වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
රයිගම් ටෙලීස් අලංකාර රාත්‍රිය

කලා ක්ෂේත්‍රයන්හි නියැළි ශිල්පීන්ගේ දස්කම් ඇගයීම සඳහා සංවිධානය කරනු ලබන 21 වැනි රයිගම් ටෙලි සම්මාන උලෙළ අතිඋත්කර්ෂවත් අන්දමින් පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මේ සඳහා කලා ක්ෂේත්‍රයේ නළු නිළියන්, නිෂ්පාදක කණ්ඩායම්, කාර්මික ශිල්පීන්, මාධ්‍යවේදීන් සහ විවිධ ක්ෙෂ්ත්‍රයන්හි ආරාධිතයන් රැසක් සහභාගි වූහ.
පසුගිය 2024 වර්ෂයේ විකාශය වූ ටෙලිනාට්‍ය සඳහා ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන, ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන, වඩාත් ජනගත සම්මාන මෙන්ම ප්‍රේක්ෂක මත විමසුම අනුව ජනප්‍රිය සම්මාන මෙහිදී ප්‍රදානය කෙරිණි.
මෙහිදී වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයා සඳහා වූ සම්මානය, ජාතික රූපවාහිනියේ විකාශය වූ ‘වියළි’ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කළ චන්දන ඉරුගල්බණ්ඩාර හිමිකරගත් අතර, වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යයට හිමි සම්මානය ‘වියළි’ නිෂ්පාදිකාව වූ දිලූපා නිරෝෂනී ද අල්විස්ට හිමිවිය. වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නළුවාට හිමි සම්මානය හිමි වූයේ ස්වාධීන රූපාවාහිනියේ විකාශය වූ බැක්සයිඩ් ටෙලිනාට්‍යයේ නාරදගේ චරිතය රඟපෑ ප්‍රියන්ත සිරිකුමාරය. ජාතික රූපවාහිනියේ විකාශය වූ වියළි ටෙලිනාට්‍යයේ මාලාගේ චරිතය නිරූපණය කළ තරින්දි ප්‍රනාන්දු හොඳම නිළියට හිමි සම්මානය හිමි කරගත් අතර ස්වර්ණවාහිනියේ විකාශය වූ සුසුම් රස්තියාදුව ටෙලිනාට්‍යයේ ජීවන්තිගේ චරිතය රඟපෑ වත්සලා ජයසිංහ වසරේ නැඟී එන ටෙලිනාට්‍ය නිළිය ලෙස සම්මානයට පාත්‍ර විය.
වසරේ නැඟී එන ටෙලිනාට්‍ය නළුවා බවට පත්වූයේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ මීයා ටෙලිනාට්‍යයේ මනියාගේ චරිතයට ජීවය දුන් මන්රුචි සිරිවර්ධන ය.
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහාය නළුවා ලෙස වියළි ටෙලිනාට්‍යයේ කරුණාපාලගේ චරිතය නිරූපණය කළ සරත් කොතලාවලට සම්මාන හිමි වූ අතර, විශිෂ්ටතම සහාය නිළිය සම්මානය හිමි වූයේ එම නාට්‍යයේම කාන්තිගේ චරිතය නිරූපණය කළ චන්දිමා කරුණාදාසට ය.
නැටුම් ගැයුම් වැයුමෙන් මෙම සම්මාන රාත්‍රිය වර්ණවත් විය.