ගෙඋයනෙහි හැඩකාරයා Breynia

මැයි 22, 2023

උද්‍යානය හැඩ වැඩ කරනා විචිත්‍ර පත්‍රික ශාක අතර Breynia යනු වර්තමානයේ වැඩි ජනප්‍රියත්වයක් හිමි කරගත් ශාකයකි. ජර්මනියෙන් උපත ලබා ලොව දසත පැතිරී ඇති මේ බ්‍රේනියා ප්‍රභේදය Snow Bush යනුවෙන් ද හැඳින්වේ.

 

විචිත්‍ර පත්‍ර

බොහොමයක් ශාකවල සුන්දරම කොටස වන්නේ එහි හටගන්නා පුෂ්පයයි. නමුත් මේ බ්‍රේනියා ශාකයට විචිත්‍රත්වයක් එක් කරන්නේ එහි පත්‍ර සමූහයයි. රෝස, සුදු, කොළ, මෙරූන් ආදී වර්ණවලින් මේ පත්‍ර අලංකෘත වේ. ඊට අමතරව සුදු පැහැති පත්‍රවල කොළ පාට තිත් සහිත පත්‍ර මෙන්ම, සුදු පැහැති පත්‍රයේ රෝස පැහැති තිත් ද රෝස, සුදු සහ තරමක් තද රෝස පැහැය මිශ්‍ර වූ වර්ණවත් ශාක පත්‍රද දැකගත හැකිය.

සූර්යාලෝකයේ බලපෑම

මෙම ශාකයේ විශේෂත්වය වන්නේ එකම ශාකය වුවත් හිරු එළිය පතිත වීම අනුව පත්‍රවල වර්ණ වෙනස් වීමයි. උදාහරණයක් ලෙස සෙවණක තැබූ බ්‍රේනියා පඳුරක බොහෝවිට කොළ පැහැති පත්‍ර දැකිය හැකි නමුදු තරමක් හිරු එළිය වැටෙන ස්ථානයක වැඩෙන ශාකයක සුදු පැහැති පත්‍ර වැඩියෙන් දැකිය හැකිය.

 

ඒ කෙසේ වුවත් බ්‍රේනියා යනු දැඩි හිරු එළිය එතරම් උසුලා ගත හැකි ශාකයක් නොවේ. මන්ද දහවලට වැටෙන සෘජු මෙන්ම තද සූර්යාලෝකය නිසා මේ ශාකයේ පත්‍ර පිලිස්සී මිය යාමට ඉඩ තිබේ. එබැවින් බ්‍රේනියා සඳහා ඉතාමත් සුදුසු වන්නේ පාර්ශවික හිරු එළියයි.

 

වගාව

 

බ්‍රේනියා පඳුරක් ආකාරයට වගා කරගත් විට ගෙවත්තට මනරම් සුන්දරත්වයක් එකතු කරගත හැකිය. සාමාන්‍යයෙන් අඩි 2, 2 1/2 වශයෙන් දිග පළල සිටින පරිදි මේ ශාකයේ පිටතට ඇදීයන අතු කප්පාදු කරන්න. එවිට ඉතාමත් දැකුම්කලු ආකාරයේ බ්‍රේනියා පඳුරක් ඔබට සකස් කරගත හැකි වේ. මෙලෙස සකසා ගන්නා පඳුරු ස්ථිර භූමියේ දීර්ඝ කාලයක් වඩාත් සුන්දරව වැඩෙනු ඇත.

 

බඳුන්ගතව ද මේ ශාකය වගා කර හැකි වේ. එමෙන්ම ​බඳුන්වල වගා කළ මේ බ්‍රේනියා නිවෙසේ ඉහළ මහලේ බැල්කනිවලට අපූරු සුන්දරත්වයක් එකතු කරනවා නොඅනුමානයි.

 

වගා මාධ්‍යය

 

* වැලි කොටස් 01ක්

* මතුපිට පස් කොටස් 01ක්

* කොළරොඩු හෝ කොම්පෝස්ට් කොටස් 01ක්

 

වශයෙන් සම සමව ගෙන හොඳින් මිශ්‍රකර වගා මාධ්‍යය සකසා ගන්න. බඳුන්ගත වගාවේ දී මෙන්ම ස්ථිර භූමියේ වගාව සඳහා ද ඔබට මේ වගා මාධ්‍යය භාවිත කළ හැකිය.

 

 

පැළ බෝකර ගැනීම

 

මෙම පැළ බෝකර ගැනීමේ දී බීජ මගින් බෝකර ගැනීම තරමක් අපහසු වේ. ඒ නිසා ළපටි අතු කැබලි රෝපණයකර පැළ පහසුවෙන් ලබාගත හැකියි.

 

ජලය සැපයීම

 

වැසි කාලයේ දී හැර අනෙක් කාලවලදී දිනපතා ජලය සපයන්න. එමඟින් සාරවත්ව වැඩුණු බ්‍රේනියා පඳුරක් ඔබටත් හිමි කරගත හැකියි.

 

මේ බ්‍රේනියා ශාකයේ ප්‍රභේද ගණනාවක් ඇත. ඒ අතරින් ශාක පඳුරේ ඉහළ කොටසේ පත්‍ර රෝස පැහැය ගන්නා ප්‍රභේදය මේ දිනවල මල් ලෝලීන් අතර වඩාත් ජනප්‍රියයි.

 

එමෙන්ම මේවායේ කුඩා මල් හට ගන්නා අතර එම මල් එතරම් ආකර්ෂණීය නොවේ. එහෙත් මනා සුගන්ධයකින් යුක්තවන බැවින් ඔබේ නිදන කාමරයේ ජනේලයට ඔබ්බෙන් මේ පඳුරක් වවා ගත හැකි නම් එහි අපූර්වත්වය කියා නිම කළ නොහැකිය.