මසකට වරක්වත් ශීතකරණය පිරිසුදු කළ යුතුයි

නොවැම්බර් 15, 2021

 

කාන්තාවකට ගෘහණියකගේ භූමිකාව නිතැතින් ම වාගේ හිමියි. සමාජයේ මොනතරම් වැජඹෙන රැකියාවක නියුතු වුවත් නිවෙසේ දී ඇය බොහෝවිට ගෘහණියක්මයි. ඉතිං ගෘහණියක් නිවෙසේ වැඩිපුරම ගැවසෙන්නේ මුළුතැන්ගෙයි.

මුළුතැන්ගෙයි ප්‍රධානම අංග තුන වෙන්නේ ළිප, සින්ක් එක සහ ශීතකරණය. ගෘහ අභ්‍යන්තර අලංකරණයට අනුව ඉදිවන නිවෙසක මුළුතැන්ගෙයි මේ අංග තුන ඒ ඒ තැන්හි පිහිටුවනවා. ඉතිං අපි අද හිතුවා මේ අංග තුන අතරින් ශීතකරණය පිළිබඳ කතා කරන්න.

මීට වසර කිහිපයකට පෙර ශීතකරණය නිවෙසක සුඛෝපභෝගී භාණ්ඩ යටතට ගැනුණේ. ඒ නිසාම එය විසිත්ත කාමරයේ තිබුණේ. අද වන විට මුළුතැන්ගෙයි තිබිය යුතුම අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන ශීතකරණය ගෘහණියගේ එදිනෙදා කටයුතු පහසු කරවන්නක්. ශීතකරණයත් සමග අපේ ආහාර රටාව වෙනස් වුණා කීවෝත් නිවැරැදියි.

ඉතිං ශීතකරණයක් භාවිත කළ යුත්තේ මුදල් සහ කාලය දෙකම ඉතිරි කරගෙන. නමුත් මේ දෙකම නැති කරගන්නත් ශීතකරණයකට පුළුවන්. නියමාකාරයෙන් බඩුබාහිරාදිය අසුරා නැති නම් ශීතකරණයේ දොර ඇරගෙන හැම එකක්ම එකින් එක බලන්නට වේවි. මෙහිදී දන්නෙම නැතිව නාස්ති වෙන්නේ කාලය. ඒ විතරක් ද ශීතකරණයේ දොර වැඩිවෙලාවක් ඇරගෙන ඉද්දි, විටෙන් විට දොර අරිද්දි මොනතරම් විදුලියක් නාස්ති වෙනවද? එය විදුලි බිලට එකතුවෙලා ඔබේ මුදල් ඉවක්බවක් නැතිවම නාස්ති කරාවි.

ශීතකරණයේ බඩු සම්පූර්ණයෙන් ම ඉවතට අරගෙන පිරිසුදු කිරීම අරඹන්න. මෙහිදී දොර දෙකේ ශීතකරණයක් නම් පළමුව පිරිසුදු කරගත යුත්තේ පහළ කොටස. මොකද ඉහළ කොටසේ තියෙන්නේ වැඩි වේලාවක් සාමාන්‍ය උෂ්ණත්වයට නිරාවරණය කර තැබිය නොහැකි දේවල්. මේවා ඉක්මනට දියවෙන්න, නරක් වෙන්න පුළුවන්. ඒත් තනිදොරේ ශීතකරණයක නම් ඔබට වැඩි වේලාවක් ගත නොකරම එය පිරිසුදු කරගන්නට වේවි. පහළ කොටස පළමුව පිරිසුදු කෙට අධිශීතකරණ කොටසේ ඇති දේවල් පහළ කොටසට දමා ඉන්පසුව ඉහළ කොටස පිරිසුදු කරගැනීමත් කළ හැකියි.

ශීතකරණයේ ඇතුළත පිසදා ගැනීමට මයික්‍රෝෆයිබර් ටවල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ ටවල් එක මුළුතැන්ගෙයි ඇති රයිස් කුකරය, බ්ලෙන්ඩරය, ඉලෙක්ට්‍රික් ජග් එක, ටෝස්ටරය... මේ ආදී විද්යුත් උපකරණ කිහිපය පමණක් පිසදා ගැනීමට තබා ගන්න.

මේ ටවල් එකෙන් ශීතකරණය ඇතුළත වැටී ඇති දේවල් පැල්ලම් ආදිය හොඳින් පිසදා ගන්න. මුළුතැන්ගෙයි පිරිසුදුකාරක ඕනෑ තරම් වෙළෙඳපොළේ ගන්න තිබෙනවා. එවැනි බෝතලයක් ඔබට මාසයක් දෙකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතිං ශීතකරණය පිරිසුදු කරගන්නත් මෙවැනි පිරිසුදුකාරකයක් භාවිත කළ හැකියි.

ශීතකරණයේ ඇති රාක්ක ආදිය පිටතට ගෙන හොඳින් සෝදා පිසදා ගන්න. පිසදා ගෙනයි මේවා නැවත අසුරා තැබියයුතු වන්නේ. වතුර ගැසුවට පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මෙහිදී නිකම් වතුරින් පිසදා පසුව ලා රස්නේ වතුරට දෙහි යුෂ ටිකක් එකතු කරන්න පුළුවන්. දුගඳක් ඇත්නම් එයත් ඉවත් වේවි.

ශීතකරණය පිරිසුදු කරද්දී එහි ඇතුළත පමණක් නොව පිටතද පිරිසුදු කළ යුතුයි. සාමාන්‍ය ඇල් ජලයෙන් හෝ වෙට් ටිෂූ මඟින් පිටත පිරිසුදු කරගත හැකියි.

ශීතකරණයේ දොරේ බෝතල් වශයෙන් එන දේවල් අසුරා තබන්න පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක්, සැලඩ් ඩ්‍රෙසිං, ජෑම් විවෘත කළ පසු ශීතකරණයේ අසුරා තැබිය යුතු සෝස් බෝතල් ආදිය තබන්න. මොකද දොරේ කෙලින් අතට මේ දේවල් පහසුවෙන් අසුරා තබන්න පුළුවන්. මේ දේවල් පිටතට ගෙන නැවත දමද්දි හොඳින් පියන මූඩිය ආදිය වහන්නත් අමතක කරන්නත් එපා.

බටර්, මාගරින්, චීස් වගේ දේවලුත් දොරේම තියන්න පුළුවන්. හැබැයි මොසරැල්ලා චීස් වගේ දේවල් නම් අධිශීතකරණයේ තැබුවොත් වඩාත් නැවුම් ව තිබේවි.

අපි සාමාන්‍යයෙන් පාන් ශීතකරණයේ දාන්නේ හරිම අඩුවෙන්. ඉතිරි වුණු පාන් ගබඩා කළ යුතු වන්නේ අධි ශීතකරණ කොටසේ. පෙති කපලා සෙලෝෆේන් කවරයක බහා දමනවා නම් තමයි වඩාත් සුදුසු. පහුවදා කෑමට විනාඩි 20, 30 පමණ පෙර මේ පාන් ඉවතට ගෙන තබා කෑමට ගනිද්දී නැවුම් විදිහට ම කන්න පුළුවන්.

ශීතකරණයේ අලුත්ම එළවළු, පලතුරු, මස්, මාළු වගේම පිසූ ආහාරවල ඉතිරි කොටස් අසුරා තබන බව අපට අමතක කරන්න බැහැ. ඉදිරි සතිවලදී අපි ඒ ගැනත් කතා බහ කරමු.