සොඳුරු මලින් අලංකෘත ඇඩේනියම්

ඔක්තෝබර් 16, 2023

වියළි දේශගුණයට වැඩි ප්‍රියතාවයක් දක්වන, ඒ නිසාම මනා සූර්යාලෝකය යටතේ හොඳින් වගා කළ හැකි හරි අපූරු ශාකයකි ඇඩේනියම් (Adenium). ඇඩේනියම් යන නමින් ඇතැම් විට මෙය හඳුනාගත නොහැකි වුවද ජපන් අරලියා යැයි කියූ සැනින් බොහෝ දෙනකු මෙය හොඳින් හඳුනති.

කිරි සහිත ශාකයක්වන මේ ජපන් අරලියා සාමාන්‍යයෙන් අඟල් දහයක පමණ සිට අඩි දෙක තුන දක්වා උසට වැඩේ. තරමක් ගොරෝසු මේ ශාකයේ පත්‍ර අඟල් 4ක් පමණ දිගට වැඩේ. එහි අග කොටස රවුම්ය.

රතු, ළා රෝස, සුදු, ළා දම් පැහැයෙන් පමණක් නොව ද්විත්ව වර්ණවලින් ද අලංකාර මල් හටගන්නා ජපන් අරලියා මලක පෙති පහකි. මඳක් දිගටි කෙමියකින් යුක්ත වීම මේ මලෙහි විශේෂත්වයයි. මල් සහ පත්‍ර හටගන්නේ අතු අගිස්සේ බැවින් මෙම ගසෙහි සෑමවිටම කඳ මෝරනලද ස්වභාවයක් පෙන්නුම් කරයි. එමෙන්ම මෙහි මුල මහත්ව වැඩෙන බැවින් අතු කප්පාදු කිරීමෙන් අපූරු පඳුරක් බවට පත් කරගත හැකිය.

එළිමහනේ වගා කළ හැකි මේ ජපන් අරලියා ශාකයට දීප්තිමත් හිරු එළියක් අවශ්‍යයි. ඊට අමතරව සෙල්සියස් අංශක 26 ත් 30 ත් අතර උෂ්ණත්වයක් තිබීම ප්‍රමාණවත් වේ.

 

ප්‍රචාරණය

 

අතු කැබලි සිටුවීමෙන්, බීජ මඟින් මෙන්ම ලේයර් කිරීමෙන් ද මෙම ශාකය බෝකර ගත හැකියි. එහිදී අතු කැබැලි පැළ කිරීම මඟින් ඉක්මනින් සහ පහසුවෙන් ශාකයක් සකසා ගත හැකිවන අතර එමඟින් මවු ශාකයට ඉතා සමාන ශාකයක් බෝකර ගත හැකි වේවි.

 

ඔබ බීජ මඟින් මෙම ශාකය ව්‍යාප්තකර ගන්නේ නම් ඇඩේනියම් මල් පර වූ පසුව හටගන්නා කරල් ඒ සඳහා භාවිත කළ යුතුය. මෙහිදී කරල් මේරූ පසුව ඒ තුළ වූ බීජ ලබාගත හැකි අතර කරල් මෝරා පිපිරී විසිර යාමට පළමුව බීජ ඉවත්කර ගැනීමට වගබලා ගන්න. මෙම බීජ පැළවලින් සකස් කරගත් ශාකවල මල් ඇතැම් විට මවු ශාකයේ මල්වලට වඩා තරමක් වෙනස් වීමට ඉඩ තිබේ. ඊට හේතුව වන්නේ ස්වාභාවිකව සිදුවන පරාගනයයි.

 

ඊට අමතරව මෙම ශාකයේ අතු බැඳීම මඟින් ද පැළ ලබාගත හැකිය. එහිදී අතු කැබැල්ලේ මුල් ඇදුණු පසුව එම කොටස වෙන්කර බඳුන්ගත කිරීමෙන් පැළ ලබාගත හැකිය.

 

වගා මාධ්‍යය

 

කොහුබත් කොටස් එකකට රොන්මඩ රහිත වැලි කොටස් එකක් මිශ්‍ර කිරීමෙන් වගා මාධ්‍යය සකසා ගත හැකිය. ඊට අමතරව පිලිස්සූ දහයියා ද වගා මාධ්‍යයක් ලෙස භාවිත කළ හැකි වේ.

 

ජල සැපයුම

 

වගා මාධ්‍යයේ තෙතමනය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අවශ්‍ය නම් ජලය යොදන්න.

 

පොහොර

 

N:P:K 20: 20: 20 අනුපාතයට ගැළපෙන පරිදි දියර පොහොර සතියකට වරක් භාවිතා කළ හැකිය. ශාකයේ වර්ධනය සහ පඳුරු දැමීම වැනි කාර්යයන් සඳහා N:P:K 30 :10 :10 අනුපාතයට ගැළපෙන පරිදි දියර පොහොරක් සතියකට වරක් යොදන්න. මෙහිදී N:P:K 20: 20: 20 අනුපාතය සහිත දියර පොහොරක් සමඟ මාරුවෙන් මාරුවට භාවිත කිරීම වඩාත් යෝග්‍යයි. ශාකයේ මුල් වර්ධනය කරගැනීම පිණිස N:P:K 10: 52 :10 අනුපාතයේ දියර පොහොරක් සති දෙකකට වරක් භාවිත කරන්න.

ඔබ කාබනික පොහොර යොදන්නේ නම් එය සති දෙකකට වරක් යෙදීමෙන් අලංකාර ජපන් අරලියා පඳුරක් ඔබටත් සකසා ගත හැකිය. මෙහිදී මල් හට ගැනීම සඳහා පොටෑසියම් වැඩි පොහොරක් සපයන්න.

ඊට අමතරව මනා ආලෝකයක් ලැබෙන විට අලංකාර මල් බොහෝ ප්‍රමාණයක් ලබාගත හැකි බැවින් තද සූර්යාලෝකය පතිතවන ස්ථානයක මෙම ඇඩේනියම් ශාක තැන්පත් කිරීමටත් වග බලාගන්න.

 

රෝග සහ පළිබෝධ හානි

 

සොඳුරු ඇඩේනියම් ශාකයේ සුන්දරත්වය දුරු කරන රෝගයක් ලෙස පත්‍ර කහ පැහැගැන්වීම බොහෝවිට දක්නට ලැබේ. ඊට අමතරව මෙම ශාකය කඳ කුණුවීමේ රෝගයට ද භාජනය වේ. එසේ වීමට ඉඩ ඇත්තේ නිසි ජලවහනයක් නොවන නිසා බැවින් හොඳින් ජලය බැස යන පරිදි වගා මාධ්‍යය සහ වගා බඳුන් සකස් කරගන්නට අමතක නොකරන්න.

 

උපදෙස්

කෘෂි විද්‍යාඥ

ඩබ්.යූ.එල්. අඹගස්පිටිය