හෝල්ඩර්වල අඩුපාඩු හදන්නට පෙර කළ යුතු මූලික ම දේ....

නොවැම්බර් 15, 2021

 

තමන්ගේ සිහින නිවහන අංග සම්පූර්ණ ලෙස ඉදිකරගෙන පදිංචි වුණාම ‘ නිවන් ගියා වගේ ‘යැයි බොහෝ දෙනෙක් කියන්නේ ඒ තරම් හිතට සැනුසුමක් දෙන දෙයක් තවත් නැති නිසා. ඒත් කාලයක් ගත වෙද්දී ඇතිවන පුංචි පුංචි අඩුපාඩු නිවැරැදි කර නොගත්තොත් ලොකු අනතුරු වීමටත් ඉඩ තිබෙනවා.

නිසියාකාරව නඩත්තු නො කිරීමෙන් බොහෝ විට මෙවැනි අඩුපාඩු සිදුවෙන්න පුළුවන්. නියපොත්තෙන් කඩන්න තිබෙන දේ පොරොවෙන් කපන්න සිදුවෙන තුරු ඉන්න එපා කියලා අපේ පැරැණි අය කිව්වේ මේ වගේ දේවල්වලටයි. ඒ විදිහට බැලුවොත් මොන තරම් අංග සම්පූර්ණව නිවෙසක් ඉදිකළත් කල් යාමේදී ඕන තරම් අඩුපාඩු හොයා ගන්න පුළුවන්. ඒත් මේ වගේ පුංචි දේවල් පිළිසකර කරගන්නේ කොහොමද? මේක අද ගෘහණියන්ට තිබෙන බරපතළ ප්‍රශ්නයක්. ඒ පිළිබඳව දැනුමක් නැති වුණාම දන්නා කෙනකුගේ සේවය ලබා ගන්න එක්කෝ ලොකු මුදලක් දෙන්න වෙනවා. මුදලක් දීලා වුණත් ඒ සඳහා සුදුසු කෙනෙක් හොයා ගන්න එකත් දැන් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්න හැම දෙයක්ම පාහේ බලපාන්නේ ගෘහණියටයි.

ඒ නිසාම අපි නිවෙස් වල ඇතිවන පුංචි පුංචි අඩුපාඩු තමන්ටම සකසා ගන්න පුළුවන් විදිහට ඔබව දැනුවත් කරන්න සිතුවා. ඒ අනුව ගෘහණියගේ දැනුම් පොතේ පිටු දැන් සතිපතා එකින් එක දිග හැරෙනවා. මේ කොටස් එකතු කර ගැනීමෙන් ඔබට කිසිදු බියකින්, චකිතයකින් තොරව අඩුපාඩු සකස් කරගන්න පුළුවන්. එහෙමත් නැතිනම් කෙනකුගෙන් ඔබට අවශ්‍ය ලෙස පිළිසකර කටයුතු කරගන්නත් පුළුවන්.

"කාශ්‍යප අපි මුලින්ම හෝල්ඩර්වල තියෙන අඩුපාඩු හදල ඉම්මු. මුලින් ම සරල තැනකින් පටන් ගම්මු." මිගාර කිව්වා. මිගාර ලබා දුන් ආරක්ෂක උපදෙස් අකුරටම පිළිපදිමින් කාශ්‍යප වැඩේට සූදානම් වුණා.

"මුලින්ම මේන් ස්වීච්, ට්‍රිප් ස්විච්, සර්කිට් බ්‍රේකර් ඕෆ් කරල ඉම්මු. හොඳට මතක තියා ගන්න කාශ්‍යප, ගෙදර හැමෝම හොඳින් දැනුවත් කරන්න ඕනෙ ඒ ස්විච් ඔන් කරන්න එපා කියන එක සම්බන්ධයෙන්. දැන් තියෙන්නෙ සර්කිට් බ්‍රේකර් එන්න කලින් රෙපයාර් එකකදි මම කළේ මේන් ස්විච් එකේ ෆියුස් එක ගලවලා සාක්කුවේ දාගන්න එක."

"අනේ මිගාර... අපි ඉලෙක්ට්‍රීෂන් කෙනෙක්ව ගෙන්නමුද? සල්ලි ගියාට කමක් නැහැ අනේ..."

මිගාරගෙ කතාව අහලා බයවුණු පූර්ණිමා කිව්වා.

"එහෙම බය වෙන්න දෙයක් නැහැ නංගි. ඔයත් බලා ගන්නකො කරන විදිහ."

පෙර සඳහන් කළ පරිදි විදුලිය විසන්දි කිරීමෙන් පසුව හෝල්ඩරයේ උඩ කොටසේ ආවරණය ගලවා උඩට කර රඳවා ගන්න. දැන් වයරයෙන් හෝල්ඩරය

 

ඉවත් කළ යුතුයි. ඒ සඳහා දුඹුරු සහ නිල් පැහැති වයර් සවි කර ඇති කණු දෙකේ උඩ කොටසේ ඇණ දෙක ටෙස්ටරය භාවිත කර බුරුල් කර වයර් ගලවා ගන්න.

"බලන්න කාශ්‍යප මේ හෝල්ඩර් එකේ උඩ කොටසෙ එක පින් එකක් ඇතුළට ඇවිත්. ඒ නිසයි බල්බ් එකට නියුට්‍රල් එක සම්බන්ධ නොවෙන්නෙ. ධන - රින (+ / -)අග්‍ර දෙකම ඒ කියන්නෙ නියුට්‍රල් හා පේස් කියන වයර් සම්බන්ධ වීම හරියට නොවුණොත් බල්බ් එක පත්තු වෙන්නෙ නැහැ. අන්න ඒ දේ තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නෙ."

"මිගාර, ඇයි එහෙම පින් එකක් ඇතුළට ගිහින් තියෙන්නෙ?"

"ඇතුළෙ තියෙන සීල් එක කැඩිලා. මේක රෙපයාර් කරන්න බැහැ. ඒ නිසා අලුතෙන් එකක් දාන්න වෙනවා. මේ හෝල්ඩර් වර්ගයට කියන්නෙ බෙනට් කැප් හෝල්ඩර් කියලා. ඔය බල්බ් එකේ හෝල්ඩරයට සවි වෙන කොටසේ දෙපැත්තට පන්නපු කම්බි කූරු දෙකක් තියෙනවා නේද...? අන්න ඒ දෙක හෝල්ඩර් එකේ මේ තව් දෙකටම සෙට් වෙන්න ඕනෙ. එක පැත්තක් විතරක් සෙට් වුණාට බැහැ."

"එතකොට අනිත් හෝල්ඩර් වර්ගය මොකක්ද?"

"ඒකට කියන්නෙ ස්කෲ කැප් කියලා. ඒ හෝල්ඩරයෙ වගේම බල්බ් එකෙත් ස්කෘෘ තියෙනවා. ඒ ස්කෲවල කෙළවරටම තද වෙන තුරු බල්බ් එක කරකවන්න ඕනෙ. බිත්ති ලාම්පුවලට එන්නෙ මේ විදිහට. එතකොට ඒ විදිහෙ බල්බ් එකක් පිච්චුණොත්, කඩේට ගිහින් 'ස්කෘෘ කැප්' කියලම ඉල්ලන්න ඕනෙ."

"මිගාර කැඩුණු හෝල්ඩරයට වඩා වෙනස්නෙ මේ අලුත් හෝල්ඩරය?"

"ඔව්. මේ අලුත් හෝල්ඩරයෙ පහත කොටසෙන් ආරක්ෂිත ආවරණයක් තියෙනවා. මොනම විදිහේ හෝ විදුලි කාන්දුවක් තිබුණොත් හෝල්ඩරය පිටතින් බල්බ් එක මාරු කරන කෙනා ආරක්ෂා වෙනවා. හරි දැන් ඔයාම මේ හෝල්ඩරය වයර් එකට අමුණන්නකො කාශ්‍යප."

"මේ පින් මාරුවෙයිද මිගාර?"

"ඔය නම් දෙකෙන් කෝකට වුණත් වයර් දෙකේ පාට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ කාශ්‍යප."

කාශ්‍යප බොහොම සීරු මාරුවට හෝල්ඩර් එකට වයර් අමුණලා බල්බ් එකත් සවිකළා.

"හරි... දැන් සප්ලයි එක දීල බලමු බාස්උන්නැහේගෙ රෙපයාර් එක ඕකේ ද කියලා."

එහෙම කියපු මිගාර සර්කිට් බ්‍රේකර්ස් 'on' කළා. බල්බ් එක දැල්වුණේ කාශ්‍යප ගේ මුවට මදහසක් නංවමින්.

"ඒක සාර්ථකයි... දැන් සාලෙ වෝල් ලෑම්ප්වලට දාල තියෙන වයර්වලට හෝල්ඩර් හයි කරමු කාශ්‍යප. ඔය කවරෙ තියෙන හෝල්ඩර්වලින් ඒ ටික සෙට් කරන්න මගෙ උපදෙසක් නැතුව."

"මිගාර මේල් ස්විච් ඕෆ් කරන්නකො ඔහොමම..."

"අන්න හරි කාශ්‍යප, මම බලාගෙන හිටියෙ ඕක මතක් වෙයි ද කියලා. ඉලෙක්ට්‍රීෂයන් කෙනෙක් නිරවුල් මනසින් වැඩ කිරීම හරිම වැදගත්. කිසිම දෙයක් අමතක වෙන්න බැහැ. මේක ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්."

"මිගාර මේ කවරෙ තියෙන හෝල්ඩර් ඔක්කොම බෙනට් කැප්නෙ..."

"හොඳ බාස්.... කල්පනාව හොඳටම හොඳයි. අන්න අර බොක්ස් එකේ ඇති ස්කෲ කැප් හෝල්ඩර්."

මිගාරගේ උපදෙස් අනුව කාශ්‍යප විදුලි කාර්මික ශිල්පයට අත් පොත් තබමින් හිටියා.

තවත් කොටසකින් හමුවෙමු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.