ඉසුරු ගෙනෙන විසිතුරු පත ෆිලෝඩෙන්ඩ්‍රන්

ඔක්තෝබර් 9, 2023

නේක වර්ණයෙන් අලංකාර විසිතුරු පත්‍රික ශාක මල් ලෝකයේ ඉතා බහුලයි. ඒ අතරින් ෆිලෝඩෙන්ඩ්‍රන් යනු මේ දිනවල වැඩිම ඉල්ලුමක් සහිත ඒ වාගේම ඉහළ මිල ගණන් යටතේ අලෙවිවන අපූරු ශාකයකි.

ඇරේසියේ කුලයට අයත් මේ ෆිලෝඩෙන්ඩ්‍රන් ශාකයේ ප්‍රභේද බොහොමයක් දැකිය හැකියි. මේ දිනවල මල් වෙළෙඳපොළේ රුපියල් 5000 - 10,000ත් අතර මිලකට මේ ෆිලෝඩෙන්ඩ්‍රන් වර්ග අලෙවිවන අතර තවත් ප්‍රභේද කිහිපයක් ලක්ෂය ඉක්මවන මිල ගණන් යටතේ දැකිය හැකියි.

 

මෙහිදී ඇතැම් ප්‍රභේදයන්හි කුඩා බඳුනක සිට වූ පත්‍ර 2 - 3 ක් සහිත අඟල් 08ක පමණ පැළයක මිල ඔබ නොසිතනා තරම්ය.

*Philodendron Bilitiae  Varigata
*Philodendron Red Congo Varigated
*Philodendron Joepii Bicolor
*Philodendron Monstera mint
*Philodendron Red Moon

 එවැනි ප්‍රභේද කිහිපයකි

 

ගෙතුළ අලංකාර කරනා බඳුන්ගත ශාකයක් ලෙසින් මෙන්ම උද්‍යාන අලංකරණ ශාකයක් ලෙසින් ද වඩාත් ජනප්‍රිය මේ ෆිලෝඩෙන්ඩ්‍රන් අගය එකතු කළ නිෂ්පාදන සහ මල් සැරසිලි සඳහා ද යොදා ගැනේ. එබැවින් මෙරට වෙළෙඳපොළ තුළ මෙන්ම අපනයනික ශාකයක් ලෙස ඉහළ ආදායමක් ලබාගත හැකියි.

50% -60% අතර සෙවණ ප්‍රියකරන මේ ශාකයට සෙල්සියස් අංශක 18 - 27ත් අතර ප්‍රමාණයක උෂ්ණත්වයක් සෑහේ.

 

වගා මාධ්‍යය

 

ඔබ බඳුන්ගතව මේ ශාකය සිටුවන්නේ නම් බඳුනේ යට කොටසට වැලි කොටස් 01ක්, ඊට උඩින් සෙ.මි. 02ක් පමණ ඝනකම සහිත කපාගත් පොල්ලෙලි කොටස් 01ක් දමන්න. අනතුරුව පිලිස්සූ දහයියා කොටස් 1/2ක්, දිරාගිය කොළ රොඩු කොටස් 01 ක් දමා නැවතත් පොල්ලෙලි කොටස් 01ක් දමන්න. ඉන්පසුව චිප් ගල් කොටස් 1/4ක්, කුඩාවට කැබලි කරගත් ගඩොල් කොටස් 1/2ක් සහ නැවතත් පිලිස්සූ දහයියා කොටස් 1/2ක් දමා වගා බඳුන සකසා ගන්න.

 

ජලය

 

වගා මාධ්‍යයේ තෙතමනය පරීක්ෂාකර අවශ්‍යනම් ජලය සැපයිය හැකියි. මහා පරිමාණ වගාවකදී විසුරුම් හෝ බිංදු ජල සම්පාදන ක්‍රමයක් භාවිත කරන්න.

 

පොහොර

 

N:P:K: 20:20:20 සමානුපාතික දියර පොහොරක් සතියකට වරක් භාවිත කරන්න. කාබනික දියර පොහොර නම් සති දෙකකට වරක් යෙදීමෙන් ශාකයේ පත්‍ර අලංකාරව වර්ධනය කරගත හැකියි. කැට පොහොර භාවිතයේ දී පැළයකට ග්‍රෑම් 03ක්වන පරිද්දෙන් ශාකය අවට ඇති වගා මාධ්‍යයට සති දෙකකට වරක් යොදන්න. ඔබ පෝෂක මූලද්‍රව්‍ය සෙමෙන් නිදහස් කරන කැට පොහොර භාවිත කරන්නේ නම් එය මාස හතරකට වරක් යෙදීම සෑහේ.

මේ ශාකයේ සොඳුරු බව වැඩි වන්නේ පත්‍රවල විචිත්‍රත්වය නිසාමයි. එබැවින් ශාකයේ මධ්‍යම අවධියේ දී පොටෑසියම් වැඩි පෝෂක මුලද්‍රව්‍ය සෙමෙන් නිදහස් කරන කැට පොහොරක් සතියක වරක් ලබාදෙන්න.

ඇතැම් ෆිලෝඩෙන්ඩ්‍රන් ප්‍රභේදයන්හි නව රිකිලි හට ගැනීමේදී පත්‍රවල ලාක්ෂණික වර්ණ රහිත, විවිධ පැහැති පත්‍ර සහිත රිකිලි හට ගැනීම දැකිය හැකියි. මෙය රෝගයක්, පළිබෝධ හානියක් හෝ පෝෂණ ඌනතා ලක්ෂණයක් නොවේ. ශාකය තුළ වර්ණක බෙදී යාමේදී සිදුවන අසමතුලිත තත්ත්වයක් බැවින් ප්‍රතිකාර කිරීම වෙනුවට එම අතු රිකිලි කපා ඉවත් කිරීම වඩා සුදුසුයි.

 

උපදෙස් -

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ,

මල් වගා පර්යේෂණ

සහ සංවර්ධන අංශයේ

ඩබ්.යූ.එල්. අඹගස්පිටිය