කොම්පෝස්ට් පොහොර ගෙදරදීම හදා ගනිමු

ජුනි 2, 2021

 

කෝටු රාමු ක්‍රමයේ සහ බඳුන් ක්‍රමයේ වාසි

මේ ක්‍රම දෙකෙහිදීම ‍ඔබට දිනපතාම නිවෙසින් බැහැරලන අපද්‍රව්‍ය මෙයට එකතු කළ හැකි වේ.

එමෙන්ම ‍ෙම් ක්‍රමයන් තුළදී වාතාශ්‍රය ලැබීම හොඳින් සිදුවන අතර ජලය සැපයීම ද පහසුවෙන් කළ හැකි වේ. දුගඳ ඇති නොවන අතර මැස්සන් බෝවීම ද අවමය.මෙහිදී බඳුන් හෝ බැරල් ක්‍රමයේදී ඔබට බඳුන් සකසා ගැනීමට යම් වියදමක් දැරිය යුතුය. නමුත් කෝටු රාමු ක්‍රමය සඳහා ඔබට කිසිදු වැයවීමක් නොමැති අතර අවශ්‍ය වන්නේ ග්ලිරිසීඩියා හෝ වෙනත් කෝටු කිහිපයක් සහ රැහැන්පට කිහිපයකි. එනම් තමාට සපයාගත හැකි අඩි 5 - 6 පමණ උස කෝටු රවුමක් ආකාරයට ළඟින් ළඟින් සිටුවා එකට බැඳගැනීම මෙහිදී සිදුවේ.

 

වළ ක්‍රමයේ අවාසි

කොම්පෝස්ට් සකසා ගැනීමේදී වෙනත් ක්‍රමවලට වඩා වළ ක්‍රමය භාවිත කිරීම අවාසි සහගත බව කිව යුතු වේ. එනම් වළට දැමූ අමුද්‍රව්‍ය පෙරළීමට අපහසුවීම, දුගඳ හටගැනීම සහ ඊට සාපේක්ෂව මැස්සන් බෝවීම ද සිදුවේ.

විශේෂයෙන්ම වැසි සහිත කාලගුණයක් පවතිනවිට වැසි ජලයෙන් මෙම පොහොර වළ පිරීම වැළැක්විය නොහැකිය. මෙලෙස තෙතමනය අධිකවීම මත නිපදවන කොම්පෝස්ට්වලට වැඩි පස් ප්‍රමාණයක් එකතුවීම මෙන්ම සැකසෙන පොහොර ප්‍රමාණයට වඩා වැඩි ශ්‍රමයක් යෙදීමට සිදුවීම වැනි අවාසි මෙම ක්‍රමයේ දී දැකිය හැකියි.

 

කොම්පෝස්ට් සැකසීමේ දී අවධානය යොමු කළ යුතු කරුණු

 

* ප්‍රධාන වශයෙන්ම ගොඩ ක්‍රමයේ දී පොහොර සැකසීමට ඔබ තෝරාගත් ස්ථානය සාමාන්‍ය සෙවණ සහිත තරමක් උස්බිමක් වීම වැදගත්ය.

* එහිදී ඔබ තෝරාගත් ස්ථානයේ භූමිය හොඳින් තළා ගැනීමට අමතක නොකරන්න.

* ඔබ භාවිතාකරන අමුද්‍රව්‍ය හැකිතාක් කුඩා කොටස්වලට කඩාගන්න.

* සාමාන්‍යයෙන් කොම්පෝස්ට්වල ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වය ඉතා වැදගත්. එබැවින් මෙම පොහොර ගොඩ සඳහා පිටතින් ක්ෂුද්‍ර ජීවීන් සැපයීම කළ යුතුය. ඒ සඳහා මුහුන් ලෙස කලින් සාදාගත් හොඳ තත්ත්වයේ කොම්පෝස්ට් පොහොර භාවිත කරන්න. උදාහරණයක් ලෙස අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1000 ක ප්‍රමාණයක් සඳහා මුහුන් ලෙස කොම්පෝස්ට් කිලෝග්‍රෑම් 20 ක් ප්‍රමාණවත් වේ.

* එමෙන්ම කොම්පෝස්ට්වල අඩංගු පොස්පරස් ප්‍රමාණය තරමක් අඩුය.

එබැවින් ඒ සඳහා එප්පාවල රොක් පොස්පේට් එකතු කළ යුතුය.

එහිදී අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1000 ක් සඳහා එප්පාවල රොක් පොස්පේට් කිලෝග්‍රෑම් 50 ක් මිශ්‍ර කරගැනීම සුදුසුය.

* අමුද්‍රව්‍ය ගොඩ ගැසූ පසුව මෙම ගොඩ කළු ඉටිරෙද්දකින් වැසිය යුතුය. එහිදී ගොඩ සම්පූර්ණයෙන්ම නොවසන්නට මතක තබාගන්න. අඩි 05 ක් පමණ උස ගොඩක පහළින් අඩි 01 ක පමණ ප්‍රමාණයක් ඉතිරිවනසේ වසාගන්න. මෙහිදී කළු ඉටි රෙදි වෙනුවට පරණ පොහොර කවර, වියනලද පොල් අතු ආදිය වුවද ඔබට භාවිත කළ හැකිය.

 

කොම්පෝස්ට් සෑදීමට අවශ්‍ය ප්‍රශස්ත තත්ත්ව

 

1. උෂ්ණත්වය - (සෙන්ටිග්‍රේඩ් අංශක 43 - 65 ත් අතර)

ගොඩ වසා තැබීමෙන් අවශ්‍ය උෂ්ණත්වය සකස් වේ.

2. තෙතමනය - (40% - 65% ත් අතර)

ජලය යෙදීමෙන් සහ තෙතමනය පිළිබඳ පරීක්ෂා කිරීමෙන් මෙම තත්ත්වය ඔබට පවත්වා ගත හැකිය. කෙසෙල් කඳ කැබැලි යොදන්නේ ද තෙතමනය ආරක්ෂා කරගැනීම උදෙසාය.

3. වාතාශ්‍රය

ගොඩ වරින්වර පෙරළීමෙන් දිරායන අපද්‍රව්‍ය වාතාශ්‍රයට ලක්වීම සිදුවේ.

4. C : N - (අනුපාතය 30 : 1)

කාබනික අපද්‍රව්‍ය හා නයිට්‍රජන් සහිත ගොම, ග්ලිරිසීඩියා, කුකුළු පොහොර යොදන්නේ මෙකී අනුපාතයට අනුවය.

 

පොහොර ප්‍රයෝජනයට ගතහැකි ආකාරය

 

අමුද්‍රව්‍ය නියමිත පරිදි දිරායාම අවසන් වූ පසුව දිරා නොගිය කොටස් ඉවත් කරන්න. අනතුරුව ඉතිරි වූ දිරාගිය කොටස් සෙන්ටි මීටර් 4 x 4 ප්‍රමාණයේ දැලකින් හලාගන්න. ඉන්පසුව හළාගත් කොම්පොස්ට් පොහොර ටික මලුවල පුරවා තදින් සූර්යාලෝකය නොවැටෙන සෙවණ සහිත ස්ථානයක තබන්න.කිලෝග්‍රෑම් 02 සිට කිලෝග්‍රෑම් 20 දක්වා වූ පොලිසැක් මලුවල බහා ඔබට මෙම පොහොර වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට වුවද පුළුවන. වර්තමානයේ මෙවැනි කොම්පෝස්ට් කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 15 ත් 20 ත් අතර වේ. සිල්ලර මිල රුපියල් 25 ත් 30 ත් අතර ප්‍රමාණයකි.

 

කොම්පෝස්ට්

කොම්පෝස්ට් යනු ශාකවල වර්ධනය සඳහා අත්‍යවශ්‍ය පෝෂ්‍ය කොටසක්වන ජීර්ණය වූ කාබනික කොටස්ය.

මෙහිදී පැළෑටි, ශාක සහ සත්ත්ව කොටස් වැනි කාබනික ද්‍රව්‍ය පසට සමාන තත්ත්වයට ගෙන ඒම සිදුකරයි. එහි හියුමස් සහ ඛනිජ ද්‍රව්‍ය අඩංගුය. මේවා ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය තුළින් නැවත පසට එකතුකර ශාකවලට ලබාදීමෙන් චක්‍රීකරණයක් සිදුවේවි.

කොම්පෝස්ට්වලට පසෙහි පවතින ආම්ලික බව මනාව පාලනය කිරීමේ හැකියාවක් පවතී. එමෙන්ම මෙමඟින් පැළෑටියක වැඩීමට අවශ්‍ය සියලුම ඛනිජ, විටමින්, හෝමෝන ඇතුළු ක්ෂුද්‍ර පෝෂක ද්‍රව්‍ය සැපයේ. ඒ සමඟම මිනිසාට වස විසෙන් තොරව ආහාරයට ගතහැකි පෝෂ්‍යජනක අස්වැන්නක් ලබාදීමේ හැකියාවද පවතී. ඊට අමතරව රසායනික පොහොර සැපයීම නිසා පොළොවේ සිටින මිනිසාට හිතකර ජිවීන් විනාශ වී යාම වළක්වා ගැනීමට ද මෙම කොම්පෝස්ට් පොහොර භාවිතය ඉතා හොඳ විකල්පයකි.

 

 

උපදෙස් - මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ, නොවිධිමත් අධ්‍යාපන අංශයේ, උද්‍යාන අලංකරණය සහ විසිතුරු මල් වගාව පාඨමාලා උපදේශක, කෘෂි විද්‍යාශූරී

මාබොදලේ

රංජිත් කළුආරච්චි