වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
හොඳ පසක් ලස්සන මල් ගොමුවක්

පිනි තැවරිච්ච ලස්සන රෝස කුසුමක් ගෙමිදුලට රැගෙන එන චමත්කාරය හරිම පුදුමාකාරයි. සිත වසඟ කරන අලංකාර රෝස පඳුරක් වගා කිරීම තරමක අභියෝගයකි. නමුත් සුදුසු දේශගුණික තත්ත්ව යටතේ නිවැරදි වගා මාධ්‍යයක් තුළ එය සිටුවා ගතහොත් නෙත සිත පිනවන සොඳුරු රෝස යායක හිිමිකාරිනියක් වන්නට ඔබටත් පුළුවනි.
දේශගුණය
ශීත දේශගුණික තත්ත්වය රෝස වගාවට බෙහෙවින් හිතකරය. එබැවින් ශීත දේශගුණයක් සහිත ප්‍රදේශවල රෝස ශාකය පහසුවෙන් වැවිය හැකි අතර එමඟින් ඉහළ ගුණාත්මක බවින් යුතු රෝස මල් ඔබට නෙළා ගත හැකියි.
පස තෝරා ගැනීම
බොහොමයක් රෝස වර්ගවල රෝගී තත්ත්ව සඳහා හේතු වන්නේ එය වගාකරන වගා මාධ්‍යය එහෙමත් නැතිනම් පසයි. මන්ද මේ පස තුළ ජීවත්වන විවිධ ජීවීන්ගෙන් ශාකයට හානි සිදුවිය හැකි අතර පසේ ගුණාත්මක බවත් ශාකයේ හානියට බලපානු ලැබේ. එබැවින් වෙනත් වගාවන්ට මෙන් නොව රෝස වගාවට පස සකස් කිරීම සහ පොහොර යෙදීම වැඩි අවධානයකින් කළ යුතු වේ.
රෝස වගාවකට සුදුසු පසක් තෝරා ගැනීමේ දී ජලය හොඳින් උරාගන්නා එහෙත් ජලය වැඩි වේලාවක් රඳා නොපවතින පස් තෝරා ගැනීම ඉතාම සුදුසුය. විෙශ්ෂයෙන්ම රතු මැටි පස රෝස වගාවට වඩාත් සුදුසු වේ. පස හොඳින් පෙරළා පස් කැට පොඩි කොට පොහොර එක්කර ගොම, කොම්පෝස්ට් වැනි ද්‍රව්‍ය නියමිත පරිදි යොදා ගනිමින් පාත්ති සකසා ගන්න.
වගා මාධ්‍යයට දිලීර නාශක එක් කිරීම
මෙලෙස වගා මාධ්‍යය සකසා ගත් පසුව රෝස දඬු සිටුවිය හැකියි. එහිදී දඬු සිටුවීමට සතියකට පෙර පසට සුදුසු දිලීර නාශක දියරයක් එකතු කිරීම අනිවාර්ය වේ. මන්ද පසේ ඇති අහිතකර දිලීර හේතුවෙන් රෝස දඬු පැළ නොවීමට ඉඩ ඇති අතර ඇතැම් විට පැළ වූ කුඩා රෝස පැළවල මුල් කුණුවීම සිදුවිය හැකිය. එයට පිළියමක් ලෙස පැළ සිටුවීමට පෙර දියරමය දිලීර නාශක පසට යෙදීම කළ යුතුය.
එමෙන්ම රෝස මල් සිටුවීමේ දී පසේ PH අගය 6.5 - 7.5 අතර තිබීම වඩාත් සුදුසු අතර පැළ සිටුවන කාලයේ දී පසට පොහොර යෙදීම සුදුසු නැත. එමඟින් පසේ PH අගය වෙනස් වීමෙන් අලුතින් සිටවූ රෝස දඬුවල මුල් කුණු වී පැළ මියයාම දැකිය හැකියි.
උපදෙස් -
කෘෂි විද්‍යාඥ, කථිකාචාර්ය
ඩබ්.යූ.එල්. අඹගස්පිටිය