කීකරු කරගන්න නම් පුහුණුව වැදගත්

ඔක්තෝබර් 10, 2022

 

එක් පුද්ගලයකු පමණක් සුරතලාට ආහාර දීම සිදු කිරීමට වගබලා ගත යුතුයි. මවුකිරි ලබා දීමේදී මව සහ දරුවා අතර බැඳීමක් ඇති වන්නා සේ සුරතලාගේ රුචිකත්වය අවධානය ගොඩනැඟෙන පරිදි ආහාර දීම කළ යුතුයි.

අද අපි සුරතලුන් පුහුණු කිරීම (pet Training) ගැන කතා කරමු. ඇයි අපි සුරතලුන් පුහුණු කළ යුත්තේ? එයට ප්‍රධාන හේතුව තමයි සුරතලුන්ගේ චර්යාවන් අපට ඕනෙ විදියට නැතිකම. එනම් කීකරු සුනඛයෙක්ව රැකබලා ගැනීමට තමයි අපි කැමැති. මේ චර්යාවන් අපට අවශ්‍ය පරිදි පුහුණු කරනවා කියන්නේ හරියට ඔබේ පුංචි දුව පුතාට හොඳ නරක කියලා දීලා ඔවුන්ව රැකබලා ගන්නවා වගේ දෙයක්. ඇවතුම් පැවතුම් කියලා දීම, කෙනෙක් ඉස්සරහ හැසිරෙන විදිහ, වාහනයක යන ආකාරය පිළිබඳ කියා දී ඔවුන් හික්මුණු දරුවෙක් බවට පත් කරන්නා සේ ඔබේ සුරතලාව ද පුරුදු පුහුණු කිරීම තුළින් මනාව හික්මුණු සුරතලෙක් බවට පත් කර ගත හැකියි.

 

සුරතලෙක්ව පුරුදු කිරීමේ දී පුරුදු කළ යුත්තේ කුමන වර්ගයේ සුරතලුන් ද යන්න පළමුව දැනගත යුතුයි. විශේෂයෙන් ආනයනය කරන සුරතලුන් පමණ ද එලෙස පුරුදු පුහුණු කළ හැකි වනුයේ? එසේත් නැතිනම් ලංකාවේ සිටින සුරතලුන් පුරුදු කළ නොහැකි ද? මෙවැනි ගැටලු ඔබටත් පැන නඟීවි. එහි ඇති සත්‍ය අසත්‍යතාව අපි විමසා බලමු.

 

ඇත්තෙන්ම සුරතලාගේ මුල් ජානවල පවත්නා බුද්ධිමත්භාවය මෙයට බලපානවා. එය මවුපියන්ගේ ජාන මත දරුවකුගේ අධ්‍යාපනය, හික්මීම වැනි කරුණු දරුවාට බලපානවා වැනිය. එහෙත් මවුපියන්ගේ මුල් ජානවල මෙවැන්නක් නොමැති වූවා කියා දරුවාට පුරුදු පුහුණු කිරීමෙන් ගොඩනගා ගත නොහැකි නොවේ. ඒ වගේමයි ඔබේ සුරතලා කුමන වර්ගයේ කෙනෙක් වුවද ඔබට අවශ්‍ය පරිදි පුහුණු කළ හැකියි. එමඟින් හික්මුණු සත්ත්වයෙක් බවට පත් කළ හැකියි. අවශ්‍ය වන්නේ ඔබේ කැප කිරීම පමණි.

 

සුරතලකු පුහුණු කිරීමේ ආකාර 2කි.

1. සුරතලෙක්ව කීකරු කිරීම සම්බන්ධව පුහුණු කිරීම.

2. සංදර්ශන සඳහා/රාජකාරී සඳහා පුරුදු පුහුණු කිරීම.

 

ඉන් පළමු වැන්න වන සුරතලාව කීකරු කිරීමට අයත් වන්නේ, සාමාන්‍යයෙන් ගෙදරක ඇති දැඩි කරන විට, මහා මාර්ගයේ රැගෙන යන විට, වාහනයක ගෙන යාමේදී සහ නිවෙස තුළ කාලය ගත කිරීමේදී හික්මුණු කෙනෙක් බවට පත් කිරීමට අවශ්‍ය ව්‍යායාමයි. මෙහිදී සුරතලාගේ වයස් මට්ටම බලපායි. මේ සඳහා සුදුසුම වයස ලෙස මාස තුනක් වීම ප්‍රමාණවත්. මෙය කුඩා දරුවකු පෙර පාසලට ඇතුළත් කරන්නට පෙර නිවෙසේදී මව සහ පියා පුංචි පුංචි ක්‍රියාකාරකම් කියා දීමක් වැනිය.

 

විශේෂයෙන්ම සුරතලාව පාලනය කළ හැකි හඬකින් කතා කරන්න පුරුදු වන්න. ඒ වගේම වැදගත්ම දෙයක් වන්නේ ආහාර ලබා දීමේ පිළිවෙළ හුරු කිරීමයි. මෙහිදී එක් පුද්ගලයකු පමණක් සුරතලාට ආහාර දීම සිදු කිරීමට වගබලා ගත යුතුයි. මවුකිරි ලබා දීමේදී මව සහ දරුවා අතර බැඳීමක් ඇති වන්නා සේ සුරතලාගේ රුචිකත්වය අවධානය ගොඩනැඟෙන පරිදි ආහාර දීම කළ යුතුයි. මෙහිදී ආහාර වශයෙන් හුරු කර ගන්නේ, වැඩි කැමැත්තක් දක්වන්නේ කුමන ආහාරවලට ද යන්න තේරුම් ගත යුතුයි. එවිට පාලනය කර ගැනීමේදී පුංචි අල්ලසක් ලෙස මේවා යොදා ගත හැකියි.

 

මීළඟ වැදගත්ම කාරණය සුරතලාගේ මල මුත්‍රා පිට කිරීමේ පිළිවෙළයි. මේ සඳහා සුරතලා තෝරාගත් ස්ථානය හොඳින් පිරිසුදු කරගන්න. එහිදී යම් සුවඳකාරක ද්‍රව්‍යයක් ඉසින්නට අමතක කරන්න එපා. එමඟින් සුරතලාට එම ස්ථානය අමතක වී යනු ඇත. නව ස්ථානයක් පුරුදු කිරීමට එය පහසු වන ඇත. ඔබ කොයිතරම් පුරුදු පුහුණ කළත් නියමිත ස්ථානයට නොයන්නේ නම් යම් තරමක පුංචි තරවටු කිරීමක් සිදු කරන්න.

 

තවද පුංචි පුංචි වචන භාවිතය (come එන්න, Go යන්න, Sit වාඩි වෙන්න) මඟින් ද ඒවා ක්‍රියාවෙන් ද පුහුණු කරන්න. මෙයට අමතරව ත්‍රිවිධ හමුදාවට හෝ සංදර්ශන සඳහා සුනඛයන් පුහුණු කිරීමේදී ඒ සඳහා සුදුසුකම්ලත් පුහුණුකරුවකු වෙත යොමු කළ හැකියි. සුනඛ සංදර්ශන භූමියකට ඇතුළත් වීමේ රටාවක් පවතී. මෙහිදී සුනඛයා එම රටාවට අනුගතව පුහුණු කිරීම අවශ්‍යයි.

 

මේ මොන දේ පුරුදු පුහුණු කරන්නට හැදුවත් ඊට අමතරව ඔබ සුනඛයාව හොඳින් හසුරුවා ගැනීමට දැන සිටිය යුතුයි. එය දෛනික ක්‍රීඩා කිරීම, ඇවිදීම වැනි ක්‍රියාකාරකම් මඟින් සිදු කළ හැකියි.

 

 

උපදෙස්

පශූ වෛද්‍ය

නුවන් වික්‍රමසිංහ

Dr. pet Hospital