මාසයක් හිනාවෙන ගොඩ නෙළුම සිද්ධාර්ථ

සිද්ධාර්ථ වැව්වොත් ගෙදරට අමතර වාසියක්
පෙබරවාරි 20, 2023

 

ගොඩ නෙළුම් එහෙමත් නැතිනම් Torch ginger අයත් වන්නේ ඉඟුරු කුලයටයි. එබැවින් ප්‍රතිශක්තිකරණ ගුණයක් සහිත මලක් ලෙසින් ද මෙය ඇතැමුන්ගේ විශ්වාසයයි.

උදෑසන විකසිත වී සවස මුකුලිත වන සොඳුරු මල් අතර දින කිහිපයක් පිපී හිනැහෙනා මල් ඇත්තම් ඒ ඉතා අතළොස්සකි. නමුත් ‘සිද්ධාර්ථ‘ යනු විකසිත වූ දිනයේ පටන් මාසයක් පූරාවට සුන්දරත්වය ගෙමිදුලට කැන්දාලන අපූරු මල් කුමාරියකි.

 

ප්‍රමාණයෙන් තරමක් විශාල මේ සිද්ධාර්ථ මලෙහි සොඳුරු පෙති තරමක් ඝනකම් ස්වභාවයක් ගනියි. රතු, රෝස, සුදු ආදී වශයෙන් වර්ණ කිහිපයකින්ම දැකිය හැකි මෙය බොහෝදෙනෙකු ‘ගොඩනෙළුම්‘ යන නමින්ද හඳුන්වයි.

 

ඊට අමතරව 'Torch ginger' යනුවෙන් හැඳින්වෙන්නේ මේ සිද්ධාර්ථ මලයි.

 

ව්‍යාප්තිය

අඩි 10ක් පමණ උසට වැඩෙන මේ ශාකය පඳුරක් ලෙස පැතිරේ. එබැවින් සිද්ධාර්ථ බඳුන්ගත ශාකයක් ලෙස වවා ගැනීමට වඩා තරමක් ඉඩකඩ සහිත ගෙමිදුලක වවා ගැනීම හරහා අපූරු සුන්දරත්වයක් එකතු කරගත හැකියි.

 

ප්‍රතිශක්තීකරණ ඔසුවක්

ගොඩ නෙළුම් එහෙමත් නැතිනම් Torch ginger අයත් වන්නේ ඉඟුරු කුලයටයි. එබැවින් ප්‍රතිශක්තීකරණ ගුණයක් සහිත මලක් ලෙසින් ද මෙය ඇතැමුන්ගේ විශ්වාසයයි. මෙය ආහාරයට එකතු කරගන්නේ නම් තරුණ මල්වල මැද කොටසේ පෙතිවලින් ව්‍යංජන හෝ පානයක් සකසා ගත හැකියි.

 

පැළ බෝ කිරීම

පඳුරකින් වෙන් කරගත් අල කොටස් සිටුවා ගැනීමෙන් ඔබට වගාව ව්‍යාප්ත කරගත හැකියි. එහිදී මාධ්‍ය මිශ්‍රණය ලෙස මතුපිට පස්, වැලි, කොම්පෝස්ට් හෝ වියළි ගොම යොදාගෙන වගා මිශ්‍රණය සකසා ගන්න.

වගාව සඳහා තරමක් විශාල බඳුන් තෝරා ගත යුතු අතර, කුඩා පැළ වැස්සට නිරාවරණය නොකරන්න. එමෙන්ම ජලය සැපයීමත් අවශ්‍ය නොවේ. මන්ද වගා මාධ්‍යයේ ජලය රැඳීම හරහා අල කොටස් කුණු වීමට ඉඩ තිබේ. අනතුරුව ශාක මුල් ඇදී කුඩා පැළ බවට පත් වූ විට ස්ථිර භූමියේ සිටුවා ගන්න.

 

හිරු එළිය

හොඳින් හිරු එළිය පතිත වන ස්ථානයක පඳුරක් ලෙස මනාව වර්ධනයවන මේ සිද්ධාර්ථ මල් අලංකාරව දිස් වේ. මෙහිදී පසෙහි කාබනික ස්වභාවය තරමක් තිබෙන්නේ නම් එය මේ වගාවට වඩාත් පහසුවකි.

ජලය

පැළ බෝ කරගැනීම සඳහා අල කොටස් සිටුවා ගැනීමේදී ජල සැපයුම නොකළද පැළ වර්ධනය වීමේදී ජලය අවශ්‍ය වේ. එබැවින් තරමක වැඩුණු සිද්ධාර්ථ පඳුරකට සතියකට දෙවරක් පමණ ජලය සපයන්න.

ගොඩ නෙළුම් මල් හට ගන්නේ පොළොවෙන් තරමක් උසට එසවීමෙනි. මේ ශාකයේ අතු බෙදීමක් ද නොමැත. අනෙක් ශාකවලට වඩා පැතිරෙන ස්වභාවය වැඩි නිසා ඉඩකඩ සහිත ස්ථානයක සිටුවා ගැනීම වඩාත් සුදුසුය. එමෙන්ම පිපී පරවෙන සිද්ධාර්ථ මල් නටුවේ මුලින්ම කපා ඉවත් කිරීම මෙන්ම අනවශ්‍යව වැඩෙන පැතිරෙන කොටස් ඉවත් කිරීම ආදිය හරහා ඉතා අලංකාර මල් සහිත පඳුරක් බවට පත් කරගත හැකියි.

 

උපදෙස්

ප්‍රවීණ උද්‍යාන නිර්මාණ ශිල්පී

විසිතුරු මල් වගා උපදේශක

දේශබන්ධු, කෘෂිවිද්‍යා ශූරී

මාබොදලේ රංජිත් කළුආරච්චි