වල් පැළ මර්දනයට ඉටි කොළ ආස්තරණයක්

වගාවට බීජ හොයාගන්නේ කොහොමද?
දෙසැම්බර් 30, 2020

ගෙවතු වගාව පිළිබඳ වැඩි කතාබහට ලක් වූ වසරකි මේ. කොරෝනා වසංගතයත් සමඟම තම තමන්ගේ නිවෙස් තුළට සිර වුණු බොහෝදෙනක් තමන්ට හැකි පරිද්දෙන් වගාවට යොමු වූහ.

එමෙන්ම වෙනදා සේ නිතරම වෙළෙඳපොළට යන්නට, සිතැඟි පරිද්දෙන් බඩු භාණ්ඩ මිලදී ගන්නට නොහැකි නිසාම තම ගෙමිදුලේ මොනවා හෝ වවා ඵල ප්‍රයෝජනයට ගන්නට පුරුදු පුහුණු වූහ. කොරෝනාවත් සමඟම බොහෝදෙනකුගේ රැකියා අහිමි වී අතමිට හිඟවීමත් මෙලෙස ගෙවතු වගාවේ යෙදෙන්නට හේතු වූවා ද විය හැකියි.

ඒ කෙසේ වෙතත් ඇත්තටම මේ උනන්දුව වසංගත සමය අවසන් වීමත් සමඟ අවසන් නොවිය යුතුයි.

නාගරික, ග්‍රාමීය වෙනසකින් තොරව හැකි සෑම නිවෙසකම ගෙවතු වගාව සිදුවිය යුතු සේම එය ජාතික ආර්ථිකයේ අනිවාර්යය අංගයක් විය යුතුයි.

මේ වනවිට ඔබ ගෙවතු වගාවේ නිරත වන්නේ නම් විවිධ ගැටලුවලට මුහුණ දෙනවා නොඅනුමානයි. එබැවින් අද අපි ගෙවතු වගාවේ දී ඇතිවන ගැටලු පිළිබඳ සොයා බලමු.

වගාවට අවශ්‍ය බීජ

ගෙවතු වගාවට සූදානම්වන බොහෝදෙනාට තිබෙන මූලික ගැටලුවක් වන්නේ වගාවට සුදුසු බීජ නොමැතිකමයි.

ඒ නිසා ගෙදර උයමනට ගෙනා මිරිස් කරලේ පටන් විවිධ ඇට වර්ග, අල වර්ග වගා කිරීමට යොදාගන්නා බව පෙනේ.

මේ දිනවල මුහුණු පොතේ වගාව පිළිබඳ විවිධ දේ සඳහන්වන අතර මෙලෙස බීජ සපයා ගැනීම පිළිබඳ ද සටහන් වේ.

 

බුද්ධ භෝග වෙන් කිරීම

වඩා සරු මෙන්ම වගාවට නියම පාරම්පරික ජාන අන්තර්ගත නොවන බීජ තෝරාගත් විට ඔබේ වගාව අසාර්ථක වීමට වැඩි ඉඩක් තිබේ. හේන් ගොවිතැනේ පටන් අපේ මුතුන්මිත්තන් වගාවට උචිත බීජ හෙවත් බුද්ධ භෝග තෝරාගත්තේ මෙහෙමයි.

ඕනෑම ගහක, වැලක හැදෙන පළමුවැනි කරල හෝ ගෙඩිය වගාවට උචිත නොවේ.

එබැවින් දෙවැනි, තුන්වැනි හෝ හතරවැනි කරල එහෙමත් නැතිනම් ගෙඩිය පමණක් තෝරාගන්නවා නම් ඔබේ වගාව පහසුවෙන් සරු වේවි.

මෙලෙස ගහේ වැලේ හැදෙන දෙක තුන හෝ හතරවැනි අස්වැන්න තෝරාගන්නා විට එම ශාකය සරු එකක් විය යුතුයි.

ගසේ හෝ වැලේ තිබියදීම ඔබ තෝරාගන්නා ගෙඩිය හෝ කරලේ සලකුණක් යොදාගන්න. ඒවා නිසි විලස මෝරා වැඩී පැසෙන්නට හරින්න. හොඳීන් මෝරා වැඩුණු පසුව එය නෙළා භාවිතයට නොගෙන පසෙකින් තබන්න.

එවිට යළි වගාකිරීම සඳහා බීජ හෙවත් බුද්ධ භෝග ඔබට හිමි වේ. මෙලෙස වෙන් කළ විට පෙර පරම්පරාවේ ජාන ශක්තියෙන් යුත් වගාවක් ඔබට කළ හැකියි.

වැසුම් වගාවේ අස්වනු

ගෙවතු වගාවේ දී පැනනගින තවත් ප්‍රධාන ගැටලුවක් වන්නේ පාත්ති සහ වගා කළ ශාක අතරින් වල් පැළ මතුවීමයි.

සීමිත ඉඩකඩක වුණත් ශීඝ්‍රයෙන් වල් පැළ මතු වෙනවිට ඒවා උදුරා දැමීමට තරමක කාල වේලාවක් කැප කළ යුතුයි.

එමෙන්ම ඔබ සිටුවාගත් භෝගයට දැමූ කාබනික පොහොර වල් පැළ උරාගන්නවා.

නාගරිකයන් සේම බොහෝදෙනකු ගෙවතු වගාවෙන් ඈත් වීමට මෙය ප්‍රධාන සාධකයක්.

ඔබ වගා කරන කුඩා ගෙවත්තේ පහසුවෙන් වල් මර්දනය කරන්නට, වගාවට යෙදවූ කාබනික පොහොරවලින් උපරිම ප්‍රයෝජනය ගැනීමට හැකිනම් එය මොනතරම් අපූරුද? ඒ සඳහා වගා කරන පාත්තිය ඉටිකොළ හෝ එවැනි ඉවතලන ඝන ආස්තරණයක් භාවිතයට ගැනීමෙන් වල් පැළ මතුවීම සහමුලින්ම නවතා ගත හැකියි.

 

ඒ වාගේම වැඩේ ලස්සනයි.

පහසුයි. පිළිවෙළයි.

 

පළමුවර පැළ සිටුවීමට යොදාගත් ස්ථාන මඟහැර දෙවැනි හා තෙවැනිවරට භාවිතයට ගැනීමට හැකි වීමත් මෙහි තිබෙන පහසුවකි.

 

උපදෙස් - ප්‍රවීණ

ජනශ්‍රැති පර්යේෂක සහ ලේඛක

මහින්ද කුමාර දළුපොත