ගෙවතු වගාවේ යෙදෙන්න උපකරණත් ඕනේ නේද?

සැප්තැම්බර් 26, 2022

 

ගෙවතු වගාව බොහෝ දෙනකුට ආගන්තුක දෙයක් නොවේ. එහෙත් පවත්නා ආර්ථික අර්බුද තත්ත්වයත් සමඟ ගෙවතු වගාවට යොමු වන පිරිස දිනෙන් දින වැඩි වේ. මේ සඳහා නාගරික අයත් එක්වන නිසා බොහෝ දෙනෙක් ගෙවතු වගාවේ යෙදීමට අවශ්‍ය වන උපකරණ හඳුනන්නේ නැත.

අපේ මේ වෑයම එදිනෙදා ඔබේ ගෙවත්තේ වැඩ කිරීමේදී අවශ්‍ය වන උපකරණ කිහිපයක් හඳුන්වා දීමටයි.

හොඳම අත් මෙවලම් සොයන විට ඔබ පරීක්ෂා කළ යුතු එකම දෙය වන්නේ එයින් සිදු කරන කාර්යයන් සහ කල් පැවැත්මයි. මෙම උපකරණ නිෂ්පාදනයේ දී භාවිත කරන ද්‍රව්‍යවල ගුණාංග මත ඒවායෙහි කල්පැවැත්ම තීරණය වේ.

 

විසි කැත්ත (Grass Whip Slasher/Weeder)

උසට වැඩුණු වල් පැළෑටි හා තෘණ කපා දමා භූමිය එළිපෙහෙළි කර ගැනීමට උපයෝගී කර ගන්නා උපකරණයකි. අධිකාබන් වානේවලින් තනන මේ උපකරණයේ දිග මිලිමීටර 750, 800 හා 1000 ප්‍රමාණයෙන් ද පළල මිලිමීටර් 30-50 කින් යුතුය. ඝනකම මිලිමීටර් 2-3 ක් වන පට්ටමේ එක් කෙළවරක් සෙන්ටිමීටර් 15 දිගක් උඩු අතට නමා කැපුම් දාර දෙකම මුවහත් කර විසි කැති තනනු ලැබේ. එහි අනෙක් කෙළවරට මිලිමීටර් 150 -180 ප්‍රමාණය දැවයෙන් තැනූ මිටක් සවි කෙරේ.

 

අත් ඉස්කෝප්පය (Hand Spade (Garden Trowel)

කෙටි හැඬලයක් සහිත කුඩා තලයකින් යුක්ත උපකරණයකි. පළල සෙන්ටිමීටර් 6, 8 හා 9 වන ලෙස තනන තලයක උස ප්‍රමාණය සෙන්ටිමීටර් 16.5 කි. තලය අසලටම සමීපවන පරිදි සවිකරන ලද මිටක (හැඬලයක) දිග ප්‍රමාණය සෙන්ටිමීටර් 13.5 ක් වේ. පාත්තියක පස හාරා ගැනීමට, පස් ඉවත්කර ගැනීමට හෝ බඳුනකට පස් පිරවීමට මේ උපකරණ භාවිත කළ හැකියි. බිම හිඳගෙන පාත්තියක පැළයක් රෝපණය කර ගැනීමට හෝ තවානකින් පැළයක් උගුල්ලා ගැනීමට වුව ද උපයෝගි කර ගත හැකිය. එමෙන්ම විශාල ප්‍රමාණයේ ඉස්කෝප්ප හිටගෙන හෝ තරමක් කොන්ද ඉදිරියට නමාගෙන කරනු ලබන කාර්යයන් සඳහා උපයෝගි කර ගත හැකියි. මෙවැනි ඉස්කෝප්ප ප්‍රධාන වශයෙන් කැණීම් මෙවලමක් ලෙස නිර්මාණය කර ඇත. තලයක උස සෙන්ටිමීටර් 32 ක් වන අතර පළල සෙන්ටිමීටර් 16 කි. තලයේ ඝනකම මිලිමීටර් 1.75 කි. හැඬලයේ දිග ප්‍රමාණය සෙන්ටිමීටර් 70 කි. සාමාන්‍යයෙන් සවලකට වඩා ශක්තිමත්ය. තලයෙහි උරහිස ඉදිරියට නමා ඇති හෙයින් ගම්බූට් පැලඳි පයක් තබා තලය පොළවට වැරෙන් යොමු කළ හැකිය.

 

අත් රේක්කය (Hand Rake)

සකස්කරන ලද පාත්ති මතුපිට පස් කැට, ගල් කැබලි හා රොඩු සහ මුල් කැබලි ඉවත්කර පස සියුම්ව සකසා ගැනීම සඳහා මෙය උපයෝගී කර ගැනේ. කෙටි ශක්තිමත් සැහැල්ලූ දැව හෝ ගැල්වනයිස් ලෝහ නළ ඇසුරෙන් මෙන්ම දැව භාවිතයෙන් ද දිග සෙන්ටිමීටර් 30 කින් යුක්ත වනසේ මිට (හැඬලය) සකසා ඇත. සෙන්ටිමීටර් 5 ක් උසැති කූරු 5 සිට 12 දක්වා වූ හිස කොටසින් යුතු අත් රේක්කය දැකිය හැකියි. එසේම එම කූරු සෘජුව හෝ ස්වල්ප වශයෙන් අවතල හැඩයකින් යුක්තව නිපදවා තිබේ.

 

වටාපත් රේක්කය (Shrub rake)

බිම හිඳගෙන හෝ කොන්ද තරමක් නමාගෙන ගෙවතු වගාවේ දී ඝනව වැඩුණ පඳුරු යට හෝ අඩු පරතර සහිතව සිට වූ මල් පැළ හෝ ගෙවත්තක වූ බෝග වියන් යට කොළ රොඩු ඉවත් කිරීමට හා පිරිසුදු කර ගැනීමට උපයෝගි කර ගත හැකි සරල උපකරණයකි. කෙළවර අංශක 80-90 නමන ලද අඟල් 5 ක් පමණ දිගු මෘදු වානේ පටි හෝ ඝන පොලිමර් පටි රැසක් පරතර සහිතව සමාන්තරව පිහිටුවා ඇත. ඒවායෙහි සෘජු කෙළවර එකට එකතුකර අල්ලුවකින් මිටකට සවිකර නිපදවා ඇත.

 

ගෙවතු රේක්කය (Garden rake)

ගෙවතු ක්‍රියාකාරකම් සඳහා භාවිතයට ගනු ලබන රේක්ක කූරු 12 ක් හෝ 14කින් යුතුව තනි වාත්තු ඒකකයක් ලෙසින් නිපදවනු ලැබේ. යකඩ පට්ටම් මත ඇණ පෑස්සීමෙන් නිපදවන රේක්ක කල් පැවැත්මෙන් අඩු වේ. සැහැල්ලූ ශක්තිමත් දැව හෝ ගැල්වනයිස් ලෝහ නළ ඇසුරෙන් දිග මීටර 1.5 ප්‍රමාණයකට මිට සකසා ඇත. පස් කැට හා ගල් බොරළු ඉවත් කිරීම සඳහා කෙටි දත් සහිත රේක්කයක් Rake භාවිතයට ගන්න.