විශාලතම පෞද්ගලික පලතුරු වත්ත හදපු පුදුම කතාව

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය රටටම හෙළි කරයි
නොවැම්බර් 9, 2021

 

අපේ අත්තගේ මේ මහ ගෙදර අවුරුදු 100 කට වඩා පරණයි

 

මේ ගෙවත්තේ විවිධ පලතුරු ශාක 300 - 400ක් වගේ තියෙනවා

 

හැම ශාකයකම එහි නම, උද්භිද විද්‍යාත්මක නාමයත් එක්ක සටහනක් යොදලා තියෙනවා

 

වලාකුළින් බැස

සමන් කුළත් වැඳ

එලෝ බලා යනවා

අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු

හඬ හඬා ඔහේ යනවා...

 

අර්ථවත් වූ එම පදපෙළ එකවරම මගේ මතකයට නැඟුණේ නිරායාසයෙනි. එයට පූර්විකාව වන්නේ මා දකින කැලණි ගං කොමලියගේ දසුන් පෙළ පමණක් නොවේ. මේ ගමනේදී හමුවන කතා නායකයා ද ගඟක් තරමට ගැඹුරු මිනිසෙක් නිසාවෙනි.

සමන් කුළෙන් බැස එන කැලණි ගඟත්, ඔහුගේ ජීවිතයත් සමාන්තරව විවිධ හැඩතල මවමින් ගලා යන්නේ අපට බොහෝ පාඩම් කියා දෙමිනි.

අපගේ ගමනේ අවසානය රුවන්වැල්ල නගරයට ඇත්තේ කොළඹ සිට කිලෝමීටර් 90ක් පමණ දුරකි. ඔහු සොයා යන ගමනේ අවසානය ළංවෙන විට හිරු අවරට යන්නට හෝරා කිහිපයකි. කරවනැල්ල නගරය ආසන්න වෙනවිටම මගේ නෙත ගැටෙන්නේ ලොව පුරාම වූ දසුනක සටහනකි. ඒ කරවනැල්ල පාලම අසලෙන් නෙත ගැටෙන සොඳුරු කඳු පන්තියයි.

සමනල සිරිපා සිඹිමින් ගලා ගැලෙන කැලණි ගං කොමලියගේ හැඩ ගමනේ විඩාව මැකී යන්නේ දර්ශනීයම පසුතලයන් අතුරින් එකක් මවමිනි.. එහි සිට තවත් කිලෝමීටර් 2ක් ගොස් අප ගමන අවසන් කළේ රුවන්වැල්ලේ, වැන්දල පැරැණි සුවිසල් මැඳුරක් අසලිනි.

අපේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි ඔහු අප පිළිගන්නට ඉදිරියට පැමිණියේ හෘදයාංගම ලෙසිනි.

මේ අප කවුරුත් දන්නා හිටපු අමාත්‍ය වත්මන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ නිවහනයි.

අප මේ පිළිසඳරට මුලපුරන්නේ ඒ පරිණත දේශපාලනඥයාගේ ජීවිතයේ තවත් එක් අපූර්වතම පැතිකඩක් පිළිබඳව ඔබට හෙළිදරව් කිරීමටයි.

"අපි මුලින්ම ගෙවත්ත බලන ගමන්ම කතා කරමු." ඔහු අපට යෝජනා කළේ කාලය ඉතිරිකර ගැනීමේ අපේක්ෂාවෙනි.

"ඔව්... එහෙම හොඳයි. වත්ත නැරඹීමේ ආසාවෙන් අපි ගමනට සූදානම් වීමු.'' දමිත් කැමරාව සූදානම් කර ගත්තේ ඒ් දසුන් කාචයට හසු කර ගැනීමේ අපේක්ෂාවෙනි. .

දැන් මා සමඟ ඇවිද යන්නේ අපේ රටේ නියෝජ්‍ය කතානායක නම් ගාම්භීර චරිතය නොවෙයි. රංජිත් සියඹලාපිටිය නම් ගොවි මහතෙකි.

"මේ වත්තට ලොකු ඉතිහාසයක් තියෙනවා." ඔහු කතාව ඇරැඹියේ අතට හුරු පිහියක් ද ගනිමිනි.

"අපි පරම්පරාවෙන්ම ගොවියෝ... අත්තලා, මුත්තලා, ඔක්කොම මේ ගමේ පාරම්පරික වගාකරුවෝ. මේ වත්ත අක්කර 15ක් විශාල ඉඩමක්. අපේ අත්තගේ මහ ගෙදර තමයි මේක. මේ ගෙදර අවුරුදු 100 කට වැඩි පරණයි."

"එතකොට මේ පලතුරු වත්ත වගා කරන්න පටන් ගත්තේ..." මා ඔහුගේ කතාවට බාධා කළේ එය වඩාත් හොඳින් දැනගැනීමේ අදහසින්.

"මම පුංචි කාලේ ගමේ පාසලට ගිහින් ඊට පස්සේ කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණා. ඊට පස්සේ උසස් පෙළ සමත් වෙලා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කරලා කළමනාකරණ රාජ්‍ය පරිපාලනය පිළිබඳ පංති සාමාර්ථයක් ඇරගෙන තමයි ආපහු ගමට ආවේ. ඒ ඇවිත් ඉන්න කාලේ දී තමයි මට සහකාර පොලිස් අධිකාරි තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටින්න අවස්ථාව ලැබෙන්නේ. හැබැයි සියලු සුදුසුකම් සපුරා ඇති මගේ නම දේශපාලන හේතු මත කැපී යනවා. මම රැකියා සෙවීම අතහැරලා සම්පූර්ණයෙන් ගොවිතැනට යොමු වුණා. ඉන්පස්සේ මගේ සම්පූර්ණ ජීවන වෘත්තිය වුණේ වගාව. ලංකාව් තියෙන ලොකුම තේ, පොල්, රබර් පැළ තවාන ආරම්භ කළේ මමයි.

මේ රසවත් කතාව සංවාදය මඳකට නතර වෙයි. ඔහු අපට ගසක් පෙන්වයි. "මේ තියෙන්නේ නිල් වෙරළු ගහක්. ඇත්තටම මේ සෑම පලතුරක්ම ඉතාම දුර්ලභයි. ඒ හැම ගහක් යටම එහි නම උද්භිද විද්‍යාත්මක නාමයත් එක්ක සටහනක් යොදලා තියෙනවා. ඒක තමයි මේ වත්තේ වෙනස. ඉස්සර මම ඉස්කෝලේ යන කාලේ පටන්ම ගහ කොළට පුදුම ආදරෙයි. මම කිසිම දවසක තෑග්ගකට සෙල්ලම් බඩුවක් ඉල්ලලා නැහැ. එක්කෝ පොතක්, එහෙමත් නැත්නම් පැළයක් තමයි ඉල්ලන්නේ. ඒ පුරුද්ද මගේ ජීවිතයට බද්ධ වුණා. එහි ප්‍රතිඵලයක් හැටියට දැන් මේ ගෙවත්තේ විවිධ පලතුරු ශාක 300 - 400ක් වගේ තියෙනවා. දැනුත් මම කොයි තරම් කාර්යය බහුල වුණත් ගෙදර ආපු ගමන් මේ වත්ත වටේ රවුමක් යන එක තමයි ලොකුම සතුට. ඒක මනසට පුදුම සහනයක්. හරියට භාවනාවක් වගේ හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා පුදුම සැනසීමක් ලැබෙනවා. උදේට මම අමුතුවෙන් එක්සසයිස් කරන්නේ නැහැ. පිහියක් ගන්නවා.... ගස් වටේ තියෙන පොල් අතු, කොළ අයින් කරන ගමන් වත්ත වටේම ඇවිදිනවා. ඒක තමයි මගේ ව්‍යායාමය.‘‘

වෙලා පුදුම සැනසීමක් ලැබෙනවා. උදේට මම අමුතුවෙන් එක්සසයිස් කරන්නේ නැහැ. පිහියක් ගන්නවා.... ගස් වටේ තියෙන පොල් අතු, කොළ අයින් කරන ගමන් වත්ත වටේම ඇවිදිනවා. ඒක තමයි මගේ ව්‍යායාමය.‘‘

ඔහු යළිත් ගසක් ළඟ නවතියි.

‘‘මේ තියෙන්නේ ඇපල් ගහක්. අපේ දේශගුණයට ඇපල් ගස් හැදෙන්නේ නැති වුණාට මම ඇපල් ගහක් හැදුවා. මේ පාර මේ ගහෙන් ගෙඩි ගන්න පුළුවන් වෙයි. මේ වත්තේ අනෝදා කුලයේ හැම ගහක්ම තියෙනවා. සීනි අනෝදා, කටු අනෝදා, වැලි අනෝදා, නුවර අත්තා. ඒ විතරක් නෙමෙයි චෙරි, මොර ඒ වගේ පලතුරුවල විවිධ ප්‍රභේද රාශියක් තියෙනවා.

තවත් අපි විශේෂ සද්කාරක සේවයක් සිදු කරනවා. අපි මේ වත්ත සති අන්තයේ පාසල් දරුවන්ට නොමිලයේ නරඹන්න අවස්ථාව ලබාදෙනවා. ඒ වගේම ඒ හැම දරුවකුටම පොතක්, මඟ පෙන්වන උපදේශනයක් නොමිලේ ලබා දෙනවා. ඒ කිසිම දෙයකට මුදලක් අය කරන්නේ නැහැ.

මී මැසි පෙට්ටි කිහිපයක්ම තියෙනවා. ස්ට්‍රෝබෙරි පවා මේ වත්තේ හැදෙනවා. හැබැයි මේ ප්‍රදේශයට වැස්ස තරමක් වැඩි නිසා ගෙඩි හැදෙන එක ටිකක් අඩු වුණා.‘‘

‘‘මේ තියෙන්නේ අපේ පැළ තවාන.... මේ පැළ තවානෙන් ඕනෑම කෙනෙකුට පැළ ලබා ගන්න පුළුවන්. ලාභයක් නැතිව පලතුරු පැළ වියදම විතරක් ආවරණය වෙන ආකාරයෙන් අය කරලා අලෙවි කරනවා. පොදු ස්ථානවලට හා ආගමික ස්ථානවලට නොමිලේ පැළ බෙදා දෙන වැඩසටහන් තියෙනවා. ඒ ව්‍යාපෘතියේ නම 'රකිමු ලක් පලතුරු' කියන ව්‍යාපෘතිය. ඒකට මට මිත්‍රයෝ හතර දෙනෙක් උදව් කරනවා. ඇත්තට මේ ව්‍යාපෘතියේ අරමුණ අපේ රටේ තව අවුරුදු කිහිපයකින් දකින්නට නැති වෙන පලතුරු වර්ග රැක ගැනීමයි.

"ඇත්තටම.... අපේ රටේ වතුවල පලතුරු වගා කරනවානේ. ඇයි ඒ වගාව ටික කාලයකින් අසාර්ථක වෙන්නේ..." මා විමසුවේ ඔහුගේ සාර්ථකත්වය සැමටම ඉතාම වැදගත් බැවිනි.

"අපේ රටේ බොහෝ පලතුරු වගා අසාර්ථක වෙන්නේ පසු විපරමක් නැති නිසයි. ඇත්තටම අපේ රටේ වගා කරන විදිහට දැන් කොන්ගෝ වනාන්තරය වගේ වෙන්න ඕනනේ. ඒත් එහෙම වෙලා නැහැ. හැම වගාවම සාර්ථක නොවන්නේ ඒ නිසයි. මේ බලන්න... මේ වත්තේ රඹුටන් වර්ග, පේර වර්ග රාශියක් තියෙනවා.‘‘ ඔහු හාත්පස සිසාරා බලමින් පවසයි.

"මේ වත්ත සම්පූර්ණයෙන් කිලෝ මීටරයයි මීටර් 300ක් තියෙනවා. සමහර දවස්වලට මේ වත්ත වටේ වට පහක් විතර මම ඇවිදිනවා. එතකොට හොඳට ඇඟට දාඩිය දානවා." ඔහු මඳකට නතර වී පොල් අත්තක් කපයි.

"මේ පරිසරයට සියඹලාපිටිය මැතිතුමාගේ දරුවෝ දෙන්න එහෙම කැමැති නැද්ද?"මා විමසුවේ ගමනේ අවසන් අඩි කිහිපයට ළංවෙන විටය.

"දුවලා දෙන්නා ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ. ඒ ගොල්ලෝ ඇත්තටම ගත කරන්නේ සරල ජීවිතයක්. අපේ මේ සංකීර්ණ කාර්යය බහුල දේශපාලන ජීවිතයට හුරු වෙලා නැහැ. ඒ නිසා දුවලා දෙන්නා හුඟක් දුරට ගමට එනවා අඩුයි."

"ඔබ ඇත්තටම හරිම අවිවේකී චරිතයක්නේ... කොහොමද මේතරම් අවිවේක ජීවිතයක් ගතකරමින් මෙවැනි දෙයකට යොමු වෙන්නේ?"

"විවේක කාලය කියන එක අපි ගණන් හදන්නේ පැය 12ක් විතර නිදාගන්න ඕනේ කියලානේ. පහ වෙනකොට ගෙදර යන්න ඕනේ. ඊට පස්සේ විවේක ගන්න ඕනේනේ. ඇත්තටම දේශපාලන චරිතයකින් මිනිස්සු අපේක්ෂා කරන්නේ එසේ. ව්‍යවස්ථාදායකය, නියෝජ්‍ය කතානායක හැටියට මම හැම පාර්ලිමේන්තු දවසකම පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි. ඒක මට පැවරුන විශාල වගකීමක්. දෙවැනි එක සංවර්ධනය ගෙනඑන එක. අපි වැනි රටකට ඒක ඉතාම වැදගත්.

සංවර්ධනය කොයි ආකාරයෙන් ගමට ගෙන එන එක අපේ වගකීමක්. ඒ වගේම තමයි අපේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා දුකේදී සැපේදී මන්ත්‍රීවරයා සිටීම. මල ගෙදර වෙන්න පුළුවන්, මඟුල් ගෙදර වෙන්න පුළුවන් හැම දෙයකම අපි සහභාගිවීම අපේක්ෂා කරනවා. මම ඒ හැම මලගෙදරකටම දිස්ත්‍රික්කයේම කොහොම හරි යනවා."

සමුගැනීමට මොහොතකට පෙර ඔහුගෙන් විමසුවේ වර්තමානයේ ඔහු දරන නියෝජ්‍ය කතානායක තනතුර පිළිබඳවයි. එයටද ඔහු පිළිතුරු දුන්නේ හරිම සැහැල්ලුවෙන්...

‘‘මගේ ජීවිතේ කිසිම දෙයක් ගැන පසුතැවීමක් නැහැ. මට දේශපාලන ලොකු පරම්පරාවක් නැති වුණත් දිගු ගමනක් පැමිණියා. කෑගල්ල දිස්ත්‍රික්කයේ මම තව්තිසාව නිර්මාණය කළේ නැහැ. නමුත් අනෙක් දේශපාලන චරිතවලට වඩා යමක් කරලා තියෙනවා. ඒක මට සතුටක්. මිනිස්සු කිසිම දවසක මම ගෙදර තිබ්බේ නැහැ. විවිධ අභියෝග මැද මිනිස්සු මට සැලකුවා. දේශපාලනයෙන් මට ලැබුණු දෙයින් මගේ යුතුකම ඉටු කරනවා. කෝවිඩ් සමයේ වුවත් හැම මලගෙදරකටම ගිහින් දුක බෙදා ගන්නවා. හැකි අයුරින් සංවර්ධන කරන අතර හැකි හැම වෙලාවෙම ගමේ ඉන්නවා. ඡන්ද කාලයේදී මට බැනුම් අහන්න වෙන්නේ නැහැ.

මම කිසිම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව හැම කෙනෙක්ම මනුස්සයෙක් ලෙස සැලකීම තමයි මගේ ප්‍රතිපත්තිය. දැයට කිරුළ වැනි දැවැන්ත වැඩසටහන් කරන්න පුළුවන් වුණේ විශාල අභියෝග මැදයි. ඒ හරහා විශාල සංවර්ධනයක් කළා.

ඇත්තටම දේශපාලනය වගේම මගේ මේ පැළ තවානේ සාර්ථකත්වයටත් හේතු වුණේ හෙමින් දුර ගමනක් පැමිණීමයි. මට පළමු රැකියාව අහිමි වෙද්දී ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළටම ගියා. ඒ වගේම දේශපාලනයත් එලෙසමයි. දේශපාලනයේ මොන අභියෝගයක් ආවත් මම රටටම වැඩ කළා වගේ තමයි මේ අභියෝග මැද මේ ප්‍රදේශයේ මිනිස්සුන්ට යමක් කිරීම. මම එල්. ටී. ටී. ඊ. මරණ ලැයිස්තුවේ නව වැනි තැනට ඉඳලත් බේරුණා. ගෙදර මහජන දිනය කළා. ඇත්තටම කිසිම දෙයක් ගැන මට දුකක් නැහැ." ඔහු ජීවිතය දකින්නේ එලෙසිනි.

ගමේකම පිරි ඔහුගේ නිවහනේ අප සමුගත්තේ හරවත් වූ කතාබහකට සමු දිය යුතු නිසා මිස සමු දෙන්න සිතුණු නිසා නොවේ.

එවිට මගේ සිහියට නැවතත් මතක් වූයේ මගේ මතකය ආ ගීතයේ අවසන් පද පෙළයි.

එදා රටේ මේ දනෝ තැනින් මා

‍තැනින් තැනේ රඳවා

මගෙන් වැඩක් ගෙන මටත් වැඩ කොට

නමක් ලොවක් තැබුවා...

 

 

ඡායාරූප - දමිත් තිලාන් කුමාර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.