බලු පැටියාව ගෙදරම කෙනෙක් කරගන්නේ කොහොමද?

එයාලටත් පාළුව, කාන්සිය, විශාදය හැදෙනවා
අගෝස්තු 22, 2022

 

සුරතල් බලු පැටවකු නිවෙසට ගේන්නේ ආශාවෙන් හිටියේ. ඔන්න, සුරතලා නිවෙසට ගෙන ආවා. දැන් ඉතින් මේ සුරතල් යාළුවා නිවෙසේම සාමාජිකයෙක් කරගත යුතුයි. අද අපි කියන්නේ බලු සුරතලා ඔබේ නිවෙසේ සාමාජිකයෙක් කරගන්නේ කොහොමද කියලායි.

ඇත්තටම මේ පුංචි සුරතල් පැටවු නිවෙසට ගෙන ආ වේලේ පටන් ම හරිම මානසික ව්‍යාකූලතාවයක තමයි ඉන්නේ. මොකද එයාව එයාගේ අම්මගෙන් හිටපු පුරුදු පරිසරයෙන් වගේම රැලේ සහෝදර සහෝදරයන්ගෙන් වෙන්වෙලා ඉන්න නිසයි. මෙපමණ කලක් මවගෙන් කිරි බීලා අනෙක් සහෝදර පැටව් සමග රණ්ඩු වෙලා සෙල්ලම් කර කර හිටපු සියල්ල අහිමි වෙලා. ඉතින් එකපාරටම ඔබේ නිවෙසේ අලුත් පරිසරයට එයාව හුරු වෙන්නේ නැහැ.

කොච්චර කාලයක් යනවද ඔබට හුරුවෙන්න කියන දේ තීරණය වන්නේ ඔබේ අවධානය මතයි. ඇත්තටම ඔබට පුදුමත් හිතෙයි නේද මේ පුංචි සුරතල් සතුන්ටත් විෂාදය, පාළුව, කාන්සිය දැනෙනවා කීවාම. මේ පුංචි සතා ඔබේ හුරතලයට ඔබේ පරිසරයට හැකි ඉක්මනින් හුරුපුරුදු කර ‍නො ගතහොත් එයාගේ ජීවිත කාලයම මේ මානසික ව්‍යාකූලතාව තියෙන්න පුළුවන්. කොහොමද අපි මේ සුරතල් සුනඛ පැටවාගේ මානසික ව්‍යාකූලත්වය නැතිකරගන්නේ? ඒකට හොඳම පළමු විසඳුම එයා එක්ක නිතරම කතා කිරීමයි. එහිදී ගෙදර සාමාජිකයන් හඳුන්වාදීම හරිම වැදගත්. මේ ඉන්නේ අම්මා, තාත්තා. මේ ඉන්නේ අයියා, අක්කා. මේ නංගී, මල්ලී. අන්න ඒ විදියට නම කතා කළ සැණින් ඔවුන් ළඟට යන්න පුරුදු වෙනවා. ඔබේ සුරතලා ආදරණීය වන්නේ ඔබ මෙලෙස කටයුතු කළ පසුවයි.

තවත් ප්‍රධාන දෙයක් තමයි ඔබේ නිවෙසේ වෙනත් වැඩිහිටි සුනඛයකු සිටීම. මේ දෙදෙනා නිවෙසේ ඇති දැඩි වන තාක් රණ්ඩු කරගන්න ඉඩ තියෙනවා. එසේ වුවහොත් එහි සම්පූර්ණ වරද ඔබේ අතේ. යම්කිසි සත්ත්වයකු ගෙදරට ගෙන ඒමේ දී පළමුව ඒ සතාව ගෙදර සිටින පෙර සතාට නිසි ලෙස හඳුන්වා දිය යුතුයි. එය ක්‍රමානුකූලව සිදු වන්නට ඕනේ. එමඟින් සතුන් දෙදෙනා දෙදෙනාට දක්වන ඊර්ෂ්‍යාව නැති වෙනවා. සතකු වුවද තමන්ට කලින් ලැබුණු ආදරේ බෙදී යන විට වෛර සහගත සිතිවිලි ඇති කර ගන්නවා. ඒත් ඔබ ආදරය බෙදා දක්වමින් ඔවුන් සමඟින් ගනුදෙනු කළ යුතු වෙනවා.

එහිදී පෙර සිටි සුරතලාට මුලින්ම ආහාර දීම සෙල්ලම් කිරීම වගේ දේ කළ යුතුයි. අලුත් සූනඛ පැටවාට වඩා පරණ සුනඛ සුරතලාව නිවෙසේ විශේෂ තැනක් තිබෙන බව ඒත්තු ගැන්විය යුතුයි. නැතිනම් තමන්ගේ තැන ගත් අලුත් සූනඛ පැටවා ඔබ නිවෙසේ නොමැති වෙලාවට හිරිහැරයට ලක් වන්නට පුළුවන්. එවැනි අත්දැකීම් හරිම සාමාන්‍යයයි. සමහරවිට ඔබ මේ වනවිටත් අත්විඳ ඇති.එය ඔබ පරණ සුරතලාට අලුත් සුනඛ සුරතලා නිවැරැදිව හඳුන්වාදීම කළහොත් කිසිසේත්ම අමිහිරි අත්දැකීම්වලට මුහුණ පෑමට සිදු නො වේවි. දෙදෙනාටම එකම වෙලාවක දී එකම ආකාරයකට එකම ස්ථානයක ආහාර දීම සිදු කිරීම මේ සඳහා කදිම විසඳුමකි. මෙහෙම කටයුතු කළහොත් ඔබේ නිවෙසේ මේ සුනඛ පැටවා බොහොම ආදරණීය ව ඇති දැඩි වේවි. එතකොට ඔබටත් සුනඛ පැටියාත් සතුටින් කාලය ගතකළ හැකිවේවි.

උපදෙස්

පශූ වෛද්‍ය

නුවන් වික්‍රමසිංහ

Dr. pet Hospital