ජල බඳුනක මුල් අද්දන මල් අත්තක අසිරි සිරිය

ජුනි 19, 2023

නෙත සිත දැහැන්ගත කරවන සොඳුරු ගෙවත්තක හිමිකාරිනියක් වන්නට කවුද අකමැති. මලින් පිරුණු ශාක, විචිත්‍ර පත්‍රික ශාක සේම එළවළු, පලතුරු පවා ඇය මේ ගෙවත්තට එකතු කරගන්නට උනන්දු වන්නීය. බොහෝ වේලාවට තම ගෙමිදුලේ නොතිබෙන ශාකයක් දෙකක් කොහේදී හෝ දුටුවහොත් එය රැගෙන විත් වවාගන්නටත් ඇය පෙලඹෙන්නීය.

හැබැයි රැගෙන එන මේ අතු ඉති සියල්ල පැළ බවට පත් කරගැනීම නම් ඇයට තරමක් අභියෝගයකි. මන්ද බොහෝවිට සිදු වන්නේ එම අතු කැබැලි මුල් ඇදීමට පෙර වියළී හෝ කුණු වී මිය යාමයි.

නමුත් පිරිසුදු ජල බඳුනක් ගෙන එහි විවිධ මල් අතු දමා තබා දින කිහිපයකින් මුල් අද්දවා ගත හැකි බව ඔබ දන්නවා ද? කිසිදු හෝමෝනයක් හෝ වෙනත් මුල් ඇද්දවීමේ ක්‍රමයක් අනුගමනය නොකර ජලය තුළ බහා තැබීමෙන් පමණක් මේ ශාක අතු මුල් අද්දවා ගත හැකි වේවි.

මේ සඳහා යොදා ගත හැකි ශාක

 

ඩ්‍රසීනා පවුල

 

ඩ්‍රසීනා සැන්ඩ්‍රියානා, ඩ්‍රසීනා මාජිනාටා, සෝන්ස් ඔෆ් ජැමෙයිකා, ඩ්‍රසීනා ඩෙරමෙන්සස් වැනි ඩ්‍රසීනා පවුලට අයත් ශාක මෙලෙස පහසුවෙන් මුල් අද්දවා ගත හැකියි.

 

ඇග්ලොනිමා පවුල

 

විචිත්‍ර පත්‍රික ශාක අතර ඉහළින් වැජඹෙන ඇග්ලොනිමා පවුලට අයත් ශාක වර්ග බොහෝමයකි. මේ ඕනෑම ඇග්ලොනිමා වර්ගයක් ජලයේ බහා තබා පැළ කරගත හැකියි.

 

හණ පවුල

 

හණ වර්ග එහෙමත් නැතිනම් ඇගාවේ වර්ග මෙලෙස මුල් අද්දවා ගත හැකි තවත් වර්ගයකි. විශේෂයෙන්ම මෙහිදී සැන්සිවේරියා වර්ගවල පත්‍ර යොදා ගැනීමේ හැකියාව පවතී.

හිබිස්කස් පවුල

 

සොඳුරු මල් පිපෙන හිබිස්කස් එහෙමත් නැතිනම් වද වර්ගයන් හි අතු ද මෙලෙස ජලයේ මුල් අද්දවා ගත හැකිය.

 

පෝකෝස් වැල්

 

පෝකෝස් වර්ගයේ වැල් වර්ග ද හොඳින් මුල් අද්දවා ගත හැකියි. විශේෂයෙන්ම මාබල් කුවීන් යනු එලෙස ජලයේ බහා හොඳින් මුල් අද්දවා ගත හැකි වැලකි.

 

පැඟිරි කුලයේ ශාක

 

පැඟිරි කුලයට අයත් එනම් දෙහි පවුලේ ශාක ද මේ ආකාරයට මුල් අද්දවා ගත හැකියි.

 

ජම්බු වර්ග

 

පලතුරක් ලෙසින් මෙන්ම අලංකාරයට වගා කරන මැලේසියන් ජම්බු වැනි විවිධ ජම්බු වර්ගවල අතු ද ඔබට පහසුවෙන් පැළ කරගත හැකියි.

 

මෙලෙස මුල් අද්දවා ගැනීමේදී ශාකවල කරටි හෝ අතු කැබලි එනම් අඟල් 6 - 10 පමණ දිග කොටස් කපාගන්න. අනතුරුව ඒවායේ පහත කොටසේ පත්‍ර ඉවත් කර ජලයේ ගිල්වා තබන්න.

 

ජලය

 

මුල් ඇද්දවීමට ඉතා පිරිසුදු ජලය භාවිත කළ යුතුයි. මන්ද එසේ නොවුණහොත් මේ අතු කැබැලිවලට විවිධ දිලීර ආසාදන ඇතිවීමේ ඉඩ කඩ පවතී.

 

බඳුන්

 

මේ සඳහා විවිධ හැඩයේ වීදුරු බඳුන් භාවිත කළ හැකිය. එවිට පැළය වැඩෙන තෙක් එය ඔබට අලංකාර මල් බඳුනක් ලෙස ද භාවිත කළ හැකිය. ඊට අමතරව ප්ලාස්ටික් පැණි බීම බෝතල්වල අඩියේ සිට අඩි පහක් පමණ උඩින් කට කපා දමා ඒවායේ ජලය යොදා පැළ සකසා ගැනීමට භාවිත කළ හැකියි.

 

මෙසේ පැළ සකසා ගැනීමේ දී අතු ඉති දමාගත් ජල බඳුන නොසෙල්වෙන පරිදි හොඳින් සෙවණ ඇති ස්ථානයක තැබිය යුතු වේ. මෙහිදී පාර්ශ්වික හිරු එළිය වැටීම ගැටලුවක් නොවේ. ( එනම් ආලෝකය පමණක් හිරු කිරණ නොමැතිව) විශේෂයෙන්ම මතක තබා ගත යුතු වන්නේ මෙම අතු ඉති සෙලවීමට ඉඩ නොදීමයි. එමෙන්ම මෙම ජල බඳුන්වල මදුරුවන් බෝවීම වැළැක්වීමට ලුණු කැටයක් දෙකක් දමන්නත් අමතක කරන්න එපා.

 

 

 

උපදෙස්

ප්‍රවීණ උද්‍යාන නිර්මාණ ශිල්පී

විසිතුරු මල් වගා උපදේශක

දේශබන්ධු, කෘෂිවිද්‍යා ශූරී

මාබොදලේ රංජිත් කළුආරච්චි