ගෙතුළ සරසන අමුතු පැළ

ජුනි 5, 2023

 

සොබාදහමට අතිශයින් පෙම් බඳින අපි ගහකොළ, මල්වලට දක්වන්නේ පුදුමාකාර කැමැත්තකි. මන්ද මේ අපූර්වතම සොබාදම් දිනිතිය ඇසුරේ ජීවිතයේ බොහෝ පීඩාවන් නිවී සැනසෙන නිසාමයි.

 

කොතරම් කාර්යබහුල කාන්තාවක් වුවත් ඇය තමන්ගේ ගෙමිදුල සොඳුරු මල් යායක් බවට පත් කරගන්නට අසීමිතව පෙරුම් පුරන්නීය. බෙහෙවින්ම ඉඩකඩ නොමැති, ගෙමිදුලක් පවා අහිමි බොහෝ දෙනකු තම ගෘහ අභ්‍යන්තරයේ හෝ බඳුන්ගතව ගහකොළ සිටුවා ගන්නට එමඟින් තම නිවෙසේ සුන්දරත්වය වැඩි කරගන්නට අමතක නොකරති.

මෙලෙස නිවෙස ඇතුළතට ගහකොළ, මල් එකතුකර ගැනීමේ දී විචිත්‍ර පත්‍රික ශාක වර්ග මෙන්ම විවිධ හැඩයේ අලංකාර බඳුන් තෝරා ගැනීම වඩාත් සුදුසුය. එමෙන්ම මේ සඳහා හිරු එළිය දැඩිව ප්‍රිය නොකරන, ජලය, පොහොර එතරම් අවශ්‍ය නොවන, තරමක් සෙමෙන් වර්ධනයවන ශාක වර්ග තෝරා ගන්නටත් ඔබ කල්පනාකාරී විය යුතුය. සාමාන්‍යයෙන් සතියකට හෝ දෙකකට වරක්වත් මෙම ශාක ගෙතුළින් පිටතට ගෙන ජලය, හිරු එළිය සපයන්නටත් අමතක නොකරන්න.