කහ පාට ගෙනෙන කවුද මේ නිශාදි?

ලංකාවේ කහ, ඉන්දියාවේ කහවලට වඩා ගුණයෙන් ඉහළයි
ජූලි 25, 2022

 

රසය, ගුණය වගේ ම කහ පාට දෙන එක්කෙනා කිව්වම කවුරුත් දන්නවා එයා ‘කහ’ කියලා. සංස්කෘත භාෂාවෙන් කහ හඳුන්වන්නේ ‘නිශාදි’ කියලා. නිශාදි, නිශාදි වගේම ලස්සනයි. ඒ කහ පාට නිසාමයි.

ලෝකයේ බොහෝ රූපලාවණ්‍ය නිෂ්පාදනවලට ප්‍රධාන ම අමුද්‍රව්‍ය වන, ඒ වගේම නොම්බර එකේ විසබීජ නාශකයක් ද වන කහ අක්මාව සුරකින දිව්‍ය ඖෂධයක්. ඒ හින්දා ම ආහාර සඳහා කහ යොදාගන්න නම් අමතක කරන්න එපා.

 

පවුලක අවශ්‍යතාව

කහ දියර ගැන අමුතුවෙන් ඔබට කියන්න උවමනා නැහැනේ. කහ, සාමාන්‍ය මාසික අවශ්‍යතාව එක් පවුලකට ග්‍රෑම් 120ක් පමණ වෙනවා. ඒ කියන්නේ, ඔබ ගෙදරක සාරවත් කහ පැළ පහක් හිටව ගත්තොත් වසරේ අවශ්‍යතාව ඔබට ඒකෙන් ම සපුරා ගන්න පුළුවන්. ඉතින් ගෙවත්තක කහ පැළයක් හදන එක මහ කජ්ජක් නෙවෙයි.

ශ්‍රී ලංකාවේ ඕනෑම පළාතක ගෙවත්තක් මේ සඳහා සුදුසුයි. වගාවක් විදිහට කරනවා නම් මීටර් 1500ට වඩා අඩු උසක් වීම වඩා හොඳයි. ආහ්! මට කියන්න අමතක වුණා. ලංකාවේ කහ, ඉන්දියාවේ කහවලට වඩා ගුණයෙන් ඉහළයි. හැබැයි පාට වෙනස්. ලංකාවේ කහවල curcumin කියලා වර්ණක ජාතියක් තියෙනවා. ඉන්දියාවේ කහවල curcumin අඩුයි. ඒ නිසා ගෘහණියක් විදිහට ඔබ කහ යොදන විට හැම විටම ශ්‍රී ලංකාවේ කහ දාන්නත් අමතක කරන්න එපා.

 

කහ පාත්තියක් හදමු

දැන් අපි පුංචි කහ පත්තියන් හදාගනනේ කොහොමද කියලා බලමු. මේ සඳහා හොඳට මෝරපු කහ ඇඟිලි සිටුවන්න පාවිච්චි කරන්න ඕනේ. ග්‍රෑම් 35ක් විතර බර තිබ්බ ම ඇති. අංකුර එකක් දෙකක් විතර තියෙන කහ ඇඟිල්ලක් මේ සඳහා පාවිච්චි කරන්න. දිලීර නාශකයක විනාඩි තිහක් විතර දමා ගන්න පුළුවන් නම් හොඳයි. මේ දවස්වල බොහොම අමාරුයිනේ ඕවා හොයා ගන්න. අත්‍යවශ්‍යම නෑ. ඇහෙන් බලලා නිරෝගී කහ අල කැබලි තෝරා ගන්න. ඒ වගේම මුලින් ම ඔබේ ගෙවත්තේ හොඳින් වතුර බැස යන ගල් බොරළු රහිත සාමාන්‍ය පසක් තියෙන තැනක් හොයාගන්න.

පොල් ගස් අතර වගේ මඳක් සෙවණ තැන් මේ සඳහා ඉතා ම සුදුසු යි. පස හොඳින් පෙරලන්න. බොරළු ගල් වගේ තියෙනවා නම් අයින් කරන්න. දැන් අඩි හතරක් පළල උස අඟල් නමයක් වෙන විදිහට පාත්තියක් හදාන්න. දිග ඔබේ කැමැත්තට ගන්න. අඩුගානේ කොම්පෝස්ට් කිලෝ පහක් විතර මෙතැනට දානවා නම් හොඳයි.

අඩියෙන් අඩිය පරතරයට කහ ඇඟිලි දෙකක් තුනක් පසට යට කරන්න. ඊට පස්සේ පිදුරු, දහයියා, දිරාගිය කොළ වගේ සොයා ගන්න පහසු දෙයකින් වැස්මක් යොදන්න.

 

ඉඩකඩ නැති අයට

අඩු ඉඩ කඩක ඉන්න අයට වඩා ලෙහෙසි ක්‍රමයක් කියන්නම්. කිලෝ 5- 10 හාල් මලු දන්නවනේ. ඒකට පහත මිශ්‍රණය යොදන්න. මතුපිට පස් කොටසකට කොම්පෝස්ට් කොටසකුයි, කොහුබත් කොටසකුයි, වැලි කොටස් එකකුයි දමා මිශ්‍රණය හොඳින් කලවම් කරලා හාල් මල්ලෙන් ¾ක් විතර පුරවා ගන්න.

ඇඟිලි ත්‍රිකෝණාකාර ලෙස තැන් තුනක හිටවන්න. දැන් වතුර දමන්න. පළිබෝධ ඒ හැටි නැතත් ප්‍රධාන ම පළිබෝධකයා වන්නේ “කද විඳින්නා”. ඒ ගැන අවධානයෙන් ඉන්න. එහෙම උණාම කද කහ පාට වෙලා මැරිලා යනවා.

 

දැන් ඉතිං ඵලදාව ගනිමු

මාස නවයක්, දහයක් ගියාම ගස් කහ පාට වෙලා මැරෙන්න පටන් ගන්නවා. දැන් තමයි අස්වැන්න ගන්න හොඳම වෙලාව.

පස් බුරුල් කරලා පරිස්සමින් අල ගලවා ගන්න. මුල් කොටස් කපන්න. පස් ටික සෝදා ඇරලා ඇඟිලි කොටස් සහ අල කොටස් කපා වෙන් කර ගන්න. වතුර දමා හොඳට තම්බ ගන්න. අල ටික විනාඩි 45කුත් ඇඟිලි අල ටික විනාඩි 30කුත් පමණ තම්බ ගන්න. කුඩා ප්‍රමාණයක් තම්බනවා නම් ෆ්‍රෙෂර් කුකර් එක පාවිච්චි කරන්නත් පුළුවන්.

අල හොදට තැම්බුණා ද කියලා බලන්නේ කොහොමද දන්නවද? පිරිසුදු ඉරට්ටක් අරගෙන තැම්බුණු අලයකට ඇණලා බලන්න. පහසුවෙන් ම එය අලය ඇතුළට යනවා නම් ඔන්න වැඩේ හරි. තම්බුවට පස්සේ වතුර ටික බේරලා ඇරලා මඳ අව්වේ වියළා ගන්න. මුල් දින 2-3 තද අව්වට නිරාවණය කරන්න නම් එපා. දවස් දහයක් විතර වේළුවා ම හොඳම වියළි පදම එනවා.

 

අමු කහ කිලෝ හයකින් එක් වියළි කහ කිලෝවක් හදා ගන්න පුළුවන්.

තවත් තොරතුරු දැන ගන්න ඕනෙ නම්....

මීට වඩා තවත් තොරතුරු ඔයාට දැන ගන්න ඕනේ නම්, ඔබ ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඉන්න අපනයන කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරී මහතා හමුවන්න. එයා උදව් කරාවි.

වැඩි විස්තර දැන ගන්න 0112877841 අංකයට කතා කරන්න. නැත්නම්, [email protected] යන විද්‍යුත් ලිපිනයට ලියන්න.

ඉදිරිපත් කිරීම

රන්සිලු වටවල

අධ්‍යක්ෂ සංවර්ධන,

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.