ඇඟිලි දහයෙන්ම චිත්‍ර අඳින විශ්මිගේ චිත්‍ර විශ්මය

මාර්තු 11, 2024

ඇඟිලි දහයෙන්ම චිත්‍ර අඳින විශ්වකර්ම තරුණියක්.

ඔව්, ඒක ඇත්තක්. ඇතැම් විට ඔබත් මේ තරුණියගේ විශ්මයජනක චිත්‍ර පිළිබඳ දැනටමත් දැක ඇති. සමාජ මාධ්‍ය ජාලාවල බහුල වශයෙන් කතා කරන ඇගේ නම විශ්මි පතිරගේ. Vish Art කිව්වම එයාව කවුරුත් දන්නවා. විශ්මිගේ චිත්‍ර ගැන බොහෝ දෙනා දැනන් හිටියට විශ්මි ගැන දන්නේ බොහොම ටික දෙනයි. විශ්මි ගැන හොයන හැමෝම වෙනුවෙන් අපි විශ්මි සොයා යන්නේ ගාලු දිස්ත්‍රික්කයේ ඇල්පිටිය නම් සුන්දර නගරයටයි. මේ ඒ විශ්මයජනක චිත්‍ර ගැන විශ්මි සමඟ අප කළ පිළිසඳරයි.

ඉතින් විශ්මි චිත්‍ර අඳින්න පටන් ගත්තේ කොයි කාලෙද?

ව්‍යාපාරයක් විදිහට චිත්‍ර අඳින්න පටන් ගත්තේ උසස් පෙළ විභාගයට ඉවර වුණාට පස්සෙයි. පොඩි කාලේ ඉඳලම චිත්‍ර අඳින්න පුළුවන්.

චිත්‍ර ගැන හැදෑරීමක් කරලා තියෙනව ද?

පොඩි කාලේ ඉඳන් චිත්‍ර ඇන්දට විෂයයක් විදිහට චිත්‍ර ඉගෙන ගත්තේ 6 වසරේ ඉඳලා සාමාන්‍ය පෙළ දක්වායි.

උසස් පෙළින් පස්සේ තමයි මේ ව්‍යාපාරය පටන් ගත්තේ.

දැන් සැලකිය යුතු මට්ටමේ ඇණවුම් ප්‍රමාණයක් ලැබෙනව ද?

සෑහෙන අැණවුම් ප්‍රමාණයක් ලැබෙනවා. කොපමණ ඇණවුම් ලැබුණත් මට දිනකට චිත්‍ර තුනක් වගේ තමයි අඳින්න පුළුවන් වෙන්නෙ. මොකද චිත්‍ර අඳින එක කලබලේට කරන්න බැහැනේ. හිතේ නිදහසේ වෙලාව අරගෙන කරන්න ඕනෙ වැඩක්නේ.

Vish Art නම හැදුණේ කොහොම ද?

මගේ නම විශ්මි නිසයි මම ඒ නම දාන්න හිතුවේ. මොකද මාව දන්න හඳුනන අය සහ මගේ යාළුවෝ මට කතා කරන්නේ විෂ් කියලයි. මගේ නම මටම ආශිර්වාදයක් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. Vish Art නමින් තමයි facebook පේජ් එකයි tiktok එකයි පවත්වාගෙන යන්නේ. වැඩිම ඇණවුම් ප්‍රමාණයක් ලැබෙන්නේ facebook එක හරහායි.

ව්‍යාපාරය දියුණු කරගන්න සමාජ මාධ්‍ය ජාලාවලින් ලොකු පිටිවහලක් ලැබෙන්න ඇති...

මම fackebook, tiktok Account හදාගන්න කලින් වැඩිය කවුරුත් මගේ හැකියාව ගැන දැනන් හිටියේ නැහැ. සමාජ මාධ්‍ය ජාලා නොතිබෙන්නට ඇතැම්විට මම අද මේ තැන නොසිටින්න පුළුවන්. සමාජ මාධ්‍ය නිවැරැදි දේකට යොදගන්නවා නම් ලබාගත හැකි ප්‍රයෝජන බොහොමයි.

ඇඟිලි 10න්ම චිත්‍ර අඳින්න පුළුවන් වෙයි කියලා කොහොමද හිතුණේ?

පිටරටවල කිහිප දෙනෙක්ම වීිඩියෝස් කරලා තිබුණා අතේ කෝටු 10ක් විතර තියාගෙන ඒ කෝටුවලට පෑන් රඳවගෙන චිත්‍ර අඳිනවා. මෙහෙ අක්කා කෙනෙකුත් ඒ විදිහට චිත්‍ර 6ක් එකපාර ඇඳලා තිබුණා කෝටු සවිකරගෙන. ඒක දැක්කම මට හිතුණා මොකටද ඇඟිලි තියෙද්දී කෝටුවලින් සම්බන්ධ කරන්නේ. ඇඟිලිවලට පෑන් සම්බන්ධ කරලා මේ වැඩේ කරන්න පුළුවන්නේ කියලා. එහෙම හිතලා මම එහෙම එකපාරක් උත්සාහ කළා. ඊට පස්සෙ මට තේරුණා ඒ වැඩේ මට අල්ලගෙන යන්න පුළුවන් කියලා. ඒ විදිහට මාත් tiktok එකක් කරලා සෝෂල් මීඩියා දැම්මා. හොඳ ප්‍රතිචාර ලැබුණා. මම දන්න විදිහට ලෝකෙන්ම ඒ විදිහට චිත්‍ර අඳින එකම කෙනා මම.

ඒ හැකියාවට අමතරව ඔයා චිත්‍ර අඳින තවත් ක්‍රම තියෙනවා නේද?

මම හැම වෙලාවෙම උත්සාහ ගන්නේ අලුත් දේවල් අත්හදා බලන්න. ඒ විදිහට මම පනාවෙනුත් චිත්‍ර අඳින්න උත්සාහ කළා. මම මීට කලින් එහෙම දැකලා තිබුණේ නැහැ. මට හිතුණා වෙනස් දෙයක් කරන්න. ඉතින් පනාවෙනුත් මිනිස් රූපයක් ඇඳලා බැලුවා. ඒකත් චිත්‍ර අඳින්න අලුත් විදිහක්.

ඔයාගේ මේ හැකියාව නිසා දැන් ඔයා ගැන ගොඩ දෙනෙක් සමාජ මාධ්‍ය ජාලා තුළදී කතා බහ කරනවා. මොකද හිතෙන්නේ ඒ ගැන.

පටන් ගත්ත මුල් කාලේදී මගේ වීඩියෝස් බැලුවේ ටික දෙනයි. දැන්නම් හැමෝම මං ගැන කතාබහ කරනවා. මම මේ තැනට ආවේ බොහොම පුංචි කාලයකින්.

චිත්‍ර කලාවෙන් ජයග්‍රහණ ලබාගෙන තියෙනවා ද?

ඔලිම්පියාඩ් චිත්‍ර තරගාවලියෙන් ගාල්ල දිස්ත්‍රික් දෙවැනි ස්ථානය දිනාගත්තා. මම අධ්‍යාපනය ලැබු පළමු පාසල පොරවගම කනිෂ්ඨ විද්‍යාලය. ශිෂ්‍යත්ව විභාගය සමත් වුණාට පස්සේ ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයට ඇතුළු වෙලා අධ්‍යාපනය ලැබුවා. ඒ වගේම පාසල් මට්ටමෙන් බොහෝ චිත්‍ර තරගවලින් ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. දහම් පාසල් චිත්‍ර තරගවලිනුත් බොහෝ අවස්ථාවන්වලදී ප්‍රථම ස්ථානය දිනාගෙන තියෙනවා. ගුරුවරුන් සහ මගේ යාළුවෝ මගේ චිත්‍ර බොහෝ අවස්ථාවන්වලදී අගය කළා. උසස් පෙළට මම තෝරා ගත්තේ ජීව විද්‍යාව. ඒ තුළින් මට මිනිස් සිරුර ගැන හොඳ අවබෝධයක් ලබා ගන්නත් අවස්ථාවක් ලැබුණා. නමුත් අන්තිමට වෘත්තියකර ගත්තේ චිත්‍ර කලාව.

චිත්‍ර ඇඳලා ජීවිතය ජයගන්න පුළුවන් වෙයි කියලා කවදාහරි හිතුව ද?

මම කවදාවත් හිතුවේ නැහැ. මාව දන්න හඳුනන අයගෙන් වැඩි දෙනෙක් කිව්වේ චිත්‍ර ඇඳලා හරි යන්නේ නැහැ කියලා. ඒ වුණාට මම මගේ ගමන නැවැත්තුවේ නැහැ. හිතුවෙ නැති විදිහට මගේ හැකියාවට අද තැනක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ ගැන හරිම සතුටුයි.

මේ ගමන යන්න ගෙදරිනුත් ලොකු සහයෝගයක් ලැබෙන්න ඇති...

මම ගාල්ල ඇල්පිටියේ. පවුලේ ඉන්නේ මායි අම්මයි තාත්තයි. තාත්තා චමින්ද පුෂ්පකුමාර. අම්මා චන්ද්‍රිකා රංචාගොඩ. මම පවුලේ එකම දරුවා. ඉතින් චිත්‍රයක් ඇඳලා.. රාමු කරන තැන... පාර්සල් කරන තැන... ඩිලිවර් කරන තැන දක්වා ඒ හැමදේම පිළිවෙළකට කරන්න උදවු කළේ අම්මයි තාත්තයි. ගාල්ල අමුගොඩ තැපැල් කාර්යාලයේ ස්ථානාධිපති තුමිය ඇතුළු කාර්යමණ්ඩය මතක් කරන්න ඕනේ. මොකද වීදුරු බිදෙන්නේ නැති වෙන්න ඒවා තැපැල් කරන්න එයාලා ලොකු සහයෝගයක් දෙනවා. මම අඳින චිත්‍ර fb දැම්මම ඒවා ශේයා කරලා මගේ ව්‍යාපාරය තවත් ප්‍රචලිත කරන්න උදවු වෙන අයවත් මාව වචනයකින් හරි අගය කරන අයවත් මම මතක් කරන්න ඕනේ.