වර්ෂ 2025 ක්වූ May 26 වැනිදා Monday
කන්දක් සේ දුක ඉසිලූ නිරෝෂා

අපේ නිළියන් අතර නිරෝෂා පෙරේරා යනු වෙනස්ම චරිතයකි. ඇය තරුවක ලෙස ජනප්‍රියත්වයට පත්වීමේ ආසාවෙන් පෙළෙන්නියකැයි කිව නොහැකිය. විටෙක නිරූපිකාවියක ලෙසත්, විටෙක නිවේදිකාවක ලෙසත් කටයුතු කළ ඇය රංගනයට එක්වූයේ අවස්ථා දෙක තුනකදී පමණකි.
මගේ මතකයේ හැටියට ඇය ප්‍රබල චරිතයක් නිරූපණයක් කළේ සනත් ගුණතිලක අධ්‍යක්ෂණය කළ ‘එකමත් එක රටෙක’ චිත්‍රපටයෙහිය. එහි රැඩිකල් තරුණියක ලෙස අසාමාන්‍ය රංගනයක යෙදීමෙන් අනතුරුව ඇය ඊට හාත්පසින්ම වෙනස් රංගනයක යෙදුණේ සුමිත්‍රා රාහුබද්ධගේ ‘කන්දක් සේමා නවකතාව ඇසුරින් අශෝක අතාවුදහෙට්ටි අධ්‍යක්ෂණය කළ කන්දක් සේමා ‘චිත්‍රපටයෙහිය. එහි ‘නූපා’ ලෙස චරිත නිරූපණය කරන නිරෝෂා පෙරේරා එම චරිතයේ ඇතුළාන්තය මැනවින් අවබෝධ කරගනිමින් සියුම් රංගනයක යෙදෙන්නීය. ඇගේ භාව ලීලාවන් නූපාගේ ඇතුළාන්තයේ ඛෙදය එළියට ඇද දමන්නට සමත් විය. චිත්‍රපටයේ ෙප්‍ර්මණීය අවස්ථාවලදී ෙප්‍ර්මයද, ශෝකයේදී ශෝකයද, පශ්චාත්තාපයේදී පශ්චාත්තාපයද, කෝපයේදී කෝපයද, උපේක්ෂාසහගත අවස්ථාවේදී උපේක්ෂාවද ඇගේ සාත්වික අභිනයන් තුළ නොඅඩුව තිබිණි.
‘කන්දක් සේමා ‘චිත්‍රපටයේ නූපා වූ කලි ආදරය - ෙප්‍ර්මය- ලිංගිකත්වය සහ මාතෘත්වය යන මානුෂීය අවශ්‍යතා මැද පීඩනයට - අසාධාරණයට ලක්වූ ගැහැනියකි. ඇය වියපත් සැමියකු සමඟ විවාහ වී ජපානයට යන්නේ මවු රටේ පෙම්වතා කෙරෙහි මැවූ සිහින බොඳවී යෑමෙන්, තරුණියක වශයෙන් අනාගත විවාහයකදී මුහුණ දෙන්නට සිදුවන සංස්කෘතිකමය හා සදාචාරාත්මක ප්‍රශ්න මඟහැර අලුත් ජීවිතයක් ගත කිරීමේ අපේක්ෂාවෙනි. එහිදී මවු රටේ සාහිත්‍යනය ඇසුරින් ගොඩනැඟු ‘ සකුරා මලින් පිරි සුන්දර ජපානයක්’ පිළිබඳ සිහිනද ඇය කෙරෙහි බල පැවැත්වූ බව පෙනේ.
එසේ වුවද ඇයගේ ඒ ‘සකුරා සිහින මාලිගය’ එක රැයින් බිඳ වැටෙයි. දෙවැනි ලෝක යුද්ධයෙන් විනාශ වූ ජපානය යළි ගොඩනඟන්නට දිවිහිමියෙන් කැපවූ පුරුෂ පරම්පරාවක ආධ්‍යාත්මීය ඛේදයේ පලයක් වූ නූපාගේ සැමියා, මසායා සං කෑම, බීම, වැඩකිරීම හැර අන් කිසිවක් දැන නොසිටියේය. ගැහැනියකගේ ඕනෑ එපාකම් කිසිවක් දැන නොසිටියේය. ඔහු ‘පවුල’ යනුවෙන් ඔළුවේ තියන් සිටියේ සාම්ප්‍රදායික මනස්ගාතයක් පමණි. නූපා සිය සැමියා සොයා ජපානයට ගොස් එහි ගත කරන මංගල රාත්‍රියේදී නිදි යහනට වී ඔහු එනතෙක් බලා සිටින්නීය. ඔහු ඇඟපත සෝදාගෙන අවුත් ඇඳට ගොඩවී වහා පොරෝනාවකින් ශරීරය වසාගෙන ක්ෂණයෙන් නින්දට සැරසෙන්නේ ‘හරි මහන්සියි... නිදිමතයි...’ කියාගෙනය. සුනරුත් පැතුම් සහිතව අනෙක් පස හැරී නින්දටවන් නූපා පසුදින සාම්ප්‍රදායිකව බිරියක ලෙසින් මුළුතැන්ගෙයි උදෑසන තේ පිළියෙල කරන්නට සැරැසෙයි.
උදෑසන අවදිවූ සැණින් මුළුතැන්ගෙට ඇතුළු වන මසායා සං කඩිමුඩියේ කට සෝදා ක්ෂණික ආහාරයක් කලබලයෙන්ම කටට දෙකට ගිල දමා ‘ගොඩාක් වැඩ තියෙනවා... ‘ කියා යන්නට සැරසෙන්නේ ‘එළියට යන්න එපා’, ‘කා එක්කවත් කතා කරන්න’ එපා යයි නූපාට අණ කරමිනි. අවසානයේ ජපානයේදීත් නූපාට සිදුවූයේ ස්වකීය මනඃකල්පිත ‘පෙම්බරා’ සමඟ ස්වප්න ලොවක සැරිසරන්නට පමණි. ජපානයට එන්නට පෙර සිටම ඇය ඒ ‘පෙම්බරා’ සමඟ විටින් විට පෙමින් වෙළුණාය. හිතට දුකක් පාළුවක් සාංකාවක් දැනුණු හැම විටෙකම ඒ ‘පෙම්බරා’ නූපා තනි නොකොට ඇය ළඟින්ම සිටියේය. සුමිත්‍රා රාහුබද්දගේ නවකතාවෙහි නිරූපිත ඒ ‘පෙම්බරා’ සමඟ ජපානයේ සකුරා මලින් පිරි වසන්තයක පෙමින් වෙළෙන්නට නූපාට හැකි වූවාය.
චිත්‍රපටයේදී වියපත් සැමියාගේ චර්යාවන් හමුවේ අසරණ වූ නූපා, නීත්‍යානූකූල ගෘහස්ථ වහලියක වූ බව ප්‍රබල ලෙස තහවුරු කරන්නට තිරනාටක රචිකාවියත්, අධ්‍යක්ෂවරයාත් සමත් වෙති. එතැන් සිට නූපා සිය ගෘහස්ථ වහල්කමින් මිදෙන්නට කරන අරගලය ජය ගන්නේ දරුවකු හදන්නටවත් වුවමනාවක් නැතිව බියෙන් සිටි මසායා සං නියම පිරිමියකු හා දයාබර පියකු බවට පත් කරවමිනි. නිදිපැදුරේදී හැමදාමත් කට්ටි පනිමින් සිටි මසායා සංගේ ඇඟ උඩ නැඟ ‘මට දරුවෙක් ඕනෑ’ යනුවෙන් කියා ආරම්භ කළ සටන ජයගන්නට ඇය කළ කාර්යභාරය සැබැවින්ම ස්ත්‍රීත්වයේ ශක්තිය ප්‍රකට කිරීමකි.
චිත්‍රපටය තුළ නූපා කෙරෙහි මෙන්ම ඇයගේ වියපත් සැමියා කෙරෙහි සිනමාකරුවා හෙළුෑ දයාබර දෘෂ්ටියද අතිශයින්ම මානුෂිකය. චිත්‍රපටය ආරම්භයේදී ඔහු තම බිරිය ඉදිරියේ දක්වන නරුම ස්වභාවය ප්‍රේක්ෂකයාගේ සිනහවට ලක් කෙරුණද, පිය පදවිය ලත් පසු ඔහුගේ හැසිරීම දෙස හෙළන දයාබර බැල්ම සානුකම්පිතය. මානව හිතවාදීය. එය ඔහු කෙරෙහි එබඳු සානුකම්පිත දෘෂ්ටියක් හෙළන්නට ප්‍රේක්ෂකයා පොලඹවන සුලුය. එසේම මසායා සං ගේ නිද්‍රාශීලිත්වය, ඔහුගේ නිදිගත් ආධ්‍යාත්මය තේරුම් ගන්නට. තරුණ වියේදී ඔහුට අහිමි වී ගිය පෙම්වතිය පිළිබඳ සංවේදී පුවත අසා ඒ දෙස දයාවෙන් බලන්නට නූපා පෙලඹෙන ආකාරයද, ඔහු මනෝ ව්‍යාධියකට ගොදුරු වූ අවස්ථාවේ දයාබර බිරියක ලෙස ඔහුට ඇප උපස්ථාන කරමින් දක්වන දයාව හා කරුණාව ඇයගේ මානුෂික ගුණ මතුකර පෙන්වීමකි. මනුෂ්‍යයන් සුදු සහ කළු චරිත ලෙස වර්ගීකරණයකින් තොරව, එක් එක් චරිත කෙරෙහි මානුෂිකව බලන්නට සහෘදයා යොමු කිරීම කලාත්මක නිෂ්පාදනයකදී සැබෑ නිර්මාණකරුවකුගේ ලක්ෂණ පෙන්නුම් කිරීමකි.