මුළුතැන්ගෙයි උද්‍යානයට කහ සහ ඉඟුරු වගාවක්

පෙබරවාරි 28, 2022

 

රම්පෙ, කරපිංචා දෙක යුගළ පද වගේ එකටමයි කියැවෙන්නෙ. ඒවගේ තවත් රසකාරක දෙකක් තමයි ‘කහ - ඉඟුරු‘. කෑම රස කරන්නට මේවා නැතුවම බැහැ. වර්ණය සහ විසබීජ නාශක ගුණය කහ වල විශේෂයි.

ඉඟුරු රසකාරකයක්, සුවඳ කාරකයක් වගේම මාහැඟි ඖෂධයක්. මස් මාළු ටිකක් හරියකට උයාගන්න ඉඟුරු නැතිවම බැහැ. මේ වර්ග දෙකම වාර්ෂික බෝග. දැන් අස්වැන්න නෙළන කාලෙ. ලබන මාස දෙක තමයි නව වගාවට සුදුසුම කාලය. ඒ හින්දා දැන් ඉඳලම සූදානම් වෙමු.

මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1500ක් දක්වා කහ වගාව සිදුකරන්න පුළුවන්. ජල සැපයුමක් කළ හැකි නිසා ගෙවතු පහසුවෙන්ම ගෙවත්තේ වගා කළ හැකියි. වියළි කලාපයෙන් වගා කිරීමේ හැකියාව තිබෙනවා.

ඉතා හොඳ ජල වහනයක් සහිත වැලිමිශ්‍ර ලෝම පස කහ වගාවට අතිශයින් සුදුසුයි. නිතර තෙතමනය පැවතීම, මැටි ගතිය සහ ගල් බොරලු මෙන්ම කබොක් පසද කහ වගාවට ගැළපෙන්නේ නැහැ.

වියළි කලාපයට වගා සමය ලෙස සැප්තැම්බර් - නොවැම්බර් කාලය ගැළපෙනවා. සෘජුව හිරු එළියට නිරාවරණය වීම නොගැළපෙන කහ ශාකය මඳ හිරු එළිය ප්‍රිය කරනවා. සාමාන්‍ය සූර්ය පතනයක් සහිත ඉඩම්වල සාර්ථකව වගා කළ හැකියි.

මේ කතා කරන්නේ ගෙවතු වගාවක් නිසා ව්‍යාපාරික වගාවකදී තරම් ගැටලු ඇතිවන්නේ නැහැ.

රෝපණ ද්‍රව්‍ය ලෙස මව් අලය වටා ඇති හොඳින් මේරූ රෛසෝම (ඇඟිලි වැනි) මේ සඳහා තෝරා ගත යුතුයි. අග අංකුර දෙකක්වත් තිබෙන අල කැබැලි තෝරා ගන්න.

බිම සිටුවනවා නම් අඩි 4x10 පාත්තියක් අඩියක් පමණ යටට කොටා කැට කුඩුකර ගන්න. පැළ අතරේ අවම අඩියක පරතරයක් තබන්න.

රෝපණය කරන අල කැබැලි අඟල් 2 - 3 පමණ පසට යට කළ යුතුයි. අනතුරුව පිදුරු, වියළි තණකොළ, දහයියා හෝ කොළ රොඩු වලින් වසුනක් දමන්න. මාස එකහමාරකට පමණ පසු ගොම, දහයියා අළු, කොම්පෝස්ට් පැළයකට ග්‍රෑම් 500ක් පමණ එකතු කරන්න.

 

* පොලිකවර භාවිතය

නිවෙසට සහල් ගෙනෙන පොලිසැක් කවර මේ සඳහා ඉතාමත්ම සුදුසුයි. මෙය මහල් නිවාස සඳහා ද පහසුවෙන් භාවිත කරන්නට පුළුවන්. පොලිතීන් කවර වුවද ගැළපෙන නමුදු ජල වහනයට සිදුරු තැබීම අත්‍යවශ්‍ය වෙනවා. කවරවලට පස් පුරවද්දී ට්‍රිපල් පොස්පේට් පොහොර ග්‍රෑම් දහයක් පමණ යෙදීමෙන් ප්‍රශස්ත ආරම්භක වර්ධනයක් ලබා ගත හැකියි. සාමාන්‍යයෙන් මාර්තු - අප්‍රේල් වගා කළා නම් ජනවාරි මාසයේ දී අස්වැන්න ලබා ගත හැකියි.

පසෙහි තදබවක් ඇතිවීමට නොදී කාබනික ද්‍රව්‍ය (වැලි සහිත) පමණක් යොදා ගැනීමෙන් සහ සාමාන්‍ය තෙතමනයක් ලැබෙන පරිදි ජලය සැපයීමත් සිදු කළ යුතුයි.

මේ ආකාරයට හොඳින් නඩත්තු කෙරෙන වගාවකින් (පඳුරු දහයකින් පමණ) වාර්ෂික ගෘහ අවශ්‍යතාව සපුරා ගන්නට පුළුවන්.

 

*පරිභෝජනයට සැකසීම

රැස් කරගත් කහ මව් අලයෙන් වෙන්කර ගෙන පස් ඉවත්කර හොඳින් සෝදා පිරිසුදු කර ගන්න. අනතුරුව මුට්ටියකට දමා තම්බන්න. මිනිත්තු 35 - 45 අතර කාලයකදී තැම්බීම සම්පූර්ණ වෙනවා. අලයක් දෙකට කඩා බලනවිට නූල් ඇදෙන ස්වභාවයක් දකින්නට ඇත්නම් බා ගන්න පුළුවන්. පළමු දින පැය තුනක් ආදී වශයෙන් කාලය වැඩි කරමින් දින පහකට පමණ පසු තවත් සතියක් පමණ තද අව්වේ වේළා ගන්න. හොඳින් වියළුණු කහ කවරයකට දමා සොලවද්දී ඇසෙන්නේ ලෝහ ගැටීමෙන් නැඟෙන ආකාරයේ හඬක් නම් දින කීපයකට ප්‍රමාණවත් ලෙස කුඩු කර ගන්න.

 

 

උපදෙස් - අජන්ත ජයසේකර