දහවලටත් විකසිතවන අලංකාර රෑ කුමාරි කඩුපුල්

පෙබරවාරි 13, 2023

බොහෝ වේලාවට රාත්‍රී යාමයේ සුවඳ විහිදුවමින් පිපෙන කඩුපුල් කුමාරියන් සුදු පැහැතිය. නමුත් දහවල් කාලයේ පිපෙන කඩුපුල් අතර සුදු වර්ණයට අමතරව රතු, රෝස, කහ වර්ණ ද දැකිය හැකියි. මේ රෑ කුමාරිය බෝ කිරීම හරිම පහසුයි. තරමක් මේරූ දඬු වාගේම ළපටි කඩුපුල් දඬුත් බොහොම අපූරුවට පැළ වෙනවා.

කඩුපුල් කියන නම ඇසුණු පමණින් අපේ මතකයට එන අනෙක් නාමය තමයි ‘රෑ කුමාරි‘. ඒ මොකද දන්නවාද කඩුපුල් එහෙමත් නැතිනම් රැ කුමාරි මල් කොමළිය විකසිත වෙන්නේ රාත්‍රියට. ඒ නිසා මේ රෑ කුමාරි මල් පිපුණුවිට රාත්‍රී කාලයේ වුණත් බුදුපුදයට රැගෙන යන්න වැඩිදෙනෙක් පුරුදු වෙලා තියෙනවා.

ඉතින් එතරම් වටිනා සොඳුරු කඩුපුල් මල් කොමළියක් දැන් දිවා කාලයේදීත් විකසිතවන වන ඇතැම් විට ඔබ නොදන්නවා ඇති. බොහෝ වේලාවට රාත්‍රී යාමයේ සුවඳ විහිදුවමින් පිපෙන කඩුපුල් කුමාරියන් සුදු පැහැතිය. නමුත් දහවල් කාලයේ පිපෙන කඩුපුල් අතර සුදු වර්ණයට අමතරව රතු, රෝස, කහ වර්ණ ද දැකිය හැකියි. ඒ අතරින් රත් පැහැයෙන් දිදුලන රතු කඩුපුල් වැඩි ජනප්‍රියත්වක් උසුලනවා.

මෙලෙස දහවලට පිපෙන කඩුපුල් මල් තරමක් ප්‍රමාණයෙන් කුඩා වුවද මල් රාශියක් හටගන්නා නිසා ඉතා මනස්කාන්ත දසුනක් මැවේවි.

 

වගා කරන්නේ කොහොමද?

මේ රෑ කුමාරිය බෝ කිරීම හරිම පහසුයි. තරමක් මේරූ දඬු වාගේම ළපටි කඩුපුල් දඬුත් බොහොම අපූරුවට පැළ වෙනවා. මෙහිදී දඬු වශයෙන් සඳහන් කරන්නේ පැළයෙන් හටගන්නා පත්‍ර මුලින්ම කපාගත් විට ඉතිරිවන කොටස. ඊට අමතරව ඔබට කඩුපුල් පත්‍රත් පැළ කරගත හැකියි.

 

පැළ හදාගන්නේ මෙහෙමයි

පළමුව කුඩා ප්ලාස්ටික් බඳුනක් ගන්න. එයට හළාගත් කොහුබත් පුරවාගන්න. අනතුරුව එම කොහුබත් මාධ්‍යයේ මෙම කඩුපුල් දඬු කැබලි සහ පත්‍ර කැබලි සිටුවා ගත යුතුය. මෙලෙස සිටුවාගත් කඩුපුල් පැළ බඳුන් හිරු එළිය පාර්ශවික පතිතවන ස්ථානයක තබා ජලය සපයන්න.

දින කිහිපයක් ගතවද්දී සිටුවා ගත් කඩුපුල් බඳුන්වල අලුත් අංකුර ඇදී එන ආකාරය ඔබට නැරඹිය හැකියි. මෙහිදී තරමක උසට වැඩෙන තෙක් ශාකය එම බඳුනේම වැඩෙන්නට ඉඩ හරින්න. අනතුරුව විශාල බඳුනක හෝ ගෙමිදුලේ සිටුවා ගත හැකියි. ඊට අමතරව විශාල ශාක කඳට පොල් ලෙල්ලක් තබා ගැට ගසා වගා මාධ්‍යය පුරවා එහි ද මේ කඩුපුල් පැළ සිටුවිය හැකියි. මේ වගාවේදී වගා මාධ්‍යය ලෙස කොහුබත් සමඟ වැලි, ලෝම පස්, කොම්පෝස්ට් සමව ගෙන එකට මිශ්‍රකර සකසා ගන්න. සාමාන්‍යයෙන් හොඳින් හිරුඑළිය පතිත වනවිට අලංකාර කඩුපුල් මල් හටගන්නා අතර ඔබේ මල් පැළයට දිනපතා ජලය සපයන්නත් අමතක කරන්න එපා.

 

 

උපදෙස්

ප්‍රවීණ උද්‍යාන නිර්මාණ ශිල්පී

විසිතුරු මල් වගා උපදේශක දේශබන්ධු, කෘෂිවිද්‍යා ශූරී

මාබොදලේ රංජිත් කළුආරච්චි