සිංහරාජය ගැන ලෝකයටම කියන අපේ සිත්තරාවිය

අප්‍රේල් 21, 2025

ඇය වෙනස්ම විදිහකට කලාව තුළින් සිංහරාජය ගැන ලෝකයටම කියන්න උත්සාහ කරන ව්‍යවසායිකාවක්. ඇගේ විස්මිත දෑතින් මැවෙන සිතුවම්වලට ලෝකයක්ම අාදරය කරන්නේ ඒ තරමටම ඒ සිතුවම් ජීවමාන නිසයි. ඉතින් ඒ නිසාම සිංහරාජයට මායිම්ව තියෙන ඇගේ පුංචි කඩෙන් පුංචිම හරි සිහිවටනයක් මිලදී ගන්න කවුරුත් අමතක කරන්නේ නැහැ. අද කතා බහ පින්සල් තුඩින් ලෝකයක් දිනන්න වෙර දරන ඒ අපූරු සිත්තරාවිය සමඟයි.

"මම ඉරේෂා සඳමාලි. මගේ ගෙවල් සිංහරාජය, කුඩව. ඒක සිංහරාජ වන රක්ෂිතයට මායිම්ව තියෙන පුංචි ගමක්. පොඩි කාලේ ඉඳලම අපේ ජීවිත බැඳිලා තිබුණේ සිංහරාජ වන අඩවියත් එක්ක. ඒ ගස් වැල්වලට සතා සිවුපාවට, කුරුල්ලන්ට අපි හරි ආදරෙයි. ඒ ආදරේ නිසාමද මන්දා මං හරි අාසයි පොඩි කාලේ ඉඳලම සත්තු අඳින්න. තාමත් ඒ ආසාව එහෙම්මමයි."

 

ඒ ආසාව නිසාමද සිංහරාජ වන අඩවි මායිමේ පුංචි කඩයක් දාගෙන චිත්‍ර අඳින්න හිතුවේ…?

ඒ අදහස මුලින්ම ආවේ මට නෙවෙයි. මගේ මහත්තයට. එතකොට අපි බැඳලා හිටියෙ නැහැ. මම කැම්පස් එකෙන් අවුට් වුණාට පස්සේ පොඩි පොඩි පාර්ට් ටයිම් ජොබ් කළා. මහත්තයත් සංචාරක කර්මාන්තය ගැන හොඳට දන්න කෙනෙක්. ඉතින් එයා කිව්වා ඔයාට හොඳට චිත්‍ර අඳින්න පුළුවන් නිසා අපි සිංහරාජයේ පොඩි කඩයක් දාලා චිත්‍ර ඇඳලා සිහිවටන විදිහට අලෙවි කරමු කියලා. මේ ගමන පටන් ගත්තේ එහෙම.

 

එතකොට ඔබ උපාධිධාරිනියක්?

මම පාසල් ගියේ කලවාන ගාමිණි මධ්‍ය මහා විද්‍යාලයට. මම උසස් පෙළටත් කළේ චිත්‍ර විෂයය. ඊට පස්සේ මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. චිත්‍ර කලාව පිළිබඳ උපාධිය මම අවසන් කළා. මට චිත්‍ර විෂයය ඉගැන්නුවේ සෙනරත් සර් සහ චමින්ද කුමාර කියන සර්ලා දෙන්නා. ඒ සර්ලා දෙන්නා මගේ හැකියාව වැඩි දියුණු කරගන්න තව උනන්දු කළා. කුරුල්ලෝ අඳින්න පටන් ගත්තේ නම් කැම්පස් එකේ අන්තිම අවුරුද්දෙදි.

 

ඇයි චිත්‍ර වගේ විෂයයක් තෝර ගන්න හිතුවේ?

පොඩි කාලේ ඉඳලම මම චිත්‍ර අඳින්න ආසයි. ඉතින් අම්මයි, තාත්තයි මාව හැම චිත්‍ර තරගයකටම එක්කන් ගියා. ඉතින් මම ගොඩක් තරග ජයග්‍රහණය කරලා තියෙනවා. තාත්තා සිරිපාල. අම්මා කුසුමලතා. මට අක්කයි මල්ලියි ඉන්නේ. අක්කා විවාහ වෙලා. මල්ලි පුද්ගලික ආයතනයක වැඩ කරනවා. මල්ලිටත් ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්.

චිත්‍ර තෝර ගත්ත එකට නම් ගොඩක් අය එච්චර හොඳ කැමැත්තක් පෙන්නුවේ නැහැ. චිත්‍ර තෝරගත්ත කාටවත් හරි ගිහින් තියෙනවද? චිත්‍ර කරලා කාටවත් හරි ගිහින් තියෙනව ද? වගේ දේවල් කිව්වා. හැබැයි දැන් හැමෝම මං ගැන සතුටු වෙනවා. ඒ සතුට මට ඇති.

 

ඔයාගේ මේ පුංචි කඩේ පටන් ගත්තේ කොහොම ද?

කුලී පදනම මත සිංහරාජ වන අඩවියට මායිම්ව පුංචි කඩයක් අපි ගත්තා. ඊට පස්සේ ඒ කඩේ සිතුවම් අඳින්න පටන් ගත්තා. ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ තමයි මම ගොඩක්ම අඳින්නේ. මොකද ගොඩක් විදේශිකයන් සිංහරාජයට එන්නේ කුරුල්ලෝ බලන්න. කැන්වස්වල, බෑග්වල, ටී ෂර්ට්වල, ගල් පතුරුවල වගේම ලී කැබලිවලත් මම මේ විදිහට සිතුවම් අඳිනවා.

කලින් ඇඳපු චිත්‍රත් කඩේ විකුණන්න තියලා තියෙන්නේ. ඒ වගේම එවෙලේ ඇඳලත් විකුණනවා. සමහර අය සිංහරාජ වන අඩවියේදී දැකපු කුරුල්ලෝ ෆොටෝස් ගහලා මට ගෙනල්ලා කියනවා ඇඳලා දෙන්න කියලා. එහෙම කියන අයට මම එවේලේම ඒ ෆොටෝ එකේ ඉන්න කුරුල්ලව ඇඳලා දෙනවා. මම පෝට්රේට් ආර්ට්සුත් අඳිනවා. ඒ අයට සිහිවටනයක් විදිහට එයාලගේ සජීවී සිතුවමක් මම ඒ මොහොතේදීම ඇඳලා දෙනවා.

 

උපාධියකුත් තිබියදී මේ වගේ ක්ෂේත්‍රයකට යොමු වෙන්න හිතුවේ ඇයි?

මේක හරි නිදහස් රස්සාවක්. කාගෙන්වත් බලපෑමක් නැහැ. අණ දෙන්න කෙනෙක් නැහැ. පීඩනයක් නැහැ. තමන්ට කැමැති විදිහට වැඩකරගෙන යන්න පුළුවන්. අනිත් එක සිංහරාජයට එන සංචාරකයින්ට මතක් වෙන්න සිහිවටනයක් අරන් යන්න කියලා ගෙනියන්න පුළුවන් දේවල් කවුරුත් මේ අවට අලෙවි කරන්නේ නැහැ. ඒ නිසා මට හිතුණා සිංහරාජයට ඇවිල්ලා යන අයට පුංචි මතකයක් අරගෙන යන්න පුළුවන් විදිහෙ දෙයක් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි මේක පටන් ගත්තේ.

 

මේ ව්‍යාපාරය ගැන අද මොකද හිතෙන්නේ?

මුලදී එක චිත්‍රයක්වත් විකිණෙන්නේ නැති දවස් තිබුණා. හැබැයි මම අල්ලගෙන හිටියා. දැන් හොඳ ආදායමක් ලැබෙනවා. ඒ වගේම සිංහරාජයට එන ටුවරිස්ට් ගයිඩ්ලව මතක් කරන්නම ඕනේ. මෙහෙට එන හැම බස් එකක්ම සිංහරාජය නරඹලා අනිවාර්යෙන්ම මගේ කඩේට එනවා. ඒ සංචාරක මඟපෙන්වන්නන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තමයි ඒ උදව්ව මට කරන්නේ. විදේශිකයින් මට හරි ආදරෙයි. අවුරුද්දකට කලින් මගෙන් ටී ෂර්ට් අරගෙන ගිය සමහර අය ඊළඟ අවුරුද්දේ එද්දිත් මාව බලලා යන්න අමතක කරන්නේ නැහැ. මගෙන් සිතුවම් අරගෙන ගිය සමහර විදේශිකයන් එයාලගේ මිතුරන්ටත් මං ගැන කියලා තිබුණා. ඒ මිතුරන් ලංකාවට එද්දි මාව හොයාගෙන ආවා. සමහර ගෙස්ට්ලා මාව හොයාගෙන ඇවිල්ලා කියනවා ඔයාගෙන් පේන්ටින් ගත්ත කෙනෙක් තමයි මට ඔයා ගැන කිව්වේ කියලා. සමහර සංචාරකයින් මාත් එක්ක චිත්‍ර අඳින්න ආසයි කියලා මගෙ කඩේට ඇවිල්ලා මාත් එක්ක චිත්‍ර ඇඳලා ඒකෙන් එයාලා ලොකු සතුටක් ලබනවා.

 

මේ හැමදේටම අත්වැලක් වූ සැමියා ගැනත් මතක් කරමු.

සැමියා රෝහණ වීරරත්න. එයා සංචාරක මඟපෙන්වන්නෙක් විදිහට වැඩ කරනවා. එයා සංචාරකයින්ව අරගෙන බොහෝ තැන්වල යනවා. ඒ නිසා මේ ක්ෂේත්‍රය ගැන එයාට හොඳ අවබෝධයක් තියෙනවා. මගේ වැඩවලට එයා ගොඩක් උදව් කරනවා. කැන්වස් බෝඩ් එහෙම එයා තමයි හදලා දෙන්නේ. එයා සිංහරාජයට සංචාරකයින් එක්කන් එද්දි එයාලව මේ කඩේට එක්කන් එන්නත් අමතක කරන්නේ නැහැ. දැන් අපිට මාස 8ක පුතෙක් ඉන්නවා. අම්මලා තමයි පුතාව බලාගන්නේ. හැබැයි මේ හැමදේම පිටිපස්සේ තියෙන්නේ මහත්තයගේ හයිය.

 

ඉදිරි සැලසුම් කොහොම ද?

මේ කඩේ ටිකක් අස්සට වෙන්න තියෙන්නේ. ඒ නිසා ගොඩක් පේනවා අඩුයි. එන ගොඩක් අය කියනවා මේ කඩේ ටිකක් පේන තැනක තිබුණා නම් තව සංචාරකයන්ගේ ආකර්ෂණය ගන්න පුළුවන් කියලා. ඒ නිසා ඉදිරියේදී මේ කඩේට වෙනසක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

 

 

[email protected]