දෙරණ දෙදරන නැටුම් රණ හඬ

අප්‍රේල් 15, 2024

 

මාතෘ භූමියේ නිදහසත් භෞමික අඛණ්ඩතාවයත්, ස්වෛරීභාවයත් රුදුරු කොටි ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගනිමින් ලක්මවට සාමයේ අරුණලු දැකීමට ශ්‍රී ලංකා යුද හමුදාව කළ මෙහෙවර සදා අමරණීයයි. පුරා දශක තුනක ඒ අඳුරු අතීතය පැහැබර අනාගතයක් බවට පත් කළ මේ විශිෂ්ටයෝ කරන තවත් සුවිශේෂී කාර්යභාරය. මේ කතා බහ ගැනයි ඒ යුද හමුදා තූර්ය වාදක හා රංග කලා අංශය ගැනයි. කලාව රට තුළ පවත්නා සංහිඳියාව එක්සේසත් කිරීමට හැකි තවත් මඟකි. අපගේ මානසික සුවය උදෙසා කලාව අනර්ඝතම ඔසුවකි.

 

මේ අපේ රටේි ජාතියේ ගැහෙන පණ නල රකින වීරෝදාර රණවිරුවන්ගේ කලා කෞෂල්‍යයි. ශ්‍රී ලංකා යුද හමුදා තූර්ය වාදක හා රංග කලා අංශය නර්තන කණ්ඩායම් භාර වත්මන් අධ්‍යක්ෂ වශයෙන් මේජර් ආර්.ඩබ්.ආර්.ජී.ජී.ජේ. ප්‍රසාන්ත නිලධාරී කටයුතු කරයි. මේ ඔහු තරුණී හමුවට ගෙන ආවේ ඔවුන්ගේ කලා නිකේතනයේ තතුයි.

යුද හමුදා තූර්ය වාදක හා රංග කලා පාසල ගැන පුංචි හැඳින්වීමක් කළොත්...?

 

මෙහි ප්‍රථම අධ්‍යක්ෂ වශයෙන් බ්‍රිෙග්ඩියර් පී.එම්. එස්. ඒ. පල්ලේමුල්ල, යු.එස්.පී.අයි.ජී. පත් වූ අතර වර්තමාන අධ්‍යක්ෂ වශයෙන් බ්‍රිෙග්ඩියර් එස්.ජේ. කාරියකරවන, ආර්.ඩබ්ලිව්. පී.ආර්. එස්.පී. යූ. එස්. පී කටයුතු කරනවා. මෙම අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ අපරදිග තූර්යවාදක කණ්ඩායම / පෙරදිග තූර්යවාදක කණ්ඩායම හා නර්තන කණ්ඩායම අන්තර්ගතයි.

යුද හමුදා සෙබළ /සෙබළියන්ට, පාසල් සිසුන්ට හා අනෙකුත් බාහිර පුද්ගලයන්ට සංගීතය හා නර්තනය හැදෑරිය හැකි පරිදි යුද හමුදා සංගීත හා රංග කලා පාසලක් ද පනාගොඩ යුද හමුදා ජනපදය තුළ ස්ථාපනයකර ඇති අතර, මෙම පාසල තුළින් සංගීත හා නර්තන ආධුනිකයන් විශිෂ්ටයන් බවට පත් කිරීමේ උදාර කාර්ය භාරය ඉටුකරනු ලබනවා.

 

අපරදිග තූර්ය වාදක කණ්ඩායම ශ්‍රී ලංකාවේ වෙනත් සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි සේවාවක් සපයනවා නේද?

 

ඔව්. යුද හමුදාවේ හා රාජ්‍ය / රාජ්‍ය නොවන සියලුම තූර්යවාදක අවශ්‍යතා ආවරණය කරනවා.

මෙමඟින් බ්‍රාස් බෑන්ඩ් කණ්ඩායම, අධිරිද්ම කණ්ඩායම, ඩිංගි ඔකේස්ට්‍රා, නැටුම් වාදන කණ්ඩායම, බෑග් පයිප්කණ්ඩායම, ඩී.ජේ. සංගීත කණ්ඩායම ආදී සේවා රැසක් සපයනවා. එමෙන්ම 2018 වසරේ රුසියාවේ පැවති ස්පැසකාව තූර්යවාදක තරගාවලියේ තුන්වැනි (World Wide 3rd) ස්ථානය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට කිර්තියක් අත්කර දීමට සමත් වුණා. දෙස් / විදෙස්, රාජ්‍ය / රාජ්‍ය නොවන උත්සව, යුද හමුදා උත්සව සඳහා වර්ණවත් දායකත්වයක් ලබාදීම අපරදිග තූර්යවාදක කණ්ඩායමේ කාර්යය භාරයයි.

 

විදේශ ප්‍රසංග සඳහා ජනගීත තුළින් ලාංකේය අනන්‍යතාවය පිළිබිඹු කිරීම තූර්ය වාදක මඬුල්ලේ එක් සේවාවක්. ඔවුන්ගේ අනෙකුත් සේවා කණ්ඩායම් මොනවාද?

 

ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ ගායක ගායිකාවන්ගේ ඒක පුද්ගල සංගීත ප්‍රසංග, සංගීත ප්‍රසංග, එළිමහන් ප්‍රසංග සඳහා විශිෂ්ට ලෙස සංගීතය ලබා දෙනවා. වර්තමානයේදී ගායන / වාදන ශිල්පීන් 94ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මෙමඟින්, පෙරදිග තූර්ය වාදක හේවිසි කණ්ඩායම පෙරදිග වාද්‍ය වෘන්ද්‍ය, අධි රිද්ම සංගීත කණ්ඩායම, ත්‍රි පුද්ගල සංගීත කණ්ඩායම, පැදුරු සංගීත කණ්ඩායම, කැලිප්සෝ සංගීත කණ්ඩායම, ගී අනුවාදන සංගීත කණ්ඩායම, හින්දුස්ථානි ශාස්ත්‍රීය සංගීත කණ්ඩායම, ජන ගී කණ්ඩායම, අන්ප්ලග් සංගීත කණ්ඩායම ආදී සේවාවන් සපයනවා.

 

දැනට ලංකාවේ අැති විශාලතම වෘත්තීය නර්තන කණ්ඩායම යුද හමුදා නර්තන කණ්ඩායම ද?

 

ඔව්. යුද හමුදා නර්තන කණ්ඩායම ගැන කතා කළොත් එය ජගත් කීර්තියට පත් වූ අවස්ථා තිබෙනවා.

 

2021 වර්ෂයේ රුසියාවේ පැවැති Army Games තරගාවලියේ Army of Culture තරග ශීර්ෂයේ ජව සම්පන්න නර්තන කණ්ඩායමට හිමි සම්මානය ඇතුළු සෙසු සම්මාන 08ක ප්‍රමාණයක් දිනාගැනීමට හැකිවුණා. එයට අමතරව ජර්මනියේ පැවැති Berlin Festival, ඔස්ට්‍රේලියාවෙහි පැවැති Canbara Festival හා ඊජිප්තුවේ පැවැති Drums Festival නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමට සමත් වුණා.

 

වර්තමානයේ නර්තන කණ්ඩායමේ නර්තන ශිල්පීන් 96ක් හා ශිල්පිනියන් 72ක් වශයෙන් 169ක පිරිසක් එක් රෙජිමේන්තුවක නර්තන ශිල්පීන් 16 දෙනකු බැගින් රෙජිමේන්තු 22ක සංස්කෘතික නර්තන කණ්ඩායම් ස්ථානගතකර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම වෘත්්තීය නර්තන කණ්ඩායම මෙයයි.

 

අපේ රටේ සාමාන්‍ය සිවිල් ජනතාවට ඔවුන්ගේ විශේෂ සැමරුම් අවස්ථා සඳහා යුද හමුදා තූර්ය වාදක කණ්ඩායම්, නර්තන කණ්ඩායම් සම්බන්ධ කරගත හැකිද?

අැත්තෙන්ම ඔව්. සාමාන්‍ය සිවිල් ජනයාගේ ජීවිතයේ පවත්වනු ලබන විවිධ සැමරුම් හා උත්සව අවස්ථා සඳහා අපගේ සේවාවන් ලබාගත හැකියි. මේ සියලු දේ යුද හමුදාපතිතුමාගේ පූර්ණ අධීක්ෂණය සහ උපදෙස් මතයි සිදුවන්නේ. එබැවින් එතුමන්ට ගෞරවපූර්ව ස්තූතිය පිිරිනැමිය යුතුයි.

011- 2634500 දුරකතන මාර්ගය ඔස්සේ යුද හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්ෂ මණ්ඩලය ඇමතිය හැකියි.