නිරතුරුවම නිවන සිතක් හරි විසිතුරු ගෙවත්තක්

නොවැම්බර් 20, 2023

කාර්යබහුල ජීවන රටාවකින් හෙම්බත්ව සිටින අපේ සිත් මත පැටවුණු විඩාබර ස්වභාවය දුරස් කරන්නට සොඳුරු ගෙවත්තට ඇති හැකියාව අසීමිතය. එමෙන්ම අලංකාර ගෙවත්තකින් වටවුණු නිවෙසකට ඇති වටිනාකම ද බොහෝමයි. මේ නිසා කුඩාවට හෝ ගෙවත්තක් එහෙමත් නැතිනම් ගෙමිදුලක් තනා ගන්නට, එය සුන්දරත්වයෙන් පුරවාලන්නට අපි කවුරුත් සිහින මවන්නෙමු.

සාමාන්‍යයෙන් එක් එක් ප්‍රදේශ සඳහා යොදා ගන්නා ගෙවතු වගා ක්‍රම එකිනෙකට වෙනස්ය. ග්‍රාමීය, අර්ධ නාගරික පරිසරයේ සැකසෙනා ගෙවත්තකට වඩා නාගරික පරිසරයක තැනෙන ගෙවත්ත වඩාත් විසිතුරුයි. මේ කිනම් පරිසරයක තනාගත්තද විසිතුරු ගෙවත්තක් නිර්මාණයේ දී සලකා බලන මූලික කරුණ වන්නේ එයට ලැබෙන සූර්යාලෝක ප්‍රමාණයයි. ඊට සාපේක්ෂව සිටුවා ගත හැකි විසිතුරු පැළ වර්ග වෙනස් වේ.

විචිත්‍රත්වයෙන් අනූන සොඳුරු ගෙවත්තක් නිර්මාණයේ දී විසිතුරු මලින් පිරෙන ශාක මෙන්ම විචිත්‍ර පත්‍ර සහිත ශාක ද විසිතුරු ජලජ ශාක ද අපට යොදා ගත හැකිියි. එමෙන්ම සෘජු හිරු එළිය ප්‍රියකරන ශාක, පාර්ශ්වික හිරු එළිය ප්‍රිය ශාක සේම සෙවණ ප්‍රිය කරන ශාක වශයෙන් සූර්යාලෝකයේ පැතිරීම අනුව විසිතුරු ශාක වර්ගීකරණය කළ හැකි වේ.

පවත්නා ගස් බොහොමයක් විසිතුරු පැළෑටිවන බැවින් ඒවාට දීප්තිමත් වර්ණ සහිත අලංකාර පත්‍ර ඇත. කහ, රතු, තැඹිලි, කොළ, සුදු ආදී වර්ණ සහිත මේ පත්‍ර නිසා ශාකවලට එක් කරන්නේ පුදුමාකාර චමත්කාරයකි. ඊට අමතරව මේ ශාක බොහොමයක සිත් ඇදගන්නාසුලු අලංකාර මල් විකසිත වේ.

එමෙන්ම ගෙවත්තකට ශාක එකතු කිරීමේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ඒවා සෑම අවකාශයකම පැතිරී සුන්දරත්වයක් එක් කිරීම සහ මේ ශාක මඟින් වායුගෝලය පිරිසුදු කිරීමයි.

 

පාරිසරික තත්ත්වයන්ට ගැළපෙන ශාක

සාමාන්‍යයෙන් ගෙවත්තකට ක්‍රෝටන්, කෝලියාස්, සැන්සවේරියා වැනි ශාක එකතු කිරීමෙන් ඒවා මත සෘජු සූර්යාලෝකය පතිත වී වර්ණවත් පෙනුමක් ලබා දෙයි. ඊට අමතරව ඇග්ලෝනිමා, ඩිෆන්බාකියා, මොන්ස්ටෙරා වැනි විසිතුරු පත්‍රික ශාක සෘජු නොවන පාර්ශ්වික ආලෝකයේදී මනාව වර්ධනය වේ. ඔබේ ගෙවත්තේ සෙවණ සහිත ස්ථාන සඳහා මීවන විශේෂ, කැලිතියා, මැරෙන්තා ආදී වඩාත් සෙවණ ප්‍රිය කරන ශාක එකතු කිරීමෙන් අපූරු වර්ධනයක් බලාපොරොත්තු විය හැකිය.

මේ ආකාරයට ශාකයට ගැළපෙන පාරිසරික තත්ත්වයන් අවබෝධ කරගනිමින් ශාක තෝරා ගැනීම සහ සිටුවීම මඟින් ආකර්ෂණීය ගෙවත්තක් නිර්මාණය කරගැනීමට ඔබට හැකිවනු ඇත.

 

වටිනා පෙනුමක්

එමෙන්ම අලංකාර උද්‍යාන සැලසුම් කිරීමේ දී සහ දර්ශනීය භූ දර්ශන සැකසීම සඳහා ද මේ ශාක මනාව ගැළපේ. පඳුරු ලෙසින් වැඩෙන ශාක ගෙවත්තට එකතු කිරීමේ වාසිය නම් ඒවා හැඩේට කප්පාදු කළ හැකි වීමයි. ඔබේ නිර්මාණශීලි හැකියාව භාවිත කිරීම හරහා මෙම පඳුරු සහ සොඳුරු මල් ප්‍රයෝජනයට ගනිමින් ස්වාභාවික මූර්ති නිර්මාණය කිරීමෙන් කදිම චමත්කාරයක් සේම වටිනාකමින් යුතු පෙනුමක් ගෙවත්තට එකතු කළ හැකි වේවි.

 

ශාක සිටුවීම

ගෙවත්තක ශාක සිටුවීමේදී භූමිය මත මෙන්ම බඳුන් තුළද සිටුවා ගත හැකියි. මෙහිදී බහු වාර්ෂික ශාක භූමිය මතද වාර්ෂික හා වර්ෂයට අඩු ආයු කාලයක් සහිත ශාක බඳුන් තුළද සිටුවීම කළ හැකිය. ඉඩකඩ සීමිත බැවින් නාගරික හා අර්ධ නාගරික ගෙවතු සඳහා බඳුන්ගත වගාව වඩාත් සුදුසුය. මේ බඳුන්ගත වගාවේ දී යොදනු ලබන රෝපණ මාධ්‍ය, යොදන පෝෂක, ජල සම්පාදනය ආදී කරුණු පිළිබඳ සැලකිලිමත් වීමට අමතක නොකරන්න.

බඳුන්ගත වගාවකදී සුදුසු කාලවකවානුවේ දී පෝෂක ද්‍රව්‍ය යෙදීම, සුදුසු කාලවලදී බඳුන් මාධ්‍යය ඉවත්කර නැවත බඳුන්ගත කිරීම ආදිය අනිවාර්යයෙන්ම කළ යුත්තකි. මන්ද එසේ නොකළහොත් අවශ්‍ය පෝෂක හිඟවීමෙන් ශාකයේ වර්ධනයට බාධා පැමිණ වේ.

 

නඩත්තුව

සුන්දර ගෙවත්තක් දිගුකාලීනව පවත්වා ගැනීමට පොහොර යෙදීම, ජල සම්පාදනය, වල් පැළ මර්දනය, පළිබෝධ හා රෝග මර්දනය, ශාක කප්පාදුව වැනි නඩත්තු කටයුතු නිසි ආකාරයෙන් සිදු කළ යුතුය. මන්ද පළිබෝධ හා රෝග මර්දනය සුදුසු අවස්ථාවේදීම කිරීම මඟින් ඒවා පැතිරීම වළක්වා ගත හැකිය. ගොළුබෙල්ලන් වැනි පළිබෝධකයින් අතින් ඉවත් කිරීම, දාස්පෙතියා වැනි පළිබෝධ විකර්ශක ශාක සිටුවීම පොරමොන් උගුල් භාවිතය, ආලෝක උගුල් භාවිතය වැනි සාම්ප්‍රදායික ක්‍රම මගින් අඩු වියදමකින් පළිබෝධකයන් මර්දනය කළ හැකිය. සුදුසු පරිදි රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම මඟින්ද ඔබට පළිබෝධකයන් මර්දනය කළ හැකිය.

 

බඳුන්ගත ශාක සඳහා වගා මාධ්‍යය

ලොම් පස් කොටස් 04ක්,

වියළි ගොම කොටස් 01ක්

දිරාගිය කොළරොඩු කොටස්

02ක්

වැලි කොටස් 01ක්

අඟුරු කැබලි කොටස් 1/4ක්

ගඩොල් කැබලි කොටස් 1/4ක් වශයෙන් ගෙන එකට මිශ්‍රකර ඔබගේ ගෙවත්තේ විසිතුරු ශාක සඳහා වගා මාධ්‍ය සකසා ගත හැකිය.

 

පොහොර සැපයීම

සති දෙකකට වරක් නයිට්‍රජන් මිශ්‍ර පොහොරක් පැළවලට ඈතින් ‍යෙදීම වඩාත් සුදුසුය. දින 10ක් හෝ 15කට වරක් දියර පොහොර යෙදීම මඟින් ද වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිය.

 

නැවත නැවත පැළ නිපදවා ගැනීම

වගා භූමියකින් ලබා ගත් විවිධ පැළ වර්ග හොඳින් වැඩුණු පසු ඒවා උපයෝගි කරගෙන ඔබට අවශ්‍ය තවත් පැළ නිෂ්පාදනය කරගත හැකිය. මෙහිදී කඳ කැබලි, පත්‍ර කැබලි, අතු කැබලි සහ ලේයර් ක්‍රම මඟින් ඔබට මෙම පැළ නිෂ්පාදනය සිදු කරගත හැකියි.

 

කෘමි පාලනය

මයිටාවන්, කූඩිත්තන්, පිටි මකුණන් වැනි සතුන්ගෙන් විය හැකි හානි පිළිබඳ ඔබගේ අවධානය යොමු කරන්න. එමඟින් ද ඔබේ පැළ තවාන සහ ගෙවත්ත ආරක්ෂා කරගත හැකිබව අමතක නොකරන්න.

 

උපදෙස් - කෘෂි විද්‍යඥ

ඩබ්.යූ.එල්. අඹගස්පිටිය

 

චම්පා වරුසප්පෙරුම