මංතීරු නිවෙසකට ඔබින්නේ නැහැ

සිහින නිවෙසේ සැලසුම නිවැරැදිව අඳිමු
අගෝස්තු 15, 2022

 

ඔබේ සිහින නිවෙස සැලසුම් කරන්න අත්වැලක් වන්නට අපි හැමදාමත් සූදානම්. ඒ වෙනුවෙන් ඔබට දැනුම, අවබෝධය ලබාගත හැකි වටිනා ලිපි තරුණී මඟින් නිරන්තරවම ගෙන එන්නෙමු. පසුගිය සතියේ සැලසුම නිවැරැදිව සකස්කරන ආකාරය පහදා දුන් අතර අද අපි ඒ ගැන තවදුරටත් විමසා බලමු.

 

හැම දෙනාම ඇතුළු වන බිම් මහල ගැන හිතුවාද?

 

නිවෙසේ බිම් මහල විශේෂයෙන්ම ඉඩකඩ පවතින නිදහස් අවකාශයන්ගෙන් යුක්ත විය යුතුයි. ඒ කියන්නේ නිවෙසේ ඇතුළත පවතින බිත්ති ප්‍රමාණය අවම කිරීමෙන් නිදහස් බිම් ප්‍රමාණය වැඩි කර ගත යුතුයි. නිදන කාමර ප්‍රමාණය බිම් මහලේ දී අඩු කිරීම කියන්නේ මෙය කළ හැකි එක් ක්‍රමයක්. මොකද, කාමර කියන්නේ හතර පැත්තෙන්ම බිත්තිවලින් වට වුණු ඒවා නිසා. අනවශ්‍ය ආකාරයේ මංතීරු (පැසේජස්) නිවෙසකට ඔබින්නේ නැහැ. එමඟින් නිවෙසේ ඇතුළත ඉඩකඩත් ඇහිරෙනවා. ආලෝකය හා වාතාශ්‍රය අඩුකම ශරීර සෞඛ්‍යයට අහිතකර වගේම අඳුරු බව අදෘශ්‍යමාන අහිතකර බලපෑම්වලට තෝතැන්නක්. නිවෙසක් සෑම විටම සැලසුම් කළ යුත්තේ ස්වාභාවික ආලෝකය හා වාතාශ්‍රය නිවෙසේ හැකිතාක් ඇතුළටම නිරායාසයෙන් යා හැකි ආකාරයටයි. නිවෙසක දිවාකාලයේ දී විදුලි බුබුළු දල්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේමයි නිවෙසට එන සිසිල් වාතාශ්‍රය ඔබගේ ගත සිත ප්‍රබෝධවත් කරමින් චක්‍රාකාරව නිවෙසින් බැහැර වන ආකාරයට සැලසුම් කරගත යුතුයි. එවිට විදුලි පංකා අවශ්‍ය වෙන්නේ නැහැ. දිශා අතින් ගත් විට උතුර, ඊශාන, නැගෙනහිර වඩාත් වැදගත් වෙනවා. මේ දිශාවන් වසාගෙන නිවෙසක් සෑදීම මුළු ගෙදරම අඳුරු කර ගැනීමක්.

 

වාස්තු දෝෂයන් දැනගෙන එක් කළ යුතු මැද මිදු‍ල

ගෙදර අලංකාරය ගැන සිතන ඔබට මැද මිදුල (courtyard) වඩාත් වැදගත්. ගේ ඇතුළේ දී ස්වාභාවික පරිසරය හා මුසුව මිදුලක ඉන්නවා වැනි හැඟීමක් දැනෙයි. ඉහළට විවෘත වන මැද මිදුලකින් මනාව ඉහළ පහළ වායු සංසරණයක් (Air Circulation) ඇති වෙනවා. ඒ වගේම ඌර්ධ මුඛව ඇරුණ නිසා ඇතැම් වාස්තු දෝෂයන් තුලනය කිරීමට යොදාගත හැකි පිළියමකුත් වෙනවා. නිවාස සැලසුම් අනුමත කර ගැනීමේ දී ඉඩමේ ඉඩකඩ අනුව මේවා අවශ්‍ය වියහැකියි. මැද මිදුල තෙමන ආකාරයට සකසනවා නම් මෙම තෙමෙන කවුළුවලට (වහලයේ) වඩාත් වැඩි ඉඩ ප්‍රමාණයක් ලැබෙන පරිදි සියලුම මහල් සඳහා වර්ගඵලය ගළපා ගන්න. මෙලෙස වැඩි ඉඩකඩක් වෙන් කරන්නේ සුළඟත් සමඟ එන වැහි බිංදු නිසා නිවෙසේ ඇතුළත තෙත් වීම අවම කිරීම සඳහායි.

එමඟින් ගෘහ භාණ්ඩ ආදිය සඳහා යම් ආරක්ෂාවක් සැලසෙනවා. එමෙන්ම ටයිල් මතට හිරිකඩ වැටී ලිස්සා යාමෙන් වන අනතුරු අවම කරගැනීමටත් හැකියි. ඔබ මැද මිදුල ආශ්‍රිතව ජල පොකුණක් සාදන්නට බලාපොරොත්තු වන්නේ නම් එම ජලය නිතරම ගලායාමට හෝ චලනය වීම්වලට ලක් කළ යුතුයි. දිය ඇල්ලක් ආකාරයට හෝ ජලය තුළින් බුබුළු දමන ආකාරයට මෙය කළ හැකියි. එකතැන රැඳුණු ජලය පල්වී අපවිත්‍ර වීමට වැඩි කාලයක් ගත නොවේ. ඒ වගේමයි ඔබගේ ජීවිතයත් එක ස්ථානයේ නො තිබී දියුණුවෙන් දියුණුවට ඉහළටම යාමට රුකුලක් වෙන්නයි ජලයට වුණත් මේ ආකාරයට නිවෙස තුළ දී ගම්‍යතාවක් ලබාදෙන්නේ. මෙම සරල සිද්ධාන්තය ඔබටත් වැටහෙනවා ඇති. ඇතැම් අවස්ථාවල දී මැද මිදුලක් නිසා සෙම් රෝග ආදිය නිවැසියන්ට සෑදිය හැකි බවත් සැලකිය යුතුයි. නිවාස සැලසුමකට මැද මිදුලක් එක් කර ගන්නා ආකාරය දැන් ඔබට පැහැදිලි ඇති. නිවෙසක අතුළෙත තෙමෙන ආකාරයට පිළියෙල කරගන්නවා නම් සහ පොකුණක් ඉදිකර ගන්නවා නම් විශේෂයෙන්ම වාස්තු කාරණා පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි.

සිවිල්/ව්‍යුහාත්මක ඉංජිනේරු, වාස්තු විද්‍යා විශාරද ආචාර්ය

ගයාන් එරමුදුගොඩ ලියයි