වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
වියෝ ගීයකින් නැඟුණු සෝ සුසුම

ලාංකේය සිනමාවේ නිළි පරපුරේ සිවුවැනි යුගය නියෝජනය කරන වසන්ති චතුරාණි 1978 දී හාපුරා කියා සිනමාවට එක්වනුයේ සුමිත්‍රා පීරිස්ගේ ‘ගැහැනු ළමයි’ චිත්රුපටයෙනි. ජනප්‍රිය නවකතාකරු කරුණාසේන ජයලත්ගේ ‘ගැහැනු ළමයි’ නවකතාව ඇසුරින් නිර්මාණය කළ එම චිත්‍රපටයේ සමස්ත බර දරාගෙන සිටියේ එහි කුසුම්ගේ චරිතය නිරූපණය කළ වසන්ති චතුරාණීය.
චිත්තාකර්ෂණීය දෑසක් සමඟ වසන්ති චතුරාණිට තිබුණේ අතිශය සියුම් හැඟීම් දනවන සුලු අහිංසක , පියකරු මුහුණකි.ඇයගේ පළමු රංගනයෙන්ම ඇයගේ මුහුණේ ඉංගිතයන් සූර ලෙස කැමරාවට හසු කරගන්නට සුමිත්රාණ පීරිස්ට හැකි වෙයි. සුමිත්‍රා පීරිස් වසන්ති සොයා ගන්නේ ගම්පහ පාසල් ශිෂ්‍යාවක ලෙස ඉගෙනුම ලබමින් සිටියදීමය.
‘ගැහැනු ළමයි’ චිත්‍රපටයේ කුසුම් යනු දරිද්රාතාව හමුවේ විවිධ මානසික පීඩාවනට ලක්වූ තරුණියකි. එළවළු වටිටිය හිස තබාගෙන පාන්දරින් ගමේ පොළට ගොස් විකුණා එදිනෙදා ජීවනෝපාය සරි කර ගත් ඇගේ මවගේ කටයුතුවලට සහාය වෙමින් පාසල් අධ්‍යාපනයද අඛණ්ඩව කරගෙන ගිය කුසුම් පවුලේ සියලු බර කර ගසන්නේ පියකු හෝ වෙනත් පිරිමියකු එම පවුලට නොසිටි බැවිනි. ඒ සියලු බර කර තබාගෙන ජීවත් වූ ඇයට තිබූ එකම සහනය, කුඩා අවධියේ සිට කෙළිදෙලෙන් පසුවූ සිය ඥාති සොහොයුරකු වූ නිමල්ගේ ආදරය හා සෙනෙහස පමණි. එය ප්‍රේමයක් දක්වා ලියලද්දී නිමල්ගේ මවගෙ ඉල්ලීමට අනුගත වීම නිසා ඇයට ඒ ප්‍රේමය හකුලවා ගන්නට සිදු විය. තම පුතා අධ්‍යාපනයෙන් ඉහළම ජය ලබා දිසාපතිවරයකු ලෙස පත්වීම ලබද්දී කුසුම් වැනි දුගී තරුණියක සමඟ විවාහ කරගැනීමට මදිකමක් ලෙස සලකන නිමල්ගේ මව කුසුම් ඔහුගෙන් වෙන් කරන්නේ උපක්‍රමශීලී ලෙසය.
‘කුසුමේ මගේ කොල්ලව බේරල දීපන්..’ යනුවෙන් ඇය කරන ආයාචනාත්මක ඉල්ලීමට කුසුම්ට අනුගත වන්නට සිදුවෙයි.
‘උඹට කවදාවත් වරදින්නේ නෑ කුසුම්. උඹ ශීලාචාර ගැහැනු ළමයෙක්. උඹට දෙයියන්ගේම පිහිටයි. ‘
නැන්දාගේ ඒ වචනවලින් තම පෙම්වතා අතහැර දමා හිත හදාගන්නට කුසුම්ට සිදුවෙයි.
‘ගැහැනු ළමයි’ චිත්‍රපටය පුරාම විකාශනය වන්නේ කුසුම්ගේ දාරිද්‍රතාවයෙන් පිරුණු ජීවිතය තුළ ඇය අත්විඳි කටුකත්වයයි. ඒ කටුකත්වය මැද දිවි ගෙවන ඇය ප්‍රේමයෙන්ද ඈත්කරනු ලැබීම නිසා ඇයගේ ජීවිතය එකම ශෝකාන්තයක් වෙයි. එම ප්‍රේමය බිඳ වැටීමෙන් පසු අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මේ ශෝකය රස භාවයක් ලෙස මතු කරමින් ෙප්ර්ක්ෂක හදවත් හඬා වටිටවයි.
වියෝගී ගැයෙනා හදේ..
ආදර මල් නොමියේ ..
සදා මේ සංසාරෙ..
අපේ හමුවීම නොවේ
එම සංවේදී ගීතය චිත්‍රපටයේ අවස්ථා කිහිපයකම යොදා ගනිමින් යථොක්ත ශෝකය රසයක් ලෙස උත්කර්ෂයට නැංවෙන අතර එය ෙප්‍ර්ක්ෂකයා තුළ සජීවිව දනවන ප්‍රාණියා වන්නේ කුසුම් ගේ හෘදය විදාරණය කළ වසන්ති චතුරාණිය.
‘චිත්‍රපටයක චරිත නිරූපණයට එක්වන රංග ශිල්පියා හෝ ශිල්පිනිය අාධුනික වේවා. ප්‍රවීණ වේවා අදාළ චරිතයට අවශ්‍ය පරිදි භාව ලීලාවන් මතු කරගන්නේ අධ්යක්ෂවරයාගේ සියුම් මෙහෙයවීම් මගිනි. ඒ අනුව ‘ ගැහැනු ළමයි ‘ චිත්‍රපටයේ කුසුම් ලෙස වසන්ති මෙහෙයවාගත් ආකාරය පිළිබඳ අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් වරක් මා සමඟ මෙසේ පැවැසුවාය.
‘‘වසන්ති හොඳින් දෙබස් උච්චාරණය කළා. ඒත් රීහසල් එකේදී නොතිබුණු බියක් චකිතයක් පළමු රූපගත කිරීම ආරම්භ කළ මොහොතේ දී වසන්තිට තිබුණා. මුලින් අපි රූපගත කළේ ගමේ දර්ශනයක්. එහිදී වසන්ති හිටියේ රෙද්දයි හැට්ටයයි හැඳලා. ඒ රූපගත කිරීමේදී ඇයට දැනුණු අපහසුව තේරුම් ගත් ඩොක්ටර් පීරිස් යෝජනා කළා රූපගත කිරීම ඇයගේ පාසලින්ම පටන් ගනිමු කියා. ඒ උපක්‍රමය හරි ගියා. වසන්ති පාසල් ඇඳුමින් හොඳින් රඟපෑවා. බියක් චතිතයක් නැතිව කැමරාවට මුහුණ දුන්නා.
වසන්ති මෙහෙයවා ගන්න මං යොදාගත්තේ සියුම් උපක්‍රමයක්. එයාගේ ඇතුළතින්ම කුසුම්ගේ චරිතය දැනුණු හැටි එළියට ගන්නැයි මට ඕනෑ වුණේ. කුසුම්ගේ හැඟීම් දැනීම් වසන්ති ගේ මුහුණින් හොඳටම පිළිබිඹු වුණා. දුක්බර අවස්ථාවලදී ඇයගේ දෑසට ඇත්තටම කඳුළු ඉනුවා. කොයිම අවස්ථාවකදීවත් වසන්තිගේ දෑසට කඳුළු නංවන්න මං ග්ලිසරින් පාවිච්චී කළේ නෑ. ‘’
සුමිත්‍රා පීරිස්ව උත්සාහය සහ අභිප්රාඉය ඉහළින්ම සාර්ථක වූ අයුරූ ‘ගැහැනු ළමයි ‘චිත්‍රපටය පුරාම වසන්තිගේ රංගනය තුළින් පැහැදිලිවම දැකිය හැකි විය. ‘ගැහැනු ළමයි’ චිත්‍රපටය පුරා ඇය නඟන සුන්දර හසරැල්ලක් තුළින් ෙප්‍ර්ක්ෂකයා තුළ දනවන ආනන්දය ක්ෂණයෙන් ඇයගේ දෙකොපොල් දිගේ රූරා වැටෙන කඳුළු වැල් ඔස්සේ හද පාරවන වේදනාවක් බවට පත් වෙයි. චිත්‍රපටය පුරා දිස්වන සියලු ආනන්දයන් හා වේදනාවන් තුළින් ප්‍රේක්ෂක හදවත් හඬා වට්ටවන්නට වසන්තීට හැකිවන්නේ ඇයගේ අතිශය සුසංවේදී භාව ලීලාවකිනි. කුසුම් අත්විඳී සියලු දුක්ඛදෝමනස්සයන් ඇය ස්වකීය සාත්වික අභිනය තුළ නාභිගත කළේ පළපුරුදු චරිතාංග නිළියක ලෙසිනි.
PIX BY - දයාන් විතාරණ