මල් යායක අසිරිය කැන්දන ස්ප්‍රේ රෝස කුමරිය

මාර්තු 20, 2023

නෙත පිනවන සිත දැහැන්ගත කරවන සොඳුරු මල් ලෝකයේ සුරූපී අග රැජන රෝස කුමාරියයි. මේ රෝස පවුලේ ප්‍රභේද බොහොමයක් දැකිය හැකි අතර, ඒ අතරින් ‘ස්ප්‍රේ රෝස‘ සඳහා වැඩි ජනප්‍රියත්වයක් හිමිව තිබේ.

 

මෙලෙස ස්ප්‍රේ රෝස වැඩි දෙනෙකුගේ ඉල්ලුමට ලක්වීමට හේතු කිහිපයක් ද බලපානු ලබයි. එනම්,

l මේ ප්‍රභේදය ඕනෑම ප්‍රදේශයක වගා කළ හැකි වීම.

l ඉතා අලංකාර වර්ණ බොහොමයක මල් ලබා දීම.

l එක් ඉත්තක මල් 40ක් 50ක් පමණ විකසිත වීම.

l පිපුණු මල් ඉතා අලංකාරව වැඩි කාලයක් ගසෙහි රැඳී තිබීම.

l ප්‍රමාණයෙන් විශාල මල් ලබා දීම.

 

බෝ කිරීම

මෙම රෝස ප්‍රභේදයේ දඬු කැබැලි සිටුවා ගැනීමෙන් වගාව ව්‍යාප්ත කරගත හැකියි. ඒ සඳහා අර්ධ දැඩි (දඬු යම් තරමකට මේරූ දඬු) තෝරා ගත යුතු අතර, එවැනි දඬු තියුණු පිහියකින් පරෙස්සමට වෙන්කර ප්‍රොපර්ගේටරයක තබා සිටුවා ගන්න. එසේත් නැතිනම් අතු බැඳීමේ ක්‍රමයට ද මේ රෝස ප්‍රභේදයේ ඉක්මනින් මුල් අද්දවා ගත හැකිය. ඊට අමතරව මුල් අද්දවන හෝමෝනයක් (Rooting homon) භාවිතයෙන් ද වැඩි අතු සංඛ්‍යාවක් මුල් අද්දවා ගත හැකිය.

මෙලෙස පැළ කරගත් ස්ප්‍රේ රෝස අතු සති තුනක් පමණ සෙවණක තැබිය යුතු වේ.

වගා මාධ්‍යය

රෝස පැළ බඳුන්ගත කිරීමේ දී අඩියක් පමණ කට පළල කළු පැහැති පොලිතීන් කවර පාවිච්චි කළ හැකිය. එහිදී බඳුන් මිශ්‍රණය ලෙස,

l පිලිස්සූ දහයියා කොටස් 01ක්

l කොම්පෝස්ට් කොටස් 01ක් හෝ

වියළි ගොම කොටස් 01ක්

l වැලි කොටස් 01ක්

l මතුපිට ලෝම පස් කොටස් 02ක් (කැට රහිත මතුපිට පස් මේ සඳහා තෝරා ගත යුතුයි.)

 

හිරු එළිය

බඳුන්ගත කිරීමෙන් සති තුනකට පමණ පසුව මෙම පැළ බඳුන් හිරු එළියට හුරු කරවිය යුතු වේ. ඒ සඳහා සතියක් පමණ මධ්‍යස්ථ හිරු එළියේ තබා පසුව තද හිරු එළියට නිරාවරණය කරන්න. ඉතාමත් සොඳුරුව සහ වැඩි මල් ප්‍රමාණයක් හට ගන්නට නම් මේ ශාක සඳහා හොඳින් හිරු එළිය ලැබිය යුතු බව ඔබ මතක තබාගන්න.

 

බඳුන්ගත කිරීම

තරමක් කල්ගත වද්දී මුල් අද්දවා ගැනීමට සිටුවාගත් කුඩා පොලිතීන් කවරවලින් විශාල කවර සඳහා පැළ මාරුකර ගත යුතුයි. එසේත් නොමැති නම් ප්ලාස්ටික් හෝ සිමෙන්ති බඳුන් තෝරා ගන්න. ඒ හැර ස්ථිර භූමියේ සිටුවා ගැනීමෙන් ද ඔබට සොඳුරු ස්ප්‍රේ රෝස යායක අසිරි සිරිය විඳගත හැකි වේවි.

 

පොහොර

N:P:K ​සම මිශ්‍රණයක් සහිත පොහොරක් වගාව මුල් කාලයේදී භාවිත කරන්න. අනතුරුව k (පොටෑසියම්) තරමක් වැඩි පොහොරක් භාවිත කළ යුතු වේ.

 

ජලය

රෝස වගාවට ජල සම්පාදනය නිසි පරිදි සිදුවිය යුතු වේ. එහිදී වගා මාධ්‍යය තුළ ක්‍රමවත් ජලවහනයක් තිබේ දැයි පරීක්ෂාකර බලන්නටත් අමතක නොකරන්න.

 

වගා හානි

මේ වගාවට හානි සිදුවන්නේ, කෘමීන්ගෙන් සහ දිලීර වලිනි. එබැවින් දිලීර හෝ කෘමි හානියක් දුටු විට සුදුසු කෘමි නාශකයක්, දිලීර නාශකයක් භාවිතයෙන් එය වළකාගන්න.

කප්පාදුව

මල් පිපී අවසන් වූ ස්ප්‍රේ රෝස අතු ඉති කප්පාදු කළ යුතු වේ. එවිට නව අතු හටගන්නා අතර එමඟින් නැවුම් විශාල මල් සංඛ්‍යාවක් නැවතත් ලබාගත හැකි වේවි.

 

 

උපදෙස්

ප්‍රවීණ උද්‍යාන නිර්මාණශිල්පී

විසිතුරු මල් වගා උපදේශක

දේශබන්ධු, කෘෂිවිද්‍යා ශූරී

මාබොදලේ රංජිත් කළුආරච්චි