නෙළා ගත් ඉඟුරු වියළා ගබඩා කරමු

මාර්තු 24, 2021

 

ඈත අතීතයේ පටන් දේශීය රසකාරකයක් ලෙස ඉඟුරුවලට ඉහළ ඉල්ලුමක් තිබුණා පමණක් නොව එය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ බහුලව භාවිත වන ඖෂධයකි. ඒ නිසාම කවදත් තම ගෙමිදුලේ හෝ පෝච්චියක ඉඟුරු පඳුරක් දෙකක් වවාගන්නට අපේ උදවිය අමතක නොකළහ.

 

අද දවස වන විට මෙය අතමිට සරුකරනා ආර්ථික භෝගයක් බවට පත්වී හමාරයි. එබැවින් ක්‍රමානුකූලව ඉඟුරු වගාකරන ආකාරය පමණක් නොව එය පරෙස්සමට වෙළෙඳපොළට එකතු කරන අයුරු පිළිබඳව ද අප දැනගත යුතුයි. පසුගිය සතියේ දී ඉඟුරු අස්වැන්න නෙළන ආකාරය ගැන කතාබහට ලක්වූ බැවින් අද අපි නෙළාගත් ඉඟුරු අස්වැන්න වියළා ගබඩා කරන අයුරු දැනගනිමු.

සාමාන්‍යයෙන් සාර්ථකව ඉඟුරු වියළා ගන්නට නම් ඉඟුරු අලවල පොත්ත ඉවත් කළයුතු වේ. ඒ සඳහා ඉඟුරු අල ටික රැයක් ජලයේ පොඟවා තැබීමෙන් මෙම පොත්ත පහසු‍‍ෙවන් ඉවත් කළ හැකිය. මෙලෙස පොතු ඉවත් කිරීම නිසා ඉඟුරු අලයේ අභ්‍යන්තරයේ පවතින තෙතමනය ඉවත්වීමට ඇති බාධකය ද ඉවත් වී යයි.

ඉඟුරු පොතු ඉවත් කිරීමට වර්තමානයේ යන්ත්‍ර නිර්මාණය කර ඇතත් උණ පතුරක් භාවිතයෙන් වුවද ඔබට මේ කටයුත්ත කළ හැකිය. එමෙන්ම යන්ත්‍ර මාර්ගයෙන් පොතු ඉවත් කිරීමේදී අලයට හානි නොවන පරිදි එය කළ යුතුය. මන්ද ඉඟුරුවල රසායනික සංඝටක බහුලව පවතින්නේ අලය මතුපිට පෘෂ්ඨය ආසන්න සෛලවල වන බැවින් පරෙස්සමට පොත්ත ඉවත් කිරීම ඉතා වැදගත්ය.

 

නෙළාගත් ඉඟුරු අස්වැන්න සකසා ගැනීමේ වැදගත්ම පියවර වන්නේ ඒවා වියළා ගැනීමයි. සාමාන්‍යයෙන් ඉඟුරු ගලවාගන්නා අවස්ථාවේදී තෙතමනය 80 - 85% ක් පමණ පවතින අතර, වියළා ගැනීමෙන් මෙම අගය 11 - 14% දක්වා පමණ අඩුකර ගත යුතුය. මන්ද ඉඟුරු අලවල අධික තෙතමනයක් තිබුණහොත් කෘමි හෝ දිලීර හානිවලට ලක්වීමේ අවදානම වැඩි වී ඒවා නරක්වීමට ඉඩ තිබේ. එබැවින් ඉඟුරු අස්වැන්න ගබඩා කිරීමට, අලෙවි කිරීමට හෝ නැවත සැකසීමට ප්‍රථම නිසිපරිදි වියළා ගැනීම කළ යුතුමයි.

පොතු ඉවත් කළ ඉඟුරුවල තෙතමනය 12% ක් පමණ අඩුවීමට නම් සතියක පමණ කාලයක් වියළා ගත යුතු අතර මේවා විරංජනය නොකළ ඉඟුරු ලෙස හැඳින්වේ. එමෙන්ම හිරු එළියෙන් වියළා ගැනීමේ දී දූවිලි, වැලි ආදිය ඉඟුරු අස්වැන්නට මිශ්‍ර විය හැකි බැවින් ගෝනි හෝ පිරිසුදු කරගත් පොලිසැක් මලු මතුපිට අතුරා වියළා ගැනීමට වගබලාගන්න.

වියළාගත් ඉඟුරුවල උණුසුම අඩු වූ පසුව පොලිප්රොපිලීන් මලුවල බහා පොලිසැක් මලුවල අසුරන්න. අනතුරුව මේවා තෙතමනය රහිත සිසිල් ස්ථානයක ගබඩා කළ යුතුවේ.

හිරු එළියෙන් වියළන ලද ඉඟුරුවල පැහැය කෘත්‍රිම වියළනයකින් වියළනලද ඉඟුරුවලට වඩා තද පැහැයක් ගනියි. එබැවින් වියළි ඉඟුරු පෙති අවපැහැයෙන් තොරව ලබාගන්නට නම් කෘත්‍රව වියළා ගැනීම සුදුසුය. මෙසේ වියළීමට සෙල්සියස් අංශක 60 ක හෝ ඊට වඩා අඩු උෂ්ණත්වයක් ප්‍රමාණවත්ය. ඉඟුරු මිශ්‍රවීම එහෙමත් නැතිනම් ජින්ජර් බියර් සකසා ගැනීමට අවශ්‍ය ඉඟුරු වියළීමේ දී වුවද මේ කුමන අන්දමකට වියළා ගත්තත් ගැටලුවක් නොවේ. මන්ද වියළි ඉඟුරුවල පැහැය ජින්ජර් බියර් සැකසීමට එතරම් වැදගත් නොවන බැවිනි.

පොතු සමඟ වියළන ලද ඉඟුරු පෙතිවලට වඩා පොතු ඉවත් කළහැකි ඉඟුරුවල පැහැය හොඳින් සුරක්ෂිතව පවතී. නමුත් පොතු ඉවත් කිරීමට කම්කරු ශ්‍රමය අවශ්‍ය බැවින් එය ලාබදායි ක්‍රමයක් ලෙස සඳහන් කළ නොහැකිය.

සාමාන්‍යයෙන් ඉඟුරු කැබලි හෝ පෙති වශයෙන් වියළීමේ දී අමු ඉඟුරු කිලෝග්‍රෑමයකින් වියළි ඉඟුරු ග්‍රෑම් 200 - 250 ක් අතර ප්‍රමාණයක් ලබාගත හැකිය. මෙලෙස වියළාගත් ඉඟුරු ඉඟුරුකුඩු, ඉඟුරු තෙල් හා ඔලියොරෙසින නිෂ්පාදනය වැනි කාර්යයන් සඳහා ද යොදා ගනී.

 

 

උපදෙස්

අපනයන

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සන්නිවේදන අංශයේ සහකාර අධ්‍යක්ෂ

අරුණ දිසානායක

 

සම්බන්ධීකරණය

දිශාන්ති ‍කොඩිතුවක්කු