නිදහසේ වීදිවල සැරිසරන්නේ නම් රෝග අවදානම වැඩියි

නොවැම්බර් 7, 2022

 

පුංචි සුරතලෙක් ඉන්න ගෙදරක් හරියට සිඟිති දරුවෙක් ඉන්න ගෙදරක් වගේ. ආදරය, අවධානය නිතැනින්ම අවැසියි. ඔබේ සුරතල් සුනඛයා නිවෙසේ හෝ ඔබේ ගෙමිදුලේ සෙල්ලම් කර කර ඉන්න අවස්ථාවක වෙනත් සුනඛයෙක් ඒ අසලට ආවොත් එම සතාට ඇති යම් රෝගයක් බෝවන්නට අවස්ථාව තිබේ. එසේත් නැතිනම් ඔබේ සුරතලා ඔබේ අවධානයෙන් ගිලිහී ගිය මොහොතක නිදහසේ සැරිසරන්නට යාමේදී එම සුරතලාව රෝගී විය හැකියි.

 

ඒ රෝග ම දරුණු අතට ද පෙරළීමේ අවස්ථාව වැඩියි. එනම් නිදහසේ වීදිවල සැරිසරන්නේ නම් ලිංගාශ්‍රිත පිළිකා රෝග බෝවීමේ අවදානමක් තිබේ. විශේෂයෙන්ම සුනඛයන්ට සෑදෙන ලිංගාශ්‍රිත රෝග විදියට දිලීර රෝග, බැක්ටීරියා රෝග, වයිරස් රෝග, පිළිකා රෝග හඳුන්වන්න පුළුවන්. ඒ අතර ලිංගාශ්‍රිත බෝවන රෝග වර්ග 3ක් තිබෙනවා. එනම්

බෘසෙල්ලෝසීස් (Brucellosis)

හර්පීස් (Canine Herpes)

පිළිකා රෝගය (Tran smissible venereal Tumour Tvt)

 

ලංකාවේ බහුල වශයෙන් දකින්න ලැබෙන්නේ මේ tvt කියන රෝගයයි.

අපි අද කතා කරන්නේ මේ tvt රෝගය ගැනයි.

මෙය ප්‍රධාන වශයෙන්ම ලිංගාශ්‍රිතව බෝවන පිළිකා රෝගයකි. රෝගය තිබෙන සතකුගෙන් නීරෝගි සතෙක් ස්පර්ශ වුවහොත් මේ රෝගය වැලඳීමේ ප්‍රවණතාවය වැඩියි.

එනම් පිළිකා සෛල කටේ, ඇස්වල, තුවාලයක වගේ ගෑවුණොත් ඒ ඒ තැන්වල මේ පිළිකාව සෑදෙන්නට පුළුවන්. පිරිමි සතුන්ගේ නම් නහය ආශ්‍රිතව හැදෙන්න පුළුවන්. මොකද ඔවුන් ගැහැනු සතුන්ගේ ලිංග ප්‍රදේශය ඉව කරන නිසා.

සුරතලාගේ මුත්‍රා කරන ප්‍රදේශයේ ලේ ගුළියක් වැනි රතු පැහැ ගුළියක් තිබීමෙන් මේ රෝගය හඳුනා ගන්න පුළුවනි. තවද එම ප්‍රදේශයෙන් රුධිර බිංදු නිතර නිතර වැටෙනවා නම් ඒ එම රෝගයේ හඳුනා ගැනීමේ සලකුණුයි. ගැහැනු සුනඛයකුට මේ රෝගය වැලඳුණහොත් ඔබට සිතේවි එම සතාගේ ගර්භාෂය එළියට ඇවිත් කියා.

එසේම පිරිමි සතකුගේ නම් නාසයේ ද මේ පිළිකාව සෑදේ. එවැනි සතුන්ට නිතරම කිවිසුම් යයි. නාසය ඉහළින් ඉඳිමුණු ස්වභාවයක් ඇත. හුස්ම ගන්නා විට ඌරන් කෑ ගහනවා වැනි ශබ්දයක් නැඟේ.

කලාතුරකින් මේ රෝගය සතුන්ගේ ඇස්වල හා සමේ හට ගනී. එසේම ශරීරයේ සුව නොවන තුවාලයක් වේ නම් සතාව වහාම පරික්ෂාවට ලක් කළ යුතුයි. බොහෝ දුරට සුරතලාට මේ රෝගය වැලඳුණත් කෑම බීමවලින් ඈත්වන්නේ නැත. එබැවින් මුලින්ම හඳුනා ගැනීමෙන් රෝගය සුව කරන්නට හැකියි.

මේ රෝගය සඳහා පිළිකා සෛල මැරීමට බෙහෙත් ඖෂධ වර්තමානයේ පවතී. සමේ හටගෙන ඇත්නම් ශල්‍යකර්මයක් කර සුව කළ හැකියි. තවද ලේසර් ප්‍රතිකර්මයත් සාර්ථක ක්‍රමයකි.

ඔබේ සුරතලා නිදැල්ලේ හැසිරීමට යාමට නොදී රැකබලා ගත හොත් මේ රෝගය වැලඳීමේ අවදානම අඩුයි.

රෝගය වැලඳුණ සත්ත්වයාගෙන් මිනිසාට බෝ නොවන බව නම් සහතිකය. එහෙත් ඔබ හැකිතරම් සෞඛ්‍යාරක්ෂිතව මේ රෝගය වැලඳුණ සතකු හා ගනුදෙනු කළ යුතුයි.

උපදෙස්

පශූ වෛද්‍ය

ප්‍රබෝධනී කෞශල්‍යා