අවන් එකෙන් කළ නොහැකි දේවල් කරන Air Fryer

Modern Kitchen
අප්‍රේල් 21, 2021

 

 

නවීන මුළුතැන්ගෙයකට උපකරණ තෝරන කාගේත් නෙත් සිත් යන්නේ එයා ෆ්‍රයර් නම් හුරුබුහුටි අවන් එක වෙතයි. වැඩි දෙනෙක් මේ උපකරණයට කැමැත්තක් දැක්වුවත් එය භාවිත කරන්නේ කොහොමද? එමඟින් ගත හැකි ප්‍රයෝජන මොනවද? කියා දැනුවත් නැහැ. ඔබේ වැඩකටයුතු පහසුවෙන් කරදෙන එයා ෆ්‍රයර් එක ගැනයි මේ.

ඇත්තටම මොකක්ද මේ එයා ෆ්‍රයර් (Air Fryer) කියන්නේ?

Air Fryer එකක් කියන්නේ පුංචි ඉඩක මේසයක් මත හෝ කවුන්ටර් ටොප් එකක් මත තබා කෑම සකසා ගත හැකි පුංචි අවන් එකකි. අපි ගැඹුරු තෙලේ බදින ඕනෙම වර්ගයක් අවන් එකක සාදා ගත නොහැකි වුණත් අපිට Air Fryer එකෙන් සාදාගත හැකියි. අවන් එකකට වගේ කාලය ගොඩක් ගත වෙන්නෙත් නැහැ. කලින් රත්කර ගැනීමක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. තෙල් ගොඩක් එකතුකර බදින දේවල් තෙල් බොහොම ස්වල්පයක් එකතුකර හෝ තෙල් එකතු නොකරම බැද ගත හැකි උපකරණයක් තමයි Air Fryer. එහි තිබෙන කොයිල් එක රත්වෙනවිට පිටතින් ඇති වාතය ඒ මතට ඇතුළු කරගනිමින් එහි ඇති විදුලි පංකා‍නේ වේගයෙන් උණුසුම් වාතය සංසරණය කිරීම මඟින් තමයි කෑම පිසීම සිදුවෙන්නේ.

Air Fryer එකෙන් සාදාගත හැකි කෑම වර්ග මොනවද?

ගැඹුරු තෙලේ බදින වම්බටු, අල, කට්ලට්, රෝල්ස්, වඩේ, පපඩම්, කරවිල, සමෝසා, හාල්මැස්සන්, පුංචි මාළු බැදීම වගේ දේවල්. පේස්ට්‍රි, පැටිස් වර්ග සාදා ගැනීම. ඒ වගේම මාළු පෙති, මස් වර්ග බැද ගැනීම තෙල් පොඩ්ඩක්වත් නැතුව සිදු කරන්න පුළුවන්. කේක් වර්ග, මෆින්, ඩෝනට්, බිස්කට්, අතුරුපස වර්ග සාදාගැනීම.

තෙලේ බැද කන කෑම ශරීරයට අහිතකරයි. ඉතින් තෙල් නොදා කෑම වර්ග සෑදීමට හොඳම උපකරණයක් තමයි Air Fryer එක.

Air Fryer එකේ හදන කෑමවලට විශේෂ වට්ටෝරු තිබේද?

නැහැ. අපි එදිනෙදා හදාගන්න කෑමම තමයි මේකෙත් හදන්නේ. උදාහරණයක් විදියට කේක් එකක් නම් එම සුපුරුදු වට්ටෝරුවටම සාදා අපිට Air Fryer එකේ බේක් කරගන්න පුළුවන්.

Oven එකෙන් හදන්න පුළුවන් ඔක්කොම කෑම Air Fryer එකෙනුත් හදන්න පුළුවන් ද?

Oven එකේ අපි හදන්න උත්සාහ නොකරපු කෑමත් Air Fryer එකේ හදන්න පුළුවන්. වඩේ වගේ දේවල් අපි අවන් එකේ හදන්න උත්සාහ කරලම නෑනේ. නමුත් Air Fryer එකේ පුළුවන්. බොහෝ කෑම ජාති අඩු වෙලාවකින් සාදාගන්න පුළුවන් නිසාත් තෙල් භාවිතය ඇත්තෙම නැති නිසාත් අද හැම ගෘහණියක්ම අතරේ ජනප්‍රිය කුස්සියක තියෙනම උපකරණයක් වෙලා.

ගොඩක් විදුලිය යනවද?

අවන් එකක පොඩි දෙයක් හදාගන්නත් වෙලාව ගත වෙනවා. ප්‍රී හීට් කිරීමක් ද සිදුවෙනවා. ලොකු උපකරණයක් රත් කරන්න විදුලිය සහ වෙලාව යනවා. ඒ නිසා Air Fryer එක පොඩි ප්‍රමාණ සාදාගැනීමට පහසුයි.

කොහොමද මේක පාවිච්චි කරන්නේ?

Air Fryer විවිධ හැඩයෙන් විවිධ ප්‍රමිතියෙන් තියෙනවා. බලලා හොඳ ප්‍රමිතියකින් යුතු එකක් ගන්න. මුලින්ම ඒ සමඟ ලැබෙන පුංචි පොත කියවන්න. එහි සඳහන් වෙනවා අපි හදන කෑම වර්ගයට අදාළ උෂ්ණත්වය, වෙලාව සහ කොච්චර අපිට එක සැරේ හදාගන්න පුළුවන් ද කියා. නිතරම ඒ පොතේ සඳහන් විදියට කරන්න.

උදාහරණයක් විදියට චිකන් පාර්ට්ස් බැදගන්න ඕනෙ නම් එම පොතේ සඳහන් උෂ්ණත්වය සිලෙක්ට් කරන්න. වෙලාව සඳහන් කරන්න. චිකන් පාර්ට්ස් බර හෝ කෑලි ගණන අනුව කොටස් හතරක් පමණක් කියා සඳහන් නම් ඒ ප්‍රමාණය විතරක් වරකට හදාගන්න. Air Fryer දැන්වීම් වල දැක්වෙන පරිදි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පුරවන්න යන්න එපා. එතකොට හරියට බැදෙන්නේ නෑ. වම්බටු, කරවිල වුණත් එහෙමයි. ෆ්‍රිස් කරපු මස් මාළු අයිස් ගතිය අයින්කර Air Fryer එකේ හදාගන්න. නිතරම කෑමක් සාදා අවසන් වූ විගස දැල සහිත බාස්කට් එක සහ අනිත් බාස්කට් එක සෝදා පිරිසුදුකර හොඳින් පිහදා වියළාගන්න.

බේක් කරන කෑමවල දී අපිට පුළුවන් සිලිකන් මෝල්ඩ්ස්, ෆොයිල් කප්ස්, ෆයිරෙක්ස් (pyrex) භාජන භාවිත කරන්න. මේ එකක්වත් උඩින් වහන්න එපා. ෆොයිල් කොළ භාවිතය පුළුවන් වුණත් භාවිත කරන්න එපා. ඒ වගේම බේකිං පේපර්ස් දැඩි රස්නය නිසා උණුවෙන්න පුළුවන්.

මස්, මාළු වර්ග පිස ගැනීමේ දී එහි තිබෙන තෙල්වලින්ම පිසෙන නිසා වැඩිපුර තෙල් ඇත්නම් යට බාස්කට් එකට එකතුවේ. එතැනිනුත් වෙන්නේ හොඳක්. අපිට අනවශ්‍ය තෙල් ඒ මඟිනුත් අයින් කර කෑමට ගත හැකියි.

කෑම වර්ගය, උෂ්ණත්වය, කාලය සහ ප්‍රමාණය අනුව

ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයට විනාඩි 20ක් ප්‍රමාණය ග්‍රෑම් 500ක්.

කුකුළු මස් සෙල්සියස් අංශක 180 උෂ්ණත්වය විනාඩි 22 ක් ප්‍රමාණය කොටස් 4 ක්

සාලයෝ වගේ පුංචි මාළු සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් විනාඩි 14 ක් දැල සහිත බාස්කට් එකේ අතුරන්න පුළුවන් ප්‍රමාණය ගන්න.

කේක් එකක් ග්‍රෑම් 500, උෂ්ණත්වය සෙල්සියස් අංශක 160 ක්, විනාඩි 20 ක්

කට්ලට් 8 පමණ උෂ්ණත්වය සෙල්සියස් අංශක 160 ක්, විනාඩි 15 ක්

වම්බටු බාස්කට් එකේ උඩටම වෙන්න නොදා ටිකක් අතුරන්න. උෂ්ණත්වය සෙල්සියස් අංශක 200 ක්, විනාඩි 15ක්, තෙල් බොහොම චුට්ටක්. එනම් තේ හැඳි බාගයක් පමණ දවටලා ගන්න.

වම්බටු, අල, කරවිල, ලූනු බදින විට කපාගත් එළවළුවට තෙල් තේ හැඳි බාගයක් පමණ එකතුකර අවශ්‍ය නම් ලුණුත් එකතුකර Air Fryer එකේ හදාගන්න. මේ දේවල් හදනවිට විනාඩි 15 ක් නම් විනාඩි 7ක් විතර ගියපසු air fryer එක ගලවා ලී හැන්දකින් ඇතුළෙ ඇති එළවළුව කලවම් කර නැවත දාන්න. මෙතැන දී air fryer basket එක නිකන්ම ඕෆ් - ඕන් වෙන නිසා බය නෑ. අනික පොතේ සඳහන් වෙනවා Air Fryer කරන්න යනුවෙන්.

Air Fryer එක පිරිසුදු කිරිමේ දී එහි නොන්ස්ටික් කෝටින් එකට හානියක් නොවෙන්න සබන් වතුර හා මෘදු ස්පොන්ජ් එකක් මඟින් සෝදා පිරිසුදු කරගන්න.

 

 

උපදෙස් -

සූපවේදිනී ජනනි ගුරුසිංහ

පාර්මා, ඉතාලිය