සලබයකුගේ හැඩය ඇති ෆැලනොප්සිස්

දෙසැම්බර් 20, 2021

අලංකාර මල් කලඹක් යනු මනාලියකගේ සොඳුරු රූ සපුව තවත් ඔප මට්ටම් කරවන්නකි. මේ නිසාම සෑම යුවතියකම පාහේ තම විවාහ මංගල දිනයේ දී සුන්දර මල් කලඹක් නිර්මාණය කරගන්නට පෙරුම් පුරති.

ඒ අතරින් උඩවැඩියා මල් කලඹට වැඩි කැමැත්තක් දක්වන අතර ෆැලනොප්සිස් ඕකිඩ් යනු මනාලියන් වැඩිම ප්‍රියතාවයක් දක්වන උඩවැඩියා ප්‍රභේදයයි.

 

ඒ නිසාමදෝ මන්දා ෆැලනොප්සිස් (Phalaenopsis) මලට උඩවැඩියා ලෝකය තුළද සුවිශේෂී තැනක් හිමි වේ. සලබයකුගේ හැඩරුව සිහිගන්වන මේ ඕකිඩ් ප්‍රභේදය විවිධ දේශගුණික තත්ත්වයන් යටතේ වගා කළ හැකියි. මේ නිසාම මෙරට බොහෝ ප්‍රදේශවල මේ ෆැලනොප්සිස් පහසුවෙන්ම වගා කළ හැකි වීමත් විශේෂත්වයකි.

මලෙහි විශාලත්වය

සාමාන්‍යයෙන් ෆැලනොප්සිස් ශාකය වෙත ලැබෙන ආලෝකය ප්‍රමාණය සහ ආර්ද්‍රතාව මත මල්වල විශාලත්වය වෙනස් වේ. ඒ අනුව ඇතැම් තැනෙක වගා කළ ෆැලනොප්සිස් මලක විෂ්කම්භය සෙන්ටිමීටර් 10ක් පමණ වන අතර තවත් තැනෙක වැඩුණු මලක් සෙන්ටිමීටර් 06ක පමණ විෂ්කම්භයකින් යුතු විය හැකියි.

 

වැඩි මල් ප්‍රමාණයක්

මනාලියන්ගේ මල් කලඹ සඳහා බොහෝවිට යොදා ගැනෙන්නේ සුදු පැහැති ෆැලනොප්සිස් මලයි. මේ එක් මලක් රුපියල් 100ත් 200ත් අතර මිලකට අලෙවි වේ. එක් කිනිත්තක ෆැලනොප්සිස් මල් 15ක් පමණ හටගන්නවා සේම මේ උඩවැඩියා වර්ගය වසරකට කිහිප වතාවක්ම මල් පිපෙන ප්‍රභේදයකි. එමෙන්ම තවත් අවස්ථාවලදී මල් කිනිත්ත අතු කිහිපයකට බෙදී මල් සංඛ්‍යාව කිහිප ගුණයකින් වැඩිවන අයුරුද දැකගත හැකියි.

එකම ශාකයේ එකවර ෆැලනොප්සිස් මල් කිනිති කිහිපයක් හටගන්නා අවස්ථා ද දැකිය හැකියි. එවැනි අවස්ථාවක් යනු ෆැලනොප්සිස් ගස මලින් බරවන සොඳුරු මොහොතකි.

සූර්යාලෝකය හොඳින් පතිතවන ස්ථානවල සේම කෘත්‍රිම ආලෝකය යටතේ ද මේ ශාකය හොඳින් වැඩෙනු ඇත. විශේෂයෙන්ම ජනේල පුවරු මත ඉතාමත් සාර්ථකව වැවෙන ඕකිඩ් වර්ගයක් වූ මේ ෆැලනොප්සිස් වඩාත් ජනප්‍රියව ඇත්තේ ගෘහස්ථ, පැළෑටියක් (House Plant) වශයෙනි.

ෆැලනොප්සිස් ශාකය සතු තවත් සුවිශේෂතා අපි ලබන සතියේ දී හඳුනා ගනිමු.

 

 

උපදෙස්

සුමුදු ඕකිඩ්ස් හි

ජයන්තිමාලා එදිරිසිංහ