තණ පලස හැඩකරන හුරුබුහුටි මං තීරු

ජූලි 15, 2020

සොඳුරු ගෙඋයනක අසිරිය විඳින්නට හිතැති බොහෝ අය කුඩාවට හෝ ඉඩක් ගෙමිදුල වෙනුවෙන් වෙන්කරති. මේ ඉඩ තණ පලසකින් සරසන්නටයි වැඩිදෙනකු සිතන්නේ. තණ පලසක් වැවීමෙන් නෙතට, සිතට මෙන්ම දෙපතුළට ද දැනෙන්නේ මිහිරියාවකි. එය ඔබේ සෞඛ්‍ය රැකදෙන්නත් කදිම ඔසුවකි.

අපි මිදුලේ නිතර එහා මෙහා යන නිසා මෙවැනි තණ පලසක ආරක්ෂාව ගැනත් සිතිය යුතුයි. නැතිනම් පයට නිතර පෑගීම නිසා එහි අලංකාරය නිතැතින්ම වියැකී යාවි. ඒ නිසා තණ පලසක් වවන අය ස්ටෙපිං ස්ටෝන්ස් හෙවත් තණ පලස මතින් ඇවිදින්නට සුදුසු ඇතිරිලි ගැනත් සැලකිලිමත් විය යුතුයි. ඒ සඳහා අපට විවිධ වර්ගයේ ඇතිරිලි ක්‍රම භාවිත කළ හැකියි. කළු ගල්, ලී, කොන්ක්‍රීට්, තිරිවාන ගල්, ගඩොල්, ෆයිබර්, ඉවත දමන සිල්පර කොට මෙන්ම සිමෙන්තිවලින් සැකසූ පේවිං ස්ටොන්ස් ඒ අතර වේ. මේවා රවුම්, කොටු ආදී හැඩයන්ට මෙන්ම කොළ, මල්, කඩතොළු වැනි හැඩවලටත් සකසාගත හැකියි. තමන්ගේ නිර්මාණශීලීත්වය මත තම ගෙඋයනට ගැළපෙන ක්‍රමයක් තෝරාගන්න. මෙම හැඩතල අච්චු සපයා ගැනීමෙන් තමන්ටම සකසාගන්නත් පුළුවන්.

කොන්ක්‍රීට්, ලී ආදිය දමා සකසන නිමැවුම් අතරට වර්ණවත් ගල් ඇතිරීමෙන් තවත් අලංකාර වේ. මෙහි දැක්වෙන්නේ එලෙස ගෙඋයනක තණ පලස ආරක්ෂා කරන්නට අලංකාරව භාවිත කළ ස්ටෙපිං ස්ටෝන්ස් සැකසුම් කිහිපයකි. මේවායින් ඔබේ ගෙඋයන හැඩකරන්නටත් කදිම අදහස් ගත හැකියි.

 

 

 

අන්තර්ජාලයෙනි