ඔබේ ගෙවත්තටත් බ්ලැක් ඇන්තූරියම් කුමාරියක්

පෙබරවාරි 19, 2024

 

සොඳුරු ඇන්තූරියම් යායක හිමිකාරිනියක වීම මොනතරම් අපූරුවක් ද? නෙත ගැටෙන සෑමතැනම පාට පාට ඇන්තූරියම් මලින් පිරුණු ගෙවත්තක් හිමිකර ගැනීම බොහෝ කාන්තාවන්ගේ සිහිනයක්. ඉතින් ඒ සිහිනය යථාර්ථයක් බවට පත් කරදෙන්නට අප සූදානම්. ඒ අනුව අද අප හඳුනාගන්නේ ඇන්තූරියම්වල විශේෂ තැනක් හිමි කරගෙන තියෙන කළු වර්ග කිහිපයක්.

 

* බ්ලැක් නයිට්

* බ්ලැක් කාඩිනල්

* බ්ලැක් ලවු

* බියුටි බ්ලැක්

* කින්ග් බ්‍රවුන්

* සෙම්ප්‍රි බ්ලැක්

* පැරිස් බ්ලැක්

 

ආදී වශයෙන් හැඳින්වෙන බ්ලැක් ප්‍රභේද කිහිපය වගේම තවත් බ්ලැක් වර්ග බොහොමයක් මෙරට වගාකරුවන් සතුව තිබේ.

 

පහසු මිලක්

දැනට වසර ගණනාවකට පෙර මේ බ්ලැක් ප්‍රභේදය ලංකාවට ආනයනය කරගෙන ඇත. අනතුරුව පසුකාලීනව අපේ දක්ෂ වගාකරුවන්ගේ හැකියාව නිසාම ඉල්ලුමට සරිලන ආකාරයටම එහි තවත් ප්‍රභේද ගණනාවක් බෝ කරගෙන තිබේ.

ඒ වගේම ඕනෑම ගෙමිදුලක අලංකාරය තව තවත් වැඩිකර ගැනීමට අපූරු හැකියාවක් සහිත මේ ප්‍රභේදයේ පැළයක් පහසුවෙන් මිලදී ගත හැකි ආකාරයේ සාධාරණ මිලක් ද දැනට පවතී.

 

හොඳ ආදායමක්

ඒ වගේම මේ වනවිට මෙරට සුළු හා මහා පරිමාණ මල් වගාකරුවන් තමන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස මේ බ්ලැක් ප්‍රභේද වගා කරන්නට පටන්ගෙන ඇත. එපමණක් නොව තම අතමිට සරුකර ගැනීමේ අපූරු ආදායමක් වූ විවිධ බ්ලැක් ප්‍රභේද දිනෙන් දින තම වගාවන් වෙත එකතු කිරීමට ද ඔවුන් පෙලඹී තිබීම ද සතුටට කරුණකි.

 

අලංකාරය සහ වටිනාකම

ඇතැම් පුද්ගලයෙක් කළු වර්ණයට එතරම් රුචිකත්වයක් නොදැක්වුවද එකකට එකක් වෙනස් වර්ණයෙන් මල් පිපෙන මේ බ්ලැක් ඇන්තූරියම් සඳහා දක්වන්නේ පුදුමාකාර කැමැත්තකි. ඒ ඉතාමත් අලංකාරයට මේ ප්‍රභේදයන්හි මල් පිපෙනා බැවිනි.

දැනට ලංකාවේ වටිනාකමින් ඉහළම බ්ලැක් ප්‍රභේදයන්වල මිල රුපියල් 5000ට පහළ අගයක පවතින නිසා ඕනෑම කෙනකුට ඉතාමත් සාධාරණ මුදලකට කුඩා පැළයක් හෝ මිලදී ගැනීමට හැකියාව ඇත.

එනම් කුඩා බ්ලැක් ඇන්තූරියම් පැළයක් රුපියල් 500 සිට ඔබට ඔන්ලයින් වෙළඳපොළෙන් මිලදී ගැනීමේ හැකියාව ඇත.

 

ඉදිරිපත් කිරීම

නිලූ ප්ලාන්ට් නර්සරිහි,

නිලුකා වසන්ති