වසර පුරාම ගෙමිදුල මලින් පුරවනා කූඩලු

මැයි 15, 2023

සුර විමනක් බඳු කැදැල්ලේ අසිරි සිරිය වැඩි කර ගන්නට නම් නෙත සිත දැහැන්ගත කරවන ගෙමිදුලක් ඊට එකතු විය යුතුමයි. සැබෑවටම මේ ගෙමිදුල චමත්කාරජනක වන්නට නම් නේක වර්ණ, හැඩකාර මලින් ද එය පිරී ඉතිරි යා යුතුය.

 

එවැනි ගෙවත්තක අනිවාර්යයෙන්ම දැකිය හැකි, ඔබ කවුරුත් හොඳින් හඳුනන සොඳුරු මල් කුමාරියයි කූඩලු.

රතු, රෝස, සුදු, දම්, මිශ්‍ර වර්ණයෙන් මෙන්ම පෙති වැඩි සංඛ්‍යාවක් සහිත පොකුරු කූඩලු (Double pettel) මල් ද ඔබේ ගෙඋයනට රැගෙන එන්නේ පුදුමාකාර චමත්කාරයකි.

කූඩලුවල දැකිය හැකි විශේෂත්වය වන්නේ මල් විශාල සංඛ්‍යාවක් එකවර ලබා දීමයි. එමෙන්ම කූඩලු යනු වර්ෂය පුරාම මලින් බරවන ශාකයකි.

 

බෝකර ගැනීම

 

බීජ මාර්ගයෙන් මෙන්ම අතු කැබැලි මාර්ගයෙන් ද කූඩලු පහසුවෙන් බෝ කරගත හැකිය.

 

අතු මඟින් බෝකර ගැනීමේදී,

 

මවු ශාකයට බොහෝ සෙයින් සමාන ආකාරයෙන් මල් පිපෙන ශාකයක් බිහිකර ගත හැකිය. මෙහිදී කපාගත් අතු කැබැල්ලේ කෝමාරිකා ස්වල්පයක් ආලේපකර බඳුනක සිටුවා හොඳින් සෙවණ සහිත ස්ථානයක තබන්න. සති දෙකක් පමණ ගත වනවිට හොඳින් මුල් ඇදුණු ශාකයක් ඔබට සකසා ගත හැකි වේවි.

 

බීජ මාර්ගයෙන් බෝකර ගැනීමේදී ,

 

මවු ශාකයේ හටගන්නා කූඩලු කරල් වියැළුණු පසුව එම බීජ ගෙන වැලි වැඩි මිශ්‍රණයක අතුරා සෙවණක තබන්න. එමඟින් පැළ වැඩි සංඛ්‍යාවක් ඔබට ලබා ගත හැකිය. එමෙන්ම මේ පැළවලින් ඔබට ඉතාමත් සුන්දර අලුත් වර්ණයේ මල් ලබා දෙනු ඇත. මේ නිසා අලුත් අලුත් වර්ණ සහ මිශ්‍ර වර්ණයේ කූඩලු මල් ලබා ගැනීමට අවශ්‍ය නම් බීජ මගින් කූඩලු පැළ සකසා ගැනීම වඩාත් සුදුසු වේ.

 

හිරු එළිය

 

කූඩලු ශාකය සඳහා හිරු එළිය අත්‍යවශ්‍ය සාධකයකි. මන්ද හොඳ පැහැදිලි හිරු එළියක් පතිත වන්නේ නම් ඉතාමත් අලංකාර දීප්තිමත් වර්ණ සහිත මලින් මේ ශාකය බර වීම වැළැක්විය නොහැකිය.

එසේ වුවද හිරු එළිය නිසා ජලය වියළීමෙන් ශාකය මලානික වී මියයාමට ද ඉඩ තිබේ. මේ නිසා කූඩලු වගා මාධ්‍යයේ තරමක් හෝ තෙතමනයක් රඳා පැවතිය යුතුය. එමෙන්ම ඔබ මතක තබා ගත යුතු අනෙක් කාරණය වන්නේ යම් ආකාරයකින් මේ වගා මාධ්‍යය තුළ ජලය රැඳී තිබුණහොත් හිටුමැරීමේ රෝගයට ගොදුරු වී කූඩලු ශාකය මියයාමට ද ඉඩ ඇති බවයි.

 

සිටුවා ගැනීම

 

ඔබේ ගෙවත්තේ වැට මායිමට එහෙමත් නැත්නම් තාප්පය අයිනට එක දිගටම විවිධ වර්ණයේ කූඩලු සිටුවා ගැනීමෙන් ඉතාමත් සුන්දරත්වයක් ලබා ගත හැකිය. එමෙන්ම ගෙමිදුලේ යම් හිස් බවක් ගන්නා ස්ථාන පිරවීමටත් මේ කූඩලු ශාකය හරි අපූරුයි. මේ ස්ථාන සඳහා හිරු එළිය හොඳින් පතිත වන්නේ නම් එම සුන්දරත්වය දෙගුණ තෙගුණ වනු නොඅනුමානයි.

ස්ථිර භූමියේ වාගේම බඳුන්ගතව ද ඔබට මේ ශාකය වවා ගත හැකියි. මෙහිදී එතරම් විශාල බඳුන් අවශ්‍ය නොවන අතර බඳුන් මුහුණත අඟල් නවයක් පමණ පළල් වීම ප්‍රමාණවත්ය.

 

වගා මාධ්‍යය

 

කූඩලු වගා කිරීම සඳහා වගා මාධ්‍යය ලෙස වැලි, මතුපිට පස්, කොම්පෝස්ට් හෝ කාබනික ද්‍රව්‍ය සම සමව ගෙන එකට මිශ්‍ර කරගන්න. හැකිනම් මෙම මිශ්‍රණයට අඩක් දැවුණු දහයියා ප්‍රමාණයක් ද එකතු කරගත හැකි නම් එය වඩාත් සුදුසුයි.

 

මසකට වතාවක් කොම්පෝස්ට් අඬු කෝප්ප භාගයකට සිහින්ව කැබලි කරගත් බිත්තර කටු තේ හැන්දක් කලවම්කර මෙම වගා මිශ්‍රණයට යොදන්න. එවිට නොකඩවාම සොඳුරු කූඩලු මලින් ඔබගේ ගෙවත්ත චමත්කාරජනක වනු නිසැකයි.

 

උපදෙස්

ප්‍රවීණ උද්‍යාන නිර්මාණ ශිල්පී

විසිතුරු මල් වගා උපදේශක

දේශබන්ධු, කෘෂිවිද්‍යා සූරී

මාබොදලේ රංජිත් කළුආරච්චි