්කඩක් වන්නේ එකී ස්ත්‍රීන්ගේ ආත්මීය සංවේදනාවන් ස්වකීය රංගනයෙන් විශද කරන්නට වීණා දැක්වූ සුවිශේෂී ප්‍රතිභාවේ මහිමය නිසාය.